කාන්තාවන්ට වැඩිපුර වැළදෙන සුදු කබර රෝගය වළකන ආහාර පාන 8 ක්

health tips

බොහෝ රෝග පවතිනවා බාහිරින් අපේ පෙනුමට බාධා කරනු ලබන සහ රුව අවලස්සන කරන. එවැනි රෝග නිසා සමාජයෙන් කොන් වූ හෝ මානසිකව පීඩාවට පත්වුණු අය ඕනෑ තරම්. ඉතින් එවැනි එක් රෝගයක් තමයි සුදු කබර රෝගය. කාන්තා පිරිමි යන දෙපාර්ශවයම අතර මේ රෝගය දකින්නට ලැබුණත් වැඩි වශයෙන් කාන්තාවන් අතර මේ තත්ත්වය බහුලව දකින්නට පුළුවන්.සමේ මෙලනින් වර්ණකය නැතිවීමෙන් සම සුදු පැහැයට හැරෙන මේ සුදු කබර රෝගය ඉතාම අවාසනාවන්ත මානසිකව පීඩා ගෙන දෙන රෝගයක් විදියටයි සමාජගතව තියෙන්නේ. මොකද බොහෝ අය මේ සුදු කබර රෝගය බෝවන රෝගයක් ලෙසට සිතා සිටීම එයට හේතුවයි. ඉතින් සැබෑවටම මේ රෝගය එකිනෙකාගෙන් එකිනෙකාට බෝ වනවා ද?  ඒ සඳහා කළ යුතු ප්‍රතිකාර මොනවද කියන කාරණය පිළිබඳව අද අපි කතා කරමු.

සුදු කබර ඇති වෙන්නට බලපාන හේතු 

බොහෝ අය බළලුන්,සර්පයන් හෝ කැරපොත්තන් සපා කෑම නිසා මේ සුදු කබර රෝගය හට ගන්නා බව විශ්වාස කරනවා. තවත් අය එය දෙවියන්ගේ ශාපයක් විදියටත් සලකනවා.නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මේ රෝගයට හේතු කිහිපයක් පෙන්වා දී තියෙනවා.

ජානමය බලපෑම මේ සුදු කබර රෝගය ඇතිවෙන්නට බලපාන හේතු නිශ්චිත නැතත් ජානමය බලපෑම් මේ සඳහා යම් බලපෑමක් කරන්නට පුළුවන් බව සොයාගෙන තියෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන අසමතුලිතතාවයන් විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සමේ නීරෝගී බව රැක ගන්නට උපකාර කරන නිසා ඇතැම් අවස්ථාවලදී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තිබෙන යම් අසමතුලිතතාවයක් නිසා ශරීරයට අවශ්‍ය පටකයක් හෝ සෛල කාණ්ඩයක වැරදියට හඳුනා ගෙන ඒවා විනාශ කිරීමට පෙළඹෙනවා. මේ විදියට ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සිදු කරන වැරදි හඳුනා ගැනීමක් නිසා සමේ වර්ණය ඇති කරන සෛල විනාශ වෙනවා.මේ ආකාරයෙන් සෛල විනාශවීමෙන් වර්ණය ඇති කරන සෛල ද විනාශ වීමක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ වර්ණක නැති ස්ථාන හට ගන්නා අතර ඒවා සම මතුපිටින් පෙනෙන්නේ වර්ණයක් නොමැති සුදු ලප වශයෙන්.

ආයුර්වේද වෛද්‍ය  ක්‍රමයට අනුව සුදු කබර ඇතිවීමට බලපාන හේතු 

  • විශේෂයෙන්ම ආයුර්වේදයට අනුව මෙය වාත, පිත, සෙම යන ත්‍රිදෝෂ මුල් කරගෙන ඇතිවෙන තත්ත්වයක්.එදිනෙදා අපි ගන්නා ආහාර මගින් වාත පිත සෙම් කෝප වෙනවා. (තක්කාලි, අච්චාරු, බල මාළු, ඉස්සෝ, දැල්ලෝ ) 
  • ආතතිය 
  • නිතර මත්පැන් පානය 
  • පවුලේ අය දද කුෂ්ඨ රෝගවලින් පෙළේ නම් 

මුලින්ම මේ රෝග ලක්ෂණ මතු වෙන්නේ තොල්වල, ඇගිලි තුඩුවල, හිසේ හෝ ලිංගාශ්‍රිතවයි. පසුව ප්‍රතිකාර නොකළහොත් මුළු ශරීරය පුරාම පැතිරෙන්නට පුළුවන්. ඒ වගේම හිසේ මේ සුදු කබර තත්ත්වය ඇතිවුණොත් හිසේ කෙස් සුදු පැහැයට ලක් වෙනවා. 

අපේ සම දුඹුරු පැහැයක් ගැනීම නිසා සමේ පිළිකා ඇතිවීම අවම කරනු ලබනවා.ඒ නිසා සුදු කබර සහිත අයෙක් නම් ඒ ස්ථාන හිරු එළියෙන් ආවරණය කරගැනීම වඩා සුදුසුයි. ඇතැම්විට මේ රෝගය සුව කරන්නටත් හිරු එළිය ලබාදෙන අවස්ථා තියෙනවා. මෙසේ ශරීරයේ මෙලනින්වලට විරුද්ධව ක්‍රියා කරමින් .සුදු කබර ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ කාන්තාවන්ට. පුරුෂ පාර්ශවයට මේ රෝගයේ වැළදීමේ අවදානම අඩුයි.

ප්‍රතිකාර 

මේ සුදු කබර රෝගය මුළුමනින්ම සුව කරන්නට හැකියාව නැතත් මේ පැල්ලම් ඇතිවන මුල් කාලයේ ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමෙන් මේ රෝගය සාර්ථකව පාලනය කළ හැකි බව වෛද්‍යවරුන් පවසනවා. ශරීරයේ එක් පැත්තක හට ගන්නා සුදු කබර වර්ගයක් දරුවන්ට වැළදෙන අතර ඒවා ඉක්මනින් සුව කිරීමේ හැකියාවක් පවතිනවා .නමුත් ඇඟිලි තුඩුවල තොල්වල හට ගන්නා ලප සුව කිරීම තරමක් අපහසුයි.නමුත් මෙවැනි පැල්ලමක් ඇතිවූ වහාම වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර කිරීම තුල මේ රෝගය පැතිරීම වළක්වා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඖෂධ  ගන්නා අතර විටින් විට රුධිර පරීක්ෂා කරනු ලබනවා.

මේ සඳහා වෛද්‍යවරුන් විවිධ ක්‍රීම් වර්ග,පෙති වර්ග ලබා දෙනවා. ඒ හැරුණාම අල්ට්‍රා වයලට් කිරණ ලබාදීමෙන් ප්‍රතිකාර කරනවා. එයට අමතරව දියුණු තාක්ෂණය යටතේ හානි වූ වර්ණක නැවත ඇති කරන්නට කටයුතු කරනවා.

කෘතීම ආහාර පානවලින් වැළකී පිරිසිදු ජලය පානය කිරීම. බෙලිමල්, රණවරා, කොළ කැඳ වර්ග ආදිය පානයට යොමුවීම ආදිය මේ රෝගය ඉක්මනින් සුව කරගන්නට හේතු වෙනවා. කතුරුමුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ග දිවුල් ආදී පලතුරු කරපිංචා යුෂ සමඟ තණහාල් කැඳ ගැනීම ඉක්මන් සුවය ලබා ගන්නට දායක වෙනවා.ඇඹුල් රස පලතුරු සහ අච්චාරු වගේම මාංශ වර්ග මේ සුදු කබර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී නොගත යුතු බවයි සඳහන් වෙන්නේ. ප්‍රමාණවත් නින්ද, මානසික ආතතියෙන් වෙන්වීම ඉවසීම යන කරුණු රෝගියා තුළ තිබිය යුතුයි.ඒ වගේම රෝගියා සම්පූර්ණයෙන්ම මේ සඳහා කැපවිය යුතු වෙනවා.

ඉතින් අපි හැමෝම ලස්සනට ඉන්නට කැමතියි. ඒ නිසා සමේ අලංකාරයට හානි ගෙන දෙන මේ සුදු කබර වගේ රෝගයන් ඇතිවීමෙන් විදින මානසික පීඩනය සුළුපටු නැහැ. ඒ නිසා මේ රෝගය බෝ නොවන රෝගයක් නිසා සුදු කබර ඇති රෝගීන්ව කොන් කිරීම්, පිළිකුල් කිරීම් නොකළ යුතුයි.එය ඒ පුද්ගලයාව තවත් මානසිකව බිඳ වැටීම්වලට ලක් කරන්නක්. ඒ නිසාම මේ සුදු කබර වැළදී අය සම්බන්ධයෙන් අන් අය දක්වන ප්‍රතිචාරයන් රෝගීයා මානසික කඩාවැටීම්වලින් වළක්වාගන්නට උපකාරී වෙනවා.