සිරුරේ ඉහළ ගිය සීනි මට්ටම පහළ හෙළන දේශීය ඔසු 25 ක්

health tips

ජීවත් වෙන්නට අපිට ආහාර අත්‍යවශ්‍ය වෙනවා. නමුත් රසය ගැන විතරක් හිතලා අපි ගන්නා ආහාර නිසා නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙනවා.  විශේෂයෙන්ම දියවැඩියාව කියන්නේ ඕනෑම වයසක අයෙකුට ඇති වෙන රෝගයක්. මේ සඳහා වැඩි වශයෙන් අපි ගනු ලබන පැණි රස සහ පිෂ්ඨය බහුල ආහාර හේතුවෙනවා. 

පෝෂණවේදීන් සඳහන් කරන ආකාරයට පිෂ්ඨය බහුල ආහාර සහ සීනි සහිත ආහාර ශක්තිජනක ආහාර වශයෙනුයි සලකනු ලබන්නේ. අපි ලබා  ගන්නා  ප්‍රධාන ආහාරවේලකින් පසුව අපේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සිදු වෙනවා.මෙහිදී  අග්න්‍යාශය මගින් ඒ තත්ත්වය පාලනයට ඉන්සියුලින් හෝර්මෝනය ශ්‍රාවය කරනු ලබනවා. ආහාරවල ගබඩා වී ඇති පිෂ්ඨය සහ සීනි  ග්ලූකෝස් බවට පත්වීමෙන් සෛලවලට අවශ්‍ය ශක්තිය නිපදවා ගනු ලබනවා. මේ ඉන්සියුලින් හෝර්මෝනය ආහාර මගින් ශරීරයට එකතු වෙන ග්ලූකෝස් ශක්තිය බවට පරිවර්තනය කිරීම සඳහා රුධිර සෛල කරා පරිවහනය කර දෙනවා. 

නමුත් ඇතැම් අයගේ මෙසේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් හෝර්මෝනය ශ්‍රාවය කරන්නේ නැහැ. එය හඳුන්වනු ලබන්නේ පළමු ගණයේ දියවැඩියා රෝගය ලෙසයි. දෙවන ගණයේ දියවැඩියා ලෙස හඳුන්වනු ලබන්නේ අග්න්‍යාශය තුළ නිපදවන ඉන්සියුලින් ශරීරයට නිසි පරිදි භාවිතා කරන්නට නොහැකි වීමයි. ඉන්සියුලින් ප්‍රතිරෝධය ලෙස හඳුන්වනු ලබන්නේ මේ තත්ත්වයයි.  ලෝකයේ බහුතරයක් දෙනා පීඩා විදින්නේ මේ දෙවන ගණයේ දියවැඩියා රෝගයෙන්.

අග්න්‍යාශයේ කටයුතු අඩාල වීම නිසා වැඩිපුර සීනි ඉවත් කරන්නට වකුගඩුවලට අනවශ්‍ය ලෙස වෙහෙසීමට සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කාලයක් ගත වෙද්දි  වකුගඩු  රෝගී වීමත් සිදු වෙන්නට පුළුවන්. ඉන්සියුලින් වලින් ශරීරය ප්‍රයෝජනයට නොගැනීම කියන්නේ ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවා ගන්නට නොහැකි වීමයි. මේ නිසා ශරීරයට අවශ්‍ය  කරන ශක්තිය සපයා ගන්නට මේදය සහ ප්‍රෝටීන දහනය කරන්නට උත්සාහ කරනවා. විශේෂයෙන්ම වකුගඩුවලට අක්මාවට, ස්නායුවලට අග්න්‍යාශයට ඇස්වලට මේ නිසා භයානක ලෙස බලපෑම් ඇති වෙන්නට හැකියි. 

ඉතින් මෙවැනි භයානක තත්ත්වයන් පවා ඇති කරන දියවැඩියාව කියන්නෙම අද බහුලවම දකින්නට ලැබෙන බරපතල රෝගයක්. වැළදුණාම සුවකරගන්නට නොහැකි දියවැඩියාව හොඳින් පාලනය කර නොගත්තොත් ඇතිවන සංකූලතාත් ඉතාම භයානකයි. ඒ නිසාම රුධිරයේ සීනි මට්ටම අධික විට එය ඉතා ඉක්මනින් පහත හෙළන්නට බටහිර ඖෂධ අවශ්‍යම  නැහැ. එදා අපේ පැරණි මුතුන් මිත්තන්  මේ රෝගවලින් ආරක්ෂා වී සිටියේ  අපේ මහ පොළවේ හැදෙන විශේෂ ගුණ සහිත ආහාර වර්ග ඔසු වර්ගවලට පින්සිදු වෙන්නටයි. අද අපි ඔබට කියන්නට යන්නෙත් ක්ෂණිකව සීනි පහළ හෙළන හෙළ ඔසු වර්ග කිහිපයක් ගැනයි.

කැඳ වර්ග දේශීය කැඳ වර්ගයක් පානයට ගැනීම එදා ගැමියාට නම් නුහුරු නුපුරුදු දෙයක් වුණේ නැහැ. නමුත් අද අපිට කැඳ ටිකක්  පිළියෙල කරගෙන පානය කරන්නට තරම්  කාලයක් නැහැ. මොකද හැමෝම වගේ ගෙවන කාර්යබහුල ජීවන රටාව නිසා. හදිසියෙන් හෝ කැඳක් නිවසක පිළියෙල වෙන්නේ යම් ලෙඩක් දුකක් ඇති වූ විටෙක පමණයි. කොහොමනමුත් දියවැඩියාව පාලනය කර ගන්නටත් මේ දේශීය කැඳ වර්ග බෙහෙවින් අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේ කැඳ වර්ගවලින් සතියකට වරක් හෝ සාදා පානය කළ හැකි නම් එය දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායක වෙනවා.

  • රණවරා කොළ කැඳ
  • බෙලී කොළ කැඳ
  • කෝවක්කා කොළ කැඳ
  • නීරමුල්ලිය කොළ කැඳ
  • මුරුංගා කොළ කැඳ
  • මුකුණුවැන්න කොළ කැඳ

ඔසු පානයන් අද අපට උදේ කිරි පිටි එක නැතුව දවස ආරම්භ කරන්නට හැකියාව නැතත් එදා අපේ පැරැන්නන් තේ වෙනුවට බොහෝවිට පානය කළේ මේ ඔසු පානයන්. දියවැඩියාව පාලනයටත්,  දියවැඩියාවෙන් පෙළෙන ඔබටත්  මේ පානයන් ලබා  ගැනීම ඉතා වැදගත් වෙනවා.

  • රණවරා මුල්, කොළ, මල්, නැටි , පොතු තම්බා පානය කිරීම 
  • කොත්තමල්ලි තැම්බූ වතුර සතියකට දෙවරක් පානය කිරීම 
  • උළුහාල් කුඩු තේ හැදි 1 ක් උණු වතුරින් තම්බා පෙරා නින්දට පෙර සතියට 2-3 ක් පානය කිරීම
  • කොතල හිබටු තැම්බු වතුර පානය
  • බෙලි මුල් තම්බා පානය කිරීම 
  • අඹ කොළ දහයක් පහළොවක් වතුර කෝප්පයක් සමඟ තම්බා පෙරා පානය කිරීම 
  • ඉදුණු  වරකා හෝ අමු කොස් කොළ 10 පමණ තම්බා පෙරා පානය කිරීම
  • මාදම් පොතු තම්බා පානය කිරීම 
  • කුබුක් පොතු තම්බා පානය කිරීම 
  • අට්ටික්කා පොතු තම්බා පානය කිරීම 
  • සේපාලිකා මල් තැම්බූ වතුර පානය 
  • වෙනිවැල්ගැට තම්බා පානය 
  • මාදම් පොතු කුබුක් පොතු මාදම් ඇට කොටා කුඩුකර වත්කර පානය කිරීම 
  • මුරුංගා  කුඩු පානය 
  • කරිවිල කොළ තේ පානය 
  • කරපිංචා යුෂ මේස හැදි 2 ක් උදෑසනට පානය කිරීම 

වෙනත් ආහාර 

  • කොටදිබුලා ගෙඩි ව්‍යංජනය 
  • අට්ටික්කා ගෙඩි ව්‍යංජනය 
  • සීනි එකතු නොකළ ඇබරැල්ලා  ව්‍යංජනය 
  • කරිවිල කොළ මැල්ලුම 
  • කෝවක්කා කොළ සම්බෝලය 
  • අගුණ කොළ මැල්ලුම 
  • තෙබු කොළ මැල්ලුම් මේ මැල්ලුම හෝ සම්බෝල දිනපතා හෝ නිතර නිතර ආහාරයට නොගන්නට ඔබ වග බලා ගත යුතු වෙනවා.
  • පලතුරු 
  • ඉදුණු  වෙරළු ගෙඩි 10 ක් පමණ දිනකට ගැනීම. නමුත් රාත්‍රියේදී වෙරළු ගැනීම එතරම් හිතකර නැහැ.
  • කටු අනෝදා 
  • නෙල්ලි 
  • බෙලි 
  • නාරං 
  • බාගෙට ඉදුණු  ඇඹුල් කෙසෙල් 

මේ ආහාර පාන ඔබේ ආහාරවේලට එකතු කර ගන්නා අතරේ  දියවැඩියා රෝගීන්ට නුසුදුසු ආහාර සහ චර්යා රටාවෙන් ඈත්ව සිටීමත් දියවැඩියා  රෝගය ඉතා හොඳින් පාලනය කරගන්නට විශාල උදව්වක් වෙනවා.