ඔබත් ඉරුවාරදයෙන් පෙළෙන බව පෙනුම් කරන ලක්ෂණ 6ක්

health tips

ඔබගේ හැමෝම අත්විඳලා තියෙන දෙයක් තමයි හිසේ කැක්කුම. සාමාන්‍ය හිසේ කැක්කුම හැරුණාම තදබල ලෙස හිසේ කැක්කුම නිසා පීඩා විඳින පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. නමුත් හිසරදය රෝගයක් නෙවෙයි, යම් රෝගයක රෝග ලක්ෂණයක්. සාමාන්‍යයෙන් හිසේ කැක්කුම ඇතිවෙන්නට විවිධ හේතු බලපාන්නට පුළුවන්. ශරීරයේ අවයවවල යම් ගැටලුකාරී තත්ත්වයන් , දත් අමාරු, කන් අමාරු හා සෙම් රෝග අවස්ථාවලදීත්  නිරන්තරයෙන්ම හිසේ කැක්කුම් ඇති වෙනවා. 

නමුත් ඉරුවාරදය කියන තත්ත්වය සාමාන්‍ය හිසේ කැක්කුමකට වඩා බොහෝ සෙයින් ම වෙනස්. මෙහි වේදනාව දන්නේ මේ තත්ත්වයෙන් පීඩා විදින අයම විතරයි. මොකද ඒ තරම්ම එය වේදනාකාරී දෙයක් වන නිසා. තදබල ලෙස හිසේ කැක්කුමක් ඇති අවස්ථාවක දී බොහෝ දෙනා බියපත් වෙන්නේ මොළයේ ගෙඩියක් හෝ වෙනත් හිසේ බරපතළ තත්ත්වයක් නිසා මේ වගේ හිසේ කැක්කුමක් ඇති වෙනවා කියලා. නමුත් එය එතරම්ම බරපතළ කාරනයක් නොවි මේ වගේ ඉරුවරදය කියන තත්ත්වයක් නිසා ඇතිවන හිසේ කැක්කුමක් වෙන්නටත් පුළුවන් . ඔන්න අපි අද ඔබ සමග කතා කරන්නේ මේ ඉරුවාරදය කියන රෝගයෙන් වැළකී ඉන්නේ කොහොමද කියන කාරණාව සහ ඒ සඳහා අපිට සිදු කළ හැකි ප්‍රතිකාර මොනවාද කියන කාරණාවන් පිළිබඳවයි. 

මේ මිග්‍රෙන්  කියන තත්ත්වය දවසේ ඕනෑම අවස්ථාවක ඕනෑම වෙලාවකදී ඇතිවෙන්නට පුලුවන්. ඒ විතරක් නෙවෙයි දවසට කිහිප වරක් හැදෙන්නත් පුළුවන්. තවත් අයට සතියකට වරක් දෙවරක් වගේම මාසයකට වරක් දෙවරක් වුණත් ඇතිවෙන්නට පුළුවන්. තවත් විටෙක මේ ඉරුවාරදය නිසා ඇතිවන හිසේ කැක්කුම ඇතුළු අපහසුතා දින ගණන් වගේම සති ගණන් වුණත් සුව නොවී පවතින්නටත් පුළුවන්. 

ඉරුවාරදයේ ලක්ෂණ

  • තදබල ලෙස ඇතිවන හිසේ කැක්කුම -බොහෝවිට හිසේ ඉදිරිපස කොටසේ හෝ හිසේ පැත්තක තදබල වේදනාවක් ලෙස තමයි  මේ ඉරුවාරදය ඇති වෙන්නේ. 
  • වමනය ඇති වීමේ ස්වභාවය හෝ  වමනය 
  • මුහුණේ පැත්තක, අතක ඇඟිලිවල හෝ හිරි ගතියක් ඇතිවීම 
  • කතා කිරීමේ අපහසුතාවය
  • පෙනීම බොඳවීම හෝ ඇස් නිලංකාර වීම
  • ආලෝකය දෙස, ඉර එළිය දෙස  බැලීමේ අපහසුතාවය
  • ඝෝෂාකාරී ශබ්ද හමුවේ වේදනාව අධිකව දැනීම 

මේ ඉරුවාරදය තත්ත්වය නිසා ඇති වන ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නට පුළුවන්.  මේ ඉරුවාරදය බහුලවම කාන්තාවන් අතර දකින්නට පුළුවන් . මේ රෝග තත්ත්වය ඇති වෙන්නට බලපාන මූලිකම හේතුව තමයි ජානමය පරිසරය. පවුලේ යම් අයෙකුට මේ රෝගය තිබේ නම් අනිත් අයට ඇතිවෙන්න ඉඩකඩ පවතිනවා . 

රෝගියෙකුගේ මිග්‍රෙන් තත්ත්වය වැඩි කිරීමට බලපාන සාධක

  • මානසික පීඩනයෙන් පෙළීම නිරන්තරයෙන් මානසිකව පීඩාවට ලක් වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයන්ට මිග්‍රේන් නිරන්තරයෙන් ඇති වෙන්නට පුළුවන්.
  • දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම හෝ තද ආලෝකයක් සහිත පරිසරයක නිතරම ගැවසීම 
  • ඝෝෂාකාරී පරිසරයක ගැවසීම 
  • ඇතැම් ආහාර – ඇතැම් අයට කජු, රට කජු, මාමයිට්, චොක්ලට්, චීස්, කෝපි, තේ ආදී ආහාර පාන ගැනීම තුළින් මේ ඉරුවාරදය  කියන තත්ත්වය තව දුරටත් වර්ධනය කරන්නට පුළුවන්. 
  • හෝමෝනමය බලපෑම බොහෝ වෙලාවට  කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ලංවෙද්දි  සහ ඔසප් කාලය අවසන් වෙද්දිත්  මිග්‍රේන් තත්ත්වය ඇති වෙන්නට පුළුවන් .
  • ගර්භනීණීභාවය 
  • මත්පැන් සහ දුම්පානය 
  • සැර සුවඳ විලවුන් සහ අධික ගන්ධයන් දැනීම 
  • නිතර නිතර නිදි වැරීම
  • ආහාර වේල් මග හැරීම- ආහාර වේල් මග හැරීම නිසා මිග්‍රේන් තත්ත්වය නිතර නිතර ඇති වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඩයට් කිරීම ආදිය ඉරුවාරදයෙන් පෙළෙන අය  සිදු නොකළ යුතු බවට සඳහන්  වෙනවා. ඔබට් මිග්‍රේන් තත්ත්වයෙන් වැලකීමට ඔබට මේ කාරණා පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වෙන්නට සිද්ධ වෙනවා. එමගින් නිතර නිතර මේ පීඩාවට ලක්වීම ඔබට දුරු කරගන්නට පුළුවන්.

ප්‍රතිකාර මේ මිග්‍රේන් තත්ත්වයට දින කිහිපයක් ප්‍රතිකාර ගැනීමෙන් ඔෂධ ලබා ගැනීමෙන් සුව කරගන්නට හැකියාවක් ලැබෙන රෝගයක් නෙමෙයි. ඒ නිසා මේ සඳහා වූ ඖෂධ දීර්ඝ කාලයක් ලබා ගන්නට සිද්ධ වෙනවා. එමඟින් ඔබට මිග්‍රේන් ඇතිවන වාර ගණන අඩු වීමක් සිදු වෙනවා. මිග්‍රේන් ඇති වුන අවස්ථාවක හිසේ කැක්කුම සුව කරගන්නට අපි සාමාන්‍ය හිසරදයකදී  ලබා ගන්නවා මෙන් වේදනා නාශක ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. සාමාන්‍ය හිසේ කැක්කුමට ලබාදෙන වේදනා නාශක ඒ හිස කැක්කුම ඇති අවස්ථාවේදී පමණක් භාවිතයට ගැනීමට තමයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ.

 නමුත් මිග්‍රේන් තත්ත්වයේදී ලබාදෙන ඖෂධ ඔබට දිගුකල් ලබාගන්නට සිදු වෙනවා.මේ සඳහා වූ ඖෂධ රාත්‍රී  කාලයේ දී ලබාගත යුතු වෙනවා. මේ  ඖෂධ කාලයක් ලබා ගනිද්දී ඔබට මිග්‍රෙන් ඇතිවන වාර ගණන අඩු වෙන බව ඔබටම දැක ගන්නට ලැබෙනවා. නමුත් මේ ඖෂධ ගන්නා අතර මේ  මිග්‍රේන්  ඇතිවන වාර ගණන අඩු කර ගන්නට උපකාරී වන ඉහත සඳහන් කළ ආහාර පුරුදු සහ චර්‍යාමය  වෙනස්කම් ඔබ ඇති කරගත යුතු වෙනවා. 

මේ මිග්‍රේන් කියලා කියන්නේ ඉතාම වේදනාකාරී අපසනීපයක්. නමුත් ඔබට ඇතිවන සෑම තදබල හිසේ කැක්කුමක්ම මිග්‍රේන් යැයි ඔබ විසින් නිශ්චය කරන්නට යන්නට එපා. ඒ  සඳහා ඔබ වෛද්‍යවරයෙකු හමු වී අදාළ පරීක්ෂණ කරවා ගත යුතු වෙනවා.