සීනි වෙනුවට භාවිතා කරන ආදේශකවල හිතකර සහ අහිතකර ගුණ

health tips

යම්විටෙක ඔබෙන් කැමතිම රසය ගැන ඇසුවොත් බහුතරයක් කියන්නේ පැණි රස කියලා. ලොකු කුඩා හැමෝම වයස් භේදයකින් තොරව පැණි රස ආහාරයට ගන්නට කැමති වුණත් වයස්ගත වෙද්දි ඇතිවන ලෙඩ රෝග නිසාම පැණි රස ආහාර ගැනීම සීමා කරන්නට සිදු වෙනවා. ඉතින් පැණි රස ආහාරයට ගැනීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු මගහරවා ගන්නට අද බොහෝදෙනෙක් විවිධ ආදේශක සඳහා යොමුවෙලා තියෙනවා.පැණි රස සඳහා අපි බහුතරයක් දෙනා භාවිතා කරන්නේ සීනි.ඉතින් සීනි වෙනුවට අපි භාවිතා කරන දේවල් අතුරින්  හොඳම ආදේශක මොනවාද. ඉතින් අද අපි ඔබ සමඟ  කතා කරන්නේ ඒ පිළිබඳවයි.

සාමාන්‍යයෙන් අපේ දිවේ ඇති රස අංකුර මගින් විවිධ  රසයන් හඳුනා  ගන්නවා. දිවේ මැද කොටසේ තමයි පැණි රසයට අදාල රස අංකුර පිහිටා තියෙන්නේ.යම්කිසි ආහාරයක් අපි ලබා ගන්නා විට පැණි රසයට අදාලව පවතින සංඝටකය මේ රස අංකුර සමඟ සම්බන්ධ වෙනවා. රස අංකුර සම්බන්ධ වෙද්දි මොළයට පණිවුඩයක් නිකුත් කරනවා  පැණි රසය සහිත ආහාරයක් ලබාගත් බව. මේ සඳහා උපකාරී වෙන විවිධ සංඝටක දිව හා ස්පර්ශ වෙද්දි අපිට පැණි රසය දැනෙනවා. එවැනි සංඝටක අතර සීනි, පැණි, හකුරු විශේෂයි. ඒ වගේම පලතුරුවලටත් දිවේ  අංකුර උත්තේජනය කරන්නට පුළුවන්.

සීනි අපිට ක්ෂණිකව සතුටක් ලබාදෙන නිසා එහි බලපෑම මොළයට ඇබ්බැහි වෙනවා.ඒ නිසා පැණි රස දිනපතා ආහාරයට ගන්නට අපි පුරුදුවෙලා.අපි බහුතරයක් දෙනා භාවිතා කරන සීනිවල බහුල වශයෙන්ම ග්ලූකෝස් ද ෆ්රුක්ටෝස් අන්තර්ගත වෙනවා.අපේ ශරීරයට ඇතුල් වූ පසු මේවා රුධිරයටයි අවශෝෂණය කරගන්නේ. එය රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිකරන්නට හේතුවක් වෙනවා. ඒ ග්ලූකෝස් අපේ ශරීරයේ ශක්ති අවශ්‍යතාවය සපුරාලනවා. යම්කිසි අවස්ථාවකදී අධික ලෙස සීනි ආහාරයට ගත්තොත්  ඒවා දේහය තුළ  ග්ලයිකොජන් ලෙස හෝ මේදය ලෙසත් තැන්පත්වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා අධික වශයෙන් සීනි ආහාරයට ගැනීමෙන් විවිධ  රෝගාබාධවලට ගොදුරුවීමේ ඉඩකඩ පවතිනවා. දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගයන්ට පවා ගොදුරු වෙන්නට සිදු වෙන්නට පුළුවන්. නූතන පර්යේෂණ වාර්තා හඳුනා ගෙන තියෙන ආකාරයට පිළිකා ආදී දරුණු රෝග තත්ත්වයන් ඇති වෙන්නටත් මේ සීනි හේතුවක් වනවා. ඒ නිසාම සීනි වෙනුවට ආදේශකවලට යොමුවෙන්නට වැඩිදෙනෙක් උනන්දුවක් දක්වනවා.

සීනි වෙනුවට භාවිතා කරන ආදේශකවල හිතකර සහ අහිතකර බව 

  • හකුරු බොහෝදෙනෙක් සීනි වෙනුවට හකුරු භාවිතයට පෙළඹී සිටියත් එය මේ ගැටළුවට සුදුසු ආදේශකයක් නොවෙයි. මොකද හකුරු ග්ලූකෝස් සහ ෆ්රුක්ටෝස්වල මිශ්‍රණයකින් සැදුණු ද්‍රාවයක් නිසාවෙන්. එබැවින් හකුරු මගින් පවා අපේ ශරීරයට ග්ලුකෝස් සහ ෆ්රුක්ටෝස් සැපයීමක් සිදු වෙනවා. එයින් සීනි ආහාරයට ගැනීමෙන් සිදුවන ක්‍රියාවලියම සිදුවන නිසා සීනි වෙනුවට හකුරු වඩා සුදුසු ආදේශකයක් වන්නේ නැහැ.
  • සීනි සඳහා කෘතීම ආදේශක ද්‍රව්‍ය  (Artificial Sweeteners  )රස අංකුර උත්තේජනය කරන්නට හැකියාවක් ඇති රසායනික මේ සඳහා භාවිතා කරනු ලබනවා. Aspartame කියන කෘතිම රසකාරකය කොකාකෝලා, ලොලිපොප්, කැන්ඩීස්, අයිස්ක්‍රීම් ආදී ආහාරපාන බහුලව අඩංගු වෙනවා. ඒ වගේම සැකරීන්, (Saccharin ) ඇසෙසල්ෆේම් (Acesulfame ) ආදියත් සීනි වෙනුවට භාවිතා කරන රසායන ද්‍රව්‍යයන්. මෙවැනි රසායනික අඩංගු දෙයක් දිවට ස්පර්ශ වූ වහාම පැණි රස ආහාරයක් ගත් බව මොළය හඳුනා ගන්නවා. 
  • මෙසේ භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් බොහොමයක් අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුලදී අවශෝෂණය නොකර ඒ ආකාරයෙන්ම බැහැර කිරීම  සිදු කරනවා. ඒවගේම ඇතැම් ඒවා ජීර්ණය සිදු වුණත් ඉතා කුඩා කැලරි ප්‍රමාණයක් අපේ දේහයට ලබාදෙනවා. කුමන ආකාරයේ රසායනිකයක් අපේ දේහයට ලබා ගත්තත්  එමගින් අපේ දිවේ රස අංකුර  උත්තේජනය කිරීම  හෝ පැණි රස දැනීම සිදුවෙනවා වගේම  ඒවා දේහයෙන් ඉවත්ව යාම  සිදු වෙනවා. ඒ නිසා ශරීරයට කැලරි  එකතුවීමක් එමගින්  සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දේහ බර අඩුකර ගන්නට උත්සාහ කරන විටකදී මෙවැනි ආදේශක භාවිතා කරන්නේ ඒ නිසාවෙන්.
  • නමුත් මේවා දීර්ඝකාලීනව භාවිතා කිරීම එතරම් සුදුසු වන්නේ නැහැ. පර්යේෂණවලින් තවමත් සානාථ කර නැතත් මෙවැනි කෘතීම ආදේශක දිගුකාලයක් භාවිතා කිරීමෙන් පිළිකා ඇතුළු වෙනත් ලෙඩ රෝග ඇතිවීමේ හැකියාව වගේම තරබාරුව ඇතිවීමත් කියන කාරණාවන් වැරදි මතයන් ලෙස බැහැර කරන්නට අපිට බැහැ. විශේෂයෙන්ම මොළයේ ආබාධ, පිළිකා ,මදසරුභාවය ආදියට ඒ රසායනිකයන් හේතුවන්නට පුළුවන්.
  • ඇතැම්විට මෙවැනි රසායනික අඩංගු දේවල් භාවිතා කිරීමට තෝරා ගැනීමේදී ඔබ දියවැඩියෙන් පෙළෙන, තරබාරු බවට පත්වීමේ අවදානමක් ඇති අයෙක් ද යන කාරණා පිළිබඳව  සැලකිලිමත්වීම වැදගත්. ඒ වගේම කැවිලි ආදි දෙයක් සකස් කිරීමේදීත් සීනිවලට වඩා මෙවැනි Artificial Sweeteners  වර්ගයක් භාවිතා කිරීම සුදුසුයි.ඒ හැරුණාම දිගුකාලීනව මේවා ආදේශක ලෙස භාවිතා කිරීම පෝෂණවේදීන් නිර්දේශ කරන්නේ නැහැ.
  • රට ඉදි සීනි වෙනුවට භාවිතා කළ සුදුසුම ආදේශකයක් ලෙස රට ඉදි භාවිතා කරන්නට පුළුවන්. එය ස්වාභාවික පැණි රසකාරකයක් නිසාවෙන් වගේම ගුණාත්මක බවින් ඉහළ පලතුරක් බැවින් සීනි වෙනුවට හොඳ ආදේශකයක් ලෙස රට ඉදි භාවිතය සුදුසුයි. විවිධ රෝගවලින් ආරක්ෂා වන්නටත් උපකාරී වන රටඉදිවල ෆ්රුක්ටෝස් නම් ස්වාභාවික සීනි සංඝටකය ඇති නිසා සුදු සීනි වෙනුවට සෞඛ්‍ය සම්පන්න සීනි ප්‍රභවයක් ලෙස භාවිතා කරන්නට හැකියි.
  • ඉතින් පැණි රස නිසා ඇතිවෙන්නට හැකි ලෙඩරෝගවලින් අත්මිදෙන්නට කළ හැකි හොඳම විසඳුම වන්නේ රට  ඉදි භාවිතා කිරීම හෝ සීනි භාවිතය අවම කිරීමයි. ඒ හැරුණාම කෘතීම පැණි රසකාරක භාවිතය අනාගතයේදී වඩාත් දරුණු ගණයේ සෞඛ්‍ය ගැටළු ඇති කරන්නට පුළුවන්.