ඔබේ සිරුරේ ක්‍රියාශීලි බව නැතිවීගෙන යන බව පෙන්නුම් කරන ලක්ෂණ 11 ක්

health tips

සිරුරේ නීරෝගී පැවැත්ම සඳහා ක්‍රියාශීලී දිවියක් ගත කිරීම ඉතා වැදගත් සාධකයක් වෙයි. ඇතැම් අය කාර්යබහුල ජීවිතයක් ගත කරත් සිරුරට නිසි ව්‍යායාම ලැබෙන ක්‍රියාකාරකම් වල නිරතවෙනවා ද යන්න ගැටලු සහගතයි. ඇතැම් පිරිස් ‍රැකියා වල යෙදෙන්නේ දවසේ වැඩිකාලයක් වාඩි වී සිටිමිනි.දවසේ වැඩි කාලයක් වාඩි වී සිටින ඉරියව්වෙන් සිටින විට සිරුරට කිසිඳු ව්‍යායාමයක් නොලැබෙයි. ඇතැම් අය පැය ගණනක් එකදිගට පු‍ටුවක හෝ ඇඳේ වැතිරී රූපවාහිනිය නරඹන්න, පරිගණකය හෝ ස්මාර්ට් දුරකථන භාවිත කරන්න පුරුදු වෙලා ඉන්නවා.මෙවැනි ක්‍රියාකාරකම් නිසා පුද්ගලයාගේ කායික ක්‍රියාශීලිබව සීමා වෙනවා. 

ක්‍රීයාශීලීත්වය අඩු ඒකාකාරී ජීවන රටාව ඔබේ සිරුර රෝගී වීමට ප්‍රබල ලෙස බලපෑමක් ඇතිකරයි. ව්‍යායාම නොමැතිකමින් සිරුරේ මේද හා කැලරි දහනය වීම අඩාල වී තරබාරු වීම, දියවැඩියාව,හෘද රෝග, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි නොයෙකුත් රෝගාබාධ අවදානම් ඉහළ යයි. එන්න එන්නම සිරුර මහත් වීම ඔබේ සිරුරේ ක්‍රියාශීලීබව ඉතා අඩුබව පෙන්නුම් කරන ප්‍රධාන ලක්ෂණයක්.සිරුරේ සුන්දර හැඩය නැතිවීයාම නිසා ඔබ කැමතිම ඇඳුම් නැවත අඳින්නට නොහැකිවීම, ඇඟට ගැලපෙන ඇඳුම් විලාසිතා ‍තෝරාගැනීම අපහසු වීම වගේ ගැටලු පවා ඇතිවෙයි.

ඔබේ ක්‍රියාශීලීබව ඉතා අඩු බව පෙන්නුම් කරන ලක්ෂණ ගැනයි මේ.

  • ක්‍රියාශීලි නොමැතිකම සිරුරේ නොයෙකුත් අපහසුතා මතුකළ හැකියි.මලබද්ධය හා නිසි ලෙස මලපහ නොවීම වැනි ගැටලු මතුවෙයි.ක්‍රියාශීලීබව අඩුකම නිසා උදර පේශී හා මහා ප්‍රාචීරය දුර්වල වෙයි.එහි බලපෑමින් මල අපද්‍රව්‍ය බැහැර වීමේ ක්‍රියාවලියට අසීරුතා මතුවෙයි.නිතිපතා ව්‍යායාම කිරීම බඩවැල් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරයි.මලබද්ධය වැනි ගැටලු නිදන්ගත වීමෙන් අර්ශස් රෝගය දක්වා බරපතල විය හැකියි.
  • සන්ධි වල කැක්කුම් හා චලනය කිරීමේ අපහසුතා මතුවීම ක්‍රියාශීලී බව අඩුකමේ තවත් ලක්ෂණයක්. වැඩි වෙලාවක් එක දිගට වාඩි වී සිට නැවත ඇවිදින්න පටන්ගැනීමේදී පාද වලට අපහසුවක් දැනෙයි. එසේ වන්නේ සන්ධි ක්‍රියාකාරීත්වයේ නොපැවතීම නිසයි.සන්ධි වේදනා හා සන්ධි වල දරදඬු බව ආතරයිටිස් වැනි රෝගයක පූර්ව රෝග ලක්ෂණයක් වීමට ද හැකියි.වේදනා තත්වය දිගින් දිගටම පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
  • පඩිපෙලක් නැගීම පවා අසිරුයි නම්, එවැනි ක්‍රියාකාරකමින් පසු හුස්ම හිරවෙන තරම් මහන්සියක් දැනෙයි නම් ඔබේ සිරුර බරපතල ලෙස පීඩාවට ලක්වී තිබෙන බව පෙනෙයි.බාහු වල පේශී භාවිත නොවන විට ඒවා දුර්වල වෙන්නා සේම එහා මෙහා ඇවිදීම අඩුකම නිසා පෙනහළු ද දුර්වල වෙයි.ක්‍රියාශීලීබව අඩුකම ඔබේ හුස්ම හිරවීමේ ගතිය වඩාත් උත්සන්න වීමට බලපායි.එදිනෙදා වැඩකටයුතු වල යෙදීම පවා අසීරු බවක් දැනෙයි.අලස බව නිසාම සිරුරේ නිතර අප්‍රාණිකබවක් දැනෙයි.දිනෙන් දින සිරුර මහත් වෙයි.
  • මානසික සෞඛ්‍යයට ද බලපෑම් ඇතිවෙයි. ක්‍රියාශීලීව යම් වැඩක යෙදුණු පසු හොඳ තෘප්තිමත් බවක් සිරුරට දැනෙයි.ව්‍යායාම හා ක්‍රීඩා වල නිරතවීමේදී මොළයේ ඇඩ්‍රිනලින් හෝර්මෝන ස්‍රාවය වැඩිවෙයි.ප්‍රීතිමත් බව වැඩිවෙයි.ක්‍රියාශීලී බවක් නොමැතිකම නිසා පුද්ගලයා තුළ කාංසාව හා විශාදයීය (මානසික අවපීඩන) ලක්ෂණ මතුකරයි.ඇවිදීම,පා පැදි ධාවනය, පිහිනීම හෝ දිවීම වැනි හෘද ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වන ව්‍යායාම අභ්‍යාස වල යෙදීමට උත්සහ කිරීම වඩාත් ප්‍රතිඵල සහගතයි. මනෝභාවය (mood) මෙන්ම ආත්මාභිමානය වැඩිවෙයි.
  • ව්‍යායාම වල යෙදිමේදී සිරුරේ පටක වෙත ඔක්සිජන් හා පෝෂක ‍රැගත් රුධිරය සංසරණය වීම වැඩිවෙයි.සිරුරේ ක්‍රියාකාරීත්වයට සිරුරේ ක්‍රමවත් රුධිර සංසරණ ක්‍රියාවලියක් පැවතීම වැදගත්වේ.ඔබ අලසව එක තැනකට වී සිටිමින් කිසිඳු ක්‍රියාකාරකමක නොයෙදෙන විට සෛල හා පටක වලට අවශ්‍ය එම ඉන්ධන නොලැබෙයි.ඔබ දිනපතා ලබාගන්නා කැලරි නිසි ලෙස දහනය කරගැනීම ද වැදගත්. දිනපතා අවම මිනිත්තු 30ක් හෝ සතියකට 5වතාවක් පමණ ව්‍යායාම වල යෙදීම ඔබේ පුරුද්දක් කරගන්න.ව්‍යායාම සිරුරට ශක්තිය ලබාදෙමින් ඔබේ ජවසම්පන්න බව වඩවයි.
  • ක්‍රියාශීලීබව සිරුරේ පරිවෘත්තිය වේගවත් කරයි. පරිවෘත්තිය යනු ආහාර පාන ශක්තිය බවට පරිවර්තනය කෙරෙන ශරීර ක්‍රියාවලියකි.ශක්තිය නිපදවෙන්නේ ආහාර පාන වලින් ලැබෙන කැලරි දහනය කිරීමෙනි.නිතිපතා ව්‍යායාම කිරීම මෙම ක්‍රියාවලිය වඩාත් පහසු කරයි.
  • ක්‍රියාශීලීබව අඩුකම ඔබේ නින්දට ද බලපෑම් ඇතිකරයි.නින්ද නොමැතිකම ඉන්සොම්නියා හෙවත් අනිද්‍රාව නම් තත්වයයි. කොතරම් නිදාගැනීමට උත්සහ කළත් නින්දට වැටීමට තරම් සිරුර තෙහෙට්‍ටුවී නොමැතිකම නින්ද ආශ්‍රිත ගැටලු මතුවීමට බලපායි.රාත්‍රියේදි හොඳ නින්දක් නොලැබීමෙන් දිවා කාලයේ දැඩි තෙහෙට්‍ටුවක් හා නිදිමත ගතියක් දැනෙයි.ඔබේ කාර්යක්ෂමතාව අඩුවෙයි. ව්‍යායාම වල යෙදීම ඔබේ නිදන රටාව ක්‍රමවත් වීමට හොඳ සහයක් ලබාදෙයි.
  • මනසේ ව්‍යාකූලබව තවත් ලක්ෂණයකි. ව්‍යායාම වල යෙදීම මතකශක්තිය වැඩිදියුණුවීමට ධනාත්මක බලපෑමක් ඇතිකරන බව අධ්‍යයන පෙන්වාදෙයි. එමෙන්ම තර්කණය හා සිතීමේ හැකියාව මෙන්ම තීරණ ගැනීමේ කුසලතා වර්ධනය කරයි.කායිකව ක්‍රියාශීලීව සිටීම මානසික සෞඛ්‍ය යහපත් වීමට රුකුල් දෙයි.
  • රුධිර සීනි මට්ටම් යම් දුරකට වැඩිවීම ක්‍රියාශීලිබව අඩුකමින් ඇතිවන තත්වයකි. සාමාන්‍ය මට්ටමට වඩා රුධිර සීනි මට්ටම් ඉහළ යාම පූර්ව දියවැඩියාව ලෙස හඳුනාගනියි. මෙය දෙවන කාණ්ඩයේ දියවැඩියා අවදානම ඉහළ බව පෙන්නුම් කරන සංඥාවකි.නිතිපතා ව්‍යායාම කිරීම රුධිර සීනි මට්ටම් නියාමනයට සහය දෙයි. එමෙන්ම දියවැඩියා අවදානම අවම කරවයි.
  • ව්‍යායාම අඩුකම ලිංගික ජීවිතයට බලපෑම් ඇතිවීමට හේතුවක් බව සඳහන් වෙයි. මෙය කාන්තාවන්ගේ ලිංගික  ක්‍රියාකාරීත්වයට  බෙහෙවින් බලපාන බව අධ්‍යයන පෙන්වාදෙයි.ව්‍යායාම වල යෙදීම ඔවුන්ගේ ලිංගික ක්‍රියාකාරීබව වැඩිදියුණු වීමට ආධාර වේ.එමෙන්ම පුරුෂයින් තුළ ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝන මට්ටම් වැඩිවීමට ද නිතිපතා ව්‍යායාම වල යෙදීම ප්‍රතිලාභ පෙන්නුම් කරයි.
  • දිගු කලක් තිස්සේ පවතින කොන්දේ කැක්කුම, බඩගින්න හා තදබල අසනීපගතිය තවත් ලක්ෂණ කිහිපයක්.ක්‍රියාශීලීබව අඩුකම නිසා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද නිසි ලෙස ක්‍රියානොකරයි.එම නිසා සිරුර ක්‍රියාශීලීව පවත්වාගැනීම,ඊට හොඳින් ව්‍යායාම ලබාදීම ඉතා වැදගත්.