මිනිස් සිරුරේ ප්‍රධානතම පාලන ඉන්ද්‍රිය වන්නේ මොළයයි. ඒ අනුව මොළයට යම් බලපෑමක් සිදු වුවහොත් එය සමස්ත ශරීරයම අකර්මණ්‍ය වීම සඳහා බලපානු ලබයි. ආඝාතය යනු මොළයට බලපෑම් කරනු ලබන හෘදයාබාධ හා සමාන රෝගී තත්ත්වයකි. මෙම රෝගී තත්ත්වය ඇති වූ පසු මොළයට නිසි පරිදි ඔක්සිජන් පරිවහනය සිදුනොවන අතර මුළු සිරුරම අකර්මණ්‍ය වීමට පටන් ගනියි.
ආඝාතය රෝගයට ආවේණික වූ රෝග ලක්ෂණ බොහෝමයක් පවතී. ඒවා පූර්ව රෝග ලක්ෂණ හා පසු රෝග ලක්ෂණ ලෙස කොටස් දෙකකින් හඳුනාගත හැකිය. විශේෂයෙන් මෙම රෝග ලක්ෂණ ඉතා ඉක්මනින් වර්ධනය වන අතර ඒවා හඳුනා ගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඒ අනුව ආඝාතය රෝගයේ පූර්ව රෝග ලක්ෂණ පිළිබඳ පහත පරිදි විමසා බැලිය හැකිය.

දෘෂ්ටිය හා සම්බන්ධ ගැටලු ඇතිවීම. ආඝාතය රෝගය ඇති වන විට ඇස් පෙනීම හා සම්බන්ධ ගැටලු ඇති වේ. විශේෂයෙන් මෙහිදී යම් දෙයක් දෙස බලා සිටීමේදී එම රූපය දෙකක් මෙන් පෙනීම, බොඳ වී පෙනීම, එක් ඇසක පෙනීම දුර්වල වීම වැනි අක්ෂි ගැටලු ඇතිවීම ආඝාතය රෝගයේ පූර්ව ලක්ෂණයක් වේ.
අධි රුධිර පීඩනය ඇතිවීම. ආඝාතය රෝගය ඇතිවීමට පෙර අධි රුධිර පීඩනය ඇතිවීම සුලබ ලක්ෂණයකි. විශේෂයෙන් රුධිරයේ කැටි ගැසී මොලය දෙසට ගමන් කිරීම හේතුවෙන් ද මෙම රෝගය ඇතිවේ. ඊට අමතරව අධි රුධිර පීඩනය නිසාවෙන් මොලයේ ස්නායු වලට හානි සිදුවීම, රුධිරනාල වලට හානි සිදුවී රුධිර කාන්දු වීම් ඇති වීම යනාදිය සිදු වන අතර ඒවා ද ආඝාතය රෝගය ඇතිවීම සඳහා බලපානු ලබයි.
ශරීරයට අධික වෙහෙසක් මහන්සියක් දැනීම. ශරීරයට අධික ලෙස වෙහෙස මහන්සිය දැනීම මොලයේ ඇතිවන ව්‍යාකූල තත්වය නිසාවෙන් ඇති වේ. මෙසේ වෙහෙස මහන්සිය දැනෙන විට කලන්තය ඇතිවීම ද සිදු වන අතර ආඝාතය රෝගයේ පූර්ව ලක්ෂණ ද වේ.
සිරුරේ එක් අංශයක් හිරි වැටීම. ආඝාත රෝගය ඇතිවීමේ තවත් ලක්ෂණයක් වන්නේ සිරුරේ එක් අංශයක් හිරිවැටීමට ලක් වීමයි. මෙහිදී ශරීරයේ එක් පැත්තක පාදයක්, අතක් හෝ මුහුණ හිරිවැටීමට ලක් වේ. මෙය අංශභාගය ඇතිවීමේ ඉඩකඩ වැඩිකරන ලක්ෂණයකි.

බෙල්ලේ හා උරහිසේ වේදනාව.ආඝාතය රෝගයේ පූර්ව ලක්ෂණයක් ලෙස බෙල්ලේ හා උරහිස් වේදනාව හඳුනාගත හැකිය. මෙය ඇති වන්නේ මොලයේ රුධිර නාල වල බිඳවැටීම හේතුවෙනි. ශරීරයේ තරබාරු බව නිසා හෝ වෙන යම් කාරණයක් නිසා මෙම වේදනාව ඇතිවීම සාමාන්‍ය වූවත් අසාමාන්‍ය ලෙස මෙම ප්‍රදේශවල වේදනාව ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වේ.
දරුණු හිසේ කැක්කුමක් ඇති වීම. මෙය ක්ෂණික ඉරුවාරදයක් ලෙස ද ඇතිවිය හැකිය. ආඝාත රෝගය ඇතිවීමේ දී නිසි පරිදි මොළයට ඔක්සිජන් පරිවහනය සිදු නොවේ. රුධිරය ගමන් කිරීම අවහිර වන විට මෙසේ දරුණු හිසේ කැක්කුමක් ඇතිවිය හැකිය. ඉහතින් දක්වා ඇති රෝග ලක්ෂණ ආඝාතය රෝගය හඳුනාගත හැකි පූර්ව රෝග ලක්ෂණ වේ.
මීට අමතරව ආඝාතය රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින පුද්ගල කොට්ඨාසයන් කිහිපයක් හඳුනාගත හැකිය.
- අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින්
- තරුණ පුද්ගලයින්ට හා කාන්තාවන්ට සාපේක්ෂව වැඩිහිටි පුරුෂයින්ට මෙම රෝගය ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.
- අධික ලෙස දුම්පානය කරන පුද්ගලයින්
- දිගු කාලයක් තිස්සේ දුම් පානය කරන පුද්ගලයින්ට ආඝාතය ඇතිවීමේ වැඩි ඉඩකඩක් තිබේ.
- දියවැඩියා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින්
- බොහෝ කාලයක් දියවැඩියා රෝගය නිසා පීඩාවිඳින පුද්ගලයන් මෙම රෝගයට ගොදුරු වනු ලැබේ.
- හෘදයාබාධ ඇතුළු හදවත් රෝගවලින් පීඩා විඳින පුද්ගලයින්
යන අය හට ආඝාතය රෝගය ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. එවැනි පුද්ගලයින් ඉහත දක්වා ඇති රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පහළ වූ පසු සුදුසු වෛද්‍යවරයකු මුණගැසී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීම අතිශයින්ම වැදගත් වේ.