සිරුරේ මෙවැනි ඉරි මතුවීගෙන එන විට සිදු කර යුතු සත්කාර 9 ක්

health tips

කාන්තා  පිරිමි භේදයකින් තොරව හැමෝම විදවන ගැටළුවක් තමයි මේ ස්ට්‍රෙච් මාර්ක්ස් කියන්නේ. අත්වල, පාදවල කලවාවල, තට්ටම් ප්‍රදේශයේ, උදරයේ, පපුවේ, බෙල්ලේ ආදී ඕනෑම ස්ථානයක මේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙන්නට පුළුවන්.  කාන්තාවන්ට වගේම පුරුෂයන්ටත් තමන් කැමති ඇදුමක් පැළදුමක් අදින්නට පළදින්නට ඒ නිසා බාධාවක් වෙනවා. කොටට අදින්නට සාරියක් අදින්නට බොහෝදෙනා මේ නිසා අකමැත්තක් දක්වනවා.  ඉතින් ඒ ගැටළුවට අපිට නිවසේදී කළ හැකි පිළියම්  බොහොමයක්  තියෙනවා. ඉතින්  මේ ගැටළුවෙන් මිදෙන්නට උදව් වෙන එවැනි පිළියම් ගැන තමයි අද  අප කතා කරන්නේ.

ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවන  ආකාරය 

සම ඇදීමකට ලක්වීම නිසා සමේ මතුපිටින් ඇතිවන කැලැල් විශේෂයෙක් තමයි මේ ස්ට්‍රෙච් මාර්ක්ස් කියන්නේ. ගර්භනී කාන්තාවකට පමණක් නෙවෙයි ඕනෑම කෙනෙක්ට මේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙන්නට පුළුවන්. කෝටිසෝන් හෝර්මෝන වැඩිපුර තිබීම , ශරීරය වැඩෙන විට අවශ්‍ය කොලජන් ප්‍රමාණය සිරුරේ නොමැති වීම, ආදිය නිසා කෙට්ටු අයෙකුට වුණත් මේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇතැම්  ආලේපන වර්ග පවා මේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙන්නට හේතුවක් බව දැනගත යුතුයි. යම්  යම් ක්‍රීම් වර්ග අවභාවිතය නිසා දීර්ඝ කාලයක් ඒවා භාවිතය හේතුවෙන් සම තුනී බවට පත්වෙලා  මේ  කැලල් ඇති වෙනවා.

ස්ට්‍රෙච්  මාර්ක්ස්  ඇති වෙන්නට  හේතු 

  • ගර්භනී බව  
  • ශරීරය මහත් වීම 
  • එකවර ශරීරය කෙට්ටු වීම 
  • ජානමය සාධක 
  • හෝර්මෝනවල වෙනස්වීම 
  • පියයුරු විශාල කර ගැනීමේදී කාන්තාවන් භාවිතා කරන නොයෙකුත් තෙල් වර්ග ක්‍රීම් වර්ග හා විවිධ සැත්කම් 

ස්ට්‍රෙච් මාර්ක්ස් අඩුකර ගන්නා ආකාරය 

  • බර පාලනය 
  • ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම 
  • තේ, කොෆී, ජූස් ආදී අපි ගන්නා වෙනත් පානන් සමඟ සැසදීමෙන් තොරව තමන්ගේ උසට බරට අනුව ගත යුතු ජලය පමණ අනිවාර්යෙන්ම ලබා ගැනීම.
  • සමේ වියළි බව අඩු කර ගැනීම.
  • විටමින් C සහ විටමින් D අඩංගු ආහාර ලබා ගැනීම .

නිවසේදී කළ හැකි පිළියම් 

1. අවශ්‍ය  ද්‍රව්‍ය 

  • කෝපි 
  • දුඹුරු සීනි 
  • දෙහි හෝ  ලෙමන් යුෂ 

මේ සියල්ල අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොඳින් මිශ්‍ර කරගෙන ස්ක්‍රබ් එකක්  ලෙස භාවිතා කරන්න. ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති ස්ථානවල විනාඩි 2 ක් පමණ මෙය ස්ක්‍රබ් කර මද උණුසුම් ජලයෙන් සෝදා මොයිස්චරයිසර් ක්‍රීම්  වර්ගයක් ආලේප කරන්න.මෙය දිනපතාම  සිදුකළ යුතු පිළියමක්.

2. අවශ්‍ය ද්‍රව්‍ය  

  • හොඳින් බ්ලෙන්ඩ්ර් කරගත් බිත්තර කහ මද 2 ක් 
  • ලෙමන් ගෙඩියක යුෂ 
  • ආමන්ඩ් පේස්ට් තේ හැදි 2 ක් 
  • ඕට් මීල් තේ හැදි  2 ක් 

මේ සියල්ල මිශ්‍රකර කරන්නට  අවශ්‍ය ප්‍රමාණයට ෆ්රෙෂ් මිල්ක් එකතු කර හොඳින් මිශ්‍රකර ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති ස්ථානවල ආලේප කර හොඳින් වියළෙන්නට තබන්න.පසුව සීතල ජලයෙන් ස්ක්‍රබ් කරමින් සෙමින් ඉවත් කරගන්න. මෙය දවසක් හැර දවසක් කළ යුතුයි.

3. අවශ්‍ය ද්‍රව්‍ය 

  • ඔලිව් තෙල් තේ හැදි 1 ක් 
  • කෝමාරිකා ජෙල් තේ හැදි 2 ක් 
  • බ්ලෙන්ඩර්  කරගත්  තක්කාලි තේ හැදි 1 ක් 

මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගෙන මෙය රාත්‍රී  නින්දට යාමට පෙර ස්ට්‍රෙච් මාර්ක්ස්වල ආලේප කර විනාඩි 5 ක් පමණ සම්බාහනය කර පසුදා සෝදා හරින්න.

4. කෝපි සහ කෝමාරිකා කෝපි කුඩු ස්වල්පයක් ගෙන උණු ජලයට දමා මිශ්‍රකර එයට කෝමාරිකා ජෙල් එකතු කර මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති ස්ථානවල ආලේප කර මිනිත්තු 20 ක් තබා සෝදා හරින්න.පසුව මොයිස්චර්යිසර් ආලේපනයක් භාවිතා කරන්න.

5. අර්තාපල් තම්බා ගත් අල ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති ස්ථානවල ටික වේලාවක් අතුල්ලා මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. මේ සත්කාරයත් දිනපතාම සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

 6. කෝමාරිකා ජෙල් ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති ස්ථානවල ආලේප කර හොඳින් සම්බාහනය කර විනාඩි 20 කින් පමණ පසුව සෝදා හරින්න.

7. කොකෝවා බටර් ආලේපය මෙය ගර්භනී කාන්තාවන්ටත් බය නැතුව භාවිතා කරන්නට පුළුවන්. රාත්‍රියට මේ කොකෝ බටර් ස්ට්‍රෙච් මාර්ක්ස් මත ආලෙප කර පසුදා සෝදා හරින්න.

8. පිපිඤ්ඤා සහ ලෙමන් යුෂ 1:1 අනුපාතයෙන් ගෙන ස්ට්‍රෙච් මාර්ක්ස්වල ආලේප කර විනාඩි 10 ක් පමණ හොඳින් සම්බාහනය කරන්න.  පසුව තවත් විනාඩි 10 ක කාලයක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

9. ආමන්ඩ් තෙල් සහ පොල්තෙල් මිශ්‍රකර ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති ස්ථානවල දිනපතා ආලේප කර සම්බාහනය කරන්න.

මේ සියලුම සත්කාරවලින් සාර්ථක ප්‍රතිඵලයක් ඔබට ගන්නට නම් කාලයක් එය දිනපතාම සිදු කරන්නට වෙනවා. එය තවදුරටත් පැතිරීම වළක්වා  ගන්නට ඉහත  සඳහන් කළ අනෙකුත් උපදෙස් පිළිපදින්නත් අමතක කරන්නට එපා.