දවස් 7 න් ඕනෑම මානසික ආතතියක් සුව කරගන්න ක්‍රම 35 ක්

health tips

ආර්ථික ගැටළු, රැකියාවේ ගැටළු, සමීපතමයන්ගේ වෙනස්වීම් සහ වෙනත් සබඳතාවල ගැටළු, විභාග,  රෝග තත්වයන් ඇතුළු මෙකී නොකී ගැටළු නිසා අපි බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම මානසිකව පීඩාවට පත් වෙනවා. Stress එක එහෙමත් නැත්නම් මානසික ආතතිය  අද වයස් භේදයක් නැතිව බොහෝදෙනෙක් පීඩාවට පත් කරලා තියෙන ප්‍රශ්නයක්. කාලයක් තිස්සේ අධික  මානසික ආතතියක් යටතේ කටයුතු කරනවා නම් එය වඩාත් බරපතළ ගැටලුවක් වෙන්න පුළුවන් මානසික්ව වගේම කායිකවත්. මොකද මානසික ආතතිය දරාගන්නට පුද්ගලයාට තියෙන හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.

 ඔබ මානසික ආතතියෙන් පෙළෙන විට  ශරීරයේ කෝටිසෝල් ඇඩ්‍රිනලීන්  සහ  නොඇඩ්‍රිනලීන් වගේ ආතති හෝර්මෝන වැඩිපුර ශ්‍රාවය වීම සිද්ධ වෙනවා. මේ හෝමෝන රුධිරයට වැඩිපුර එකතු වෙන නිසා මානසික පීඩනය සහ  අවදානම සමඟ කටයුතු කරන්නට අපේ ශරීරය හැඩ ගැහෙනවා.

ඉතින් ඔබත් මානසික  ආතතියෙන් පෙළෙන බව හඳුනා ගන්නට හැකි  ලක්ෂණ තමයි මෙන්න මේ පහතින් සඳහන් කර තියෙන්නේ.

  • මුඛයේ තුවාල, බිබිලි,  ආමාශයේ වණ
  • සෙම්ප්‍රතිෂ්‍යාව ආදී ආසාදන තත්ත්වයන් 
  • ඇස් දැවිල්ල 
  • හිසරදය 
  • නින්ද නොයාම හෝ අධිකව නින්ද යාම 
  • කුඩා දේටත් බොහෝසෙයින් කලබල වීම 
  • නුරුස්සනා ස්වභාවය 
  • අධිකව දහදිය දැමීම 
  • හෘද ස්පන්දන වේගය වැඩි වීම
  • හුස්ම ගැනීමේ අපහසුතාවය 
  • පාචනය හෝ වමනය 
  • අධික පිපාසය 
  • කිවිසුම් යාමේ තත්ත්වයන් 
  • ශරීරයේ වේදනාව
  • මුත්‍රා පිටවන රටාව වෙනස් වීම
  • වැඩිපුර කතා කිරීම
  • අමතක වීම
  • කට වියළී යාම 
  • කරකැවිල්ල

 ආතතිය හේතුවෙන් ,

  • ගෑස්රයිටිස් 
  • අධික රුධිර පීඩනය
  • හදවත් රෝග
  • දියවැඩියාව
  • ලිංගාශ්‍රිත ගැටළු 
  • විශාදය
  • ප්‍රතිශක්තිකරණය අඩු වීම
  • අනතුරුවලට ලක් වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වීම 

ඇතුළු බොහොමයක් ගැටලුවලට හේතු වෙන්නේ දිගුකාලීනව මානසික ආතතියෙන් පීඩා විඳීම. මේ  නිසා මානසික ආතතිය පාලනය කර ගැනීම සඳහා වූ ක්‍රියාකාරකම් පිළිබඳව ඔබ අපි හැමෝම දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත්.

 මානසික ආතතිය පාලනය කර ගන්නේ කොහොමද

නින්ද නින්ද ලබා ගන්නා කාලය පුද්ගලයාගේ වයස, සෞඛ්‍ය  තත්ත්වය අනුව වෙනස් වන්නට පුළුවන්. කුඩා  දරුවෙකුට වැඩි කාලයක් නින්දක් අවශ්‍ය වුණත්  වැඩිහිටියෙකුට සාමාන්‍යයෙන් පැය 7-8 ක නින්දක් අවශ්‍ය වෙනවා. නින්ද ලබා  ගැනීමේදී නිදිමත දැණුනු විට කෙටි නින්දක් හෝ ලබා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේමයි දිනපතාම නින්දට යාම සහ අවදි වීම සඳහා එකම වේලාවක්  යොදා  ගැනීමත් මනසට හරිම වැදගත්. 

සුරතල් සතුන් ඇති කරන්න  සුරතල් සතුන් ඇති කරන්නට ඇතැම් අය කැමැත්තක් දැක්වුවත් තවත් අය එයට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ  සුරතල් සතුන් ඇති කරන අයගේ රුධිර පීඩනය සහ  හෘදයාබාධ ඇතිවීමේ අවදානම සුරතල්  සතුන් ඇති නොකරන අයගේ රුධිර පීඩනයට වඩා 2% කින් පහළ බසින බවයි. ඒ වගේම අධි රුධිර පීඩනය ආදී රෝග ඇති අයගේ මරණ අනුපාතයත්  4% කින් පහළ බසින බවත් පෙන්වා  දී තියෙනවා. සුරතල් සතුන් ඔබට ආතතියෙන් මිදෙන්නට විශාල උපකාරයක් වෙනවා. 

සංචරණය ඔක්ස්පර්ඩ් සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් පුද්ගලයන් 1500 ක් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකට අනුව තහවුරු කරගෙන ඇත්තේ සංචරණයේ යෙදීම මනස ඉතා  හොදින් සැහැල්ලු කර පීඩනය අඩු  කරන බවයි. ඒ නිසාවෙන් සතියකට වරක් එහෙමත් නැත්නම් මාසයට වරක් හෝ මාස කිහිපයකට වතාවක් පුංචි විනෝද චාරිකාවක යෙදෙන්නට උනන්දු වෙන්න.

ඇවිදින්න දිනකට හතර වතාවක් ඔබට ඇවිදින්නට හැකි නම් එමගින් මානසික සමතුලිතතාවය, හෝර්මෝන සහ  එන්සයිමවල ක්‍රියාකාරිත්වය, ආහාර ජීර්ණය සහ හොඳ ආශ්වාස ප්‍රාශ්වාසයක් සිදුවීමෙන්  මානසික ආතතිය දුරු වෙනවා.  ඒ වගේම ක්ෂණිකවම මානසික ආතතිය දුරුකර ගන්නට මේ ඇවිදීම ඔබට අනුගමනය කරන්නට පුළුවන්.

සංගීතයට සවන් දෙන්න සංගීතය මගින් මානසික ආතතියෙන් සම්පූර්ණයෙන්ම  නිදහස් වෙන්නට හැකියාව පවතිනවා. නමුත් මනස සැහැල්ලු කරන්නට කර්ණ කෝටක වේග රිද්ම සංගීතය සුදුසු වෙන්නේ නැහැ. ඒ සඳහා සම්භාව්‍ය මදුර මනෝහර සංගීතය ශ්‍රවණය කිරීම තමයි වඩාත්ම ඵලදායි වෙන්නේ. දවසේ පොඩි කාලයක් තුළ වැඩ කටයුතුවල නිරත වෙද්දි සංගීතයකට සවන් දෙන්නට  හැකි නම් එය ඔබේ මානසික ආතතිය බොහෝසෙයින් දුරු කරනවා.

හාස්‍යජනක චිත්‍රපටයක් නරඹන්න මෙවන් හාස්‍යජනක චිත්‍රපටයක්  නරඹන විට චිත්ත පීඩාවන් ඈත්ව ගොස් සතුට කියන හැඟීම ඇතිවෙලා  මානසික ආතතිය ක්ෂණිකව දුරුව යනවා. 

  • පිහිනන්න
  • බයිසිකල් පදින්න.
  • මිතුරෙක් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙන්න.
  • ස්වාභාවික පරිසරයේ කාලය ගත කරන්න.
  • නිවසේ වැඩ කටයුතුවල නිරත වෙන්න.
  • හොඳ පොත් කියවන්න.
  • ලිපියක් හෝ කවියක් ලියන්න. නැත්නම් චිත්‍රයක් අදින්න. 
  • යෝග අභ්‍යාසවල නිරත වෙන්න.
  • භාවනා කරන්න.
  • නින්දට විනාඩි 5 කට පෙර මිනිත්තු 5 ක් ගැඹුරින් හුස්ම ගන්න . 
  • නැගිට ගත් විගස ඇඳ ඇතිරිලි පිළියෙල කරන්න.
  • නියමිත වැඩ නියමිත වේලාවට අවසන් කරන්න .
  • දිනපතා විනාඩි විස්සක්වත් හොඳින් දහදිය දමන තුරු ව්‍යායාම්වල නිරත වෙන්න.
  • ලැවෙන්ඩර් සුවඳ පිරි තෙල් සමග ස්නානය කරන්න.
  • සිතේ ඇති පීඩනය හෝ දුක කොළයක සටහන් කරන්න. ( පසුව එය විනාශ කර දමන්න) 
  • කන් පෙති සම්බාහනය කරන්න. එමගින් මනසට සැහැල්ලුවක් ලබා ගන්න පුළුවන්.
  • දුරකථනය විසන්ධි කර දිනපතා යම් කාලයක් නිදහසේ ගත කරන්න සමාජජාලාවල හැකිතාක් ඈත්වෙන්න
  • ඔබ කැමතිම සංගීතයකට ඔබේ කාමරයේ නර්තනයේ යෙදෙන්න.
  • කාමරයේ ඇති  නිතරම පෙනෙන දර්ශන වෙනස් කරන්න. 
  • මැසීම, ගෙතීම වැනි නිර්මාණාත්මක දේවල් සංගීත භාණ්ඩ වාදනය ආදී කාර්යයන්වල නිරත වෙන්න. හැකිතරම් සිනාසෙන්න. 
  • කැෆේන් සහ සීනි අඩංගු ආහාරවලින් වළකින්න.
  • සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න.
  • ඔබ ආදරය කරන සමීපතමයෙකු සමග නිතර කතාබහ කරන්න. මිතුරන් සමග කාලය ගත කරන්න.
  • තමාගේ හැකියාවන් අනුව තමන්ට ළඟාවිය හැකි ඉලක්ක පමණක් ජීවිතය තුළ ඇති කරගන්න. ජීවිතයේ අනන්තයන් අත්හරින්න.
  • කාලය සැලසුම් කරගන්න. එක් වරකට එක් කාර්යයක් බැගින් කරන්නට උත්සාහ කරන්න. 

මානසික ආතතිය කියන්නේ කාර්‍ය බහුලත්වයත් එකක් හැමෝටම ඇතිවන පීඩාකාරී තත්ත්වයක්. මේ තත්ත්වය නැතිකර ගන්නට ඔබට මේ ක්‍රම අනුගමනය කරන්නට පුළුවන්. එමගින් ක්ෂණිකව මනසට සැහැල්ලුවක් ලබා  ගන්න හැකියාව ලැබෙනවා.