අත්වලට සහ යටි පතුල්වලට වැඩිපුර දහදිය දැමීමට බලපාන හේතු 12 ක්

health tips

දහදිය දැමීම මිනිසුන්ට වගේම බොහෝමයක් සතුන්ට පවා සිදුවන ස්වාභාවික ක්‍රියාවලියක්. දහදිය අපේ ශරීර උෂ්ණත්වය නියාමනය කරමින් සිරුර සිසිල් කරන්නටත්, සිරුරේ අපද්‍රව්‍ය ඉවත් කිරීමත් සිදු කරනු ලබනවා. අපි හැමෝමටම දහදිය දැමීම සාමාන්‍ය දෙයක් වුණත් එය අසාමාන්‍ය ලෙස සිදුවන අය අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා.  මෙසේ අසාමාන්‍ය ලෙස දහදිය දැමීම සුළුවටගත යුතු නොවන තත්ත්වයක්. මොකද එය ඇතැම් විට කායික හා මානසික යම් ගැටළුකාරී තත්ත්වයක්  හඟවන යම් ලක්ෂණයක් වන්නට හැකි නිසා. ඉතින් මේ ආකාරයට අධික ලෙස දහදිය දැමීම කෙරෙහි බලපාන හේතු මොනවාද යන්න අපි විමසා බලමු.

  • තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය තයිරොයිඩ් ග්‍රන්ථියේ නිපදවන හෝර්මෝනවල අධි ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන එක් ලක්ෂණයක් වන්නේ මෙසේ අධික ලෙස දහදිය දැමීමයි.
  • සමාජ කාංසාව සමාජයක් දිරියට තනිව යාම සිදුවන විට අසාමාන්‍ය ලෙස දහදිය දැමීම සිදු වන්නට පුළුවන්. මේ අවස්ථාවේදී සිදු වෙන්නේ ඒ අවස්ථාවට මුහුණදීමට ශරීරයේ සිදුවන රසායන ක්‍රියාවලීන් නිසාවෙන්.
  • ඇතැම් පිළිකා දහවල් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී  අසාමාන්‍ය ලෙස දහදිය දැමීම ඇතැම් පිළිකාවල මූලික ලක්ෂණයක්. විශේෂයෙන්ම රාත්‍රියේදී අධික ලෙස දහදිය දැමීම සිදු වන්නේ නම් එය ලින්ෆෝමා වැනි පිළිකාවක මූලික සංඥාවක් වන්නට පුළුවන්.
  • Hyperhidrosis මේ තත්ත්වයේදී අතට සහ පාදවලට අධික ලෙස දහදිය දැමීම සිදු වෙනවා. මේ තත්ත්වය බොහෝවිට නව යොවුන් වියේදී ඇතිවන තත්ත්වයක්. මේ තත්ත්වය ඇතිවීම ආරම්භ වන්නේ වයස් අවුරුදු 13 පමණ වන විටදී. මේ හයිපහයිඩ්රෝසීස් තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර නොලැබුණොත්  එය මුළු ජීවිත කාලය පුරාම පවතින්නට පුළුවන්.
  • පරිවෘත්තීය ක්‍රියාවලි වේගවත් වීම ඇතැම් අවස්ථාවලදී විශාල ආහාරවේලක් අනුභව කළ පසු  අධික ලෙස දහදිය දැමීම  සිදු වෙනවා. එහිදී ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලි වේගවත් කර ආහාර  ජීර්ණයට ඉඩ සැලසීම නිසා අධික ලෙස දහදිය දැමීම සිදු වෙනවා. මෙය පොදුවේ සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් බව මතකයේ තබා ගන්න.
  • ඔසප්වීම ඔසප්වීම සිදුවන කාලයේදී ඇතිවන ලක්ෂණ අතර දහදිය දැමීමත් සිදු වෙනවා. හෝර්මෝනවල වෙනස්වීම සිදුවන නිසා එය සිරුරේ උෂ්ණත්වය වෙනස් කරන්නට හේතු වෙනවා. මේ නිසා ඇතැම් කාන්තාවන්ට අධිකව දහදිය දැමීම සිදු වෙනවා. මේ අනුව ඔසප්වීම පටන් ගැනීමට ආසන්නව ඊට පෙර දින 4 ක් හෝ 5 ක් කාලයක් තුළ අධික ලෙස දහදිය දැමීම සිදු වෙනවා. නමුත් ඔසප්වීම ආරම්භ වූ වහාම  මේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනවා.
  • ඇතැම් ඖෂධ වර්ග ඇතැම් ඖෂධ වර්ග හේතුවෙන් පවා අධික ලෙස දහදිය දැමීම සිදු වන්නට පුළුවන්. Adderall හෝ  Methamphetamine ව්‍යුත්පන්නයක් සහිත ඖෂධ වර්ග අධික ලෙස භාවිතා කිරීම නිසා අසාමාන්‍ය පරිදි දහදිය දැමීම සිදු වෙනවා.
  • යම් දෙයක් කෙරෙහි පවතින දැඩි කැමැත්ත මෙය අධික ලෙස දහදිය දැමීමට හේතු වෙනවා. තවත් අයෙක් කෙරෙහි ඇතිවන ආදරය, කැමැත්ත හෝ ලිංගික ආශාව ආදී දේවල් හේතුවෙන් පවා අසාමාන්‍ය ලෙස දහදිය දැමීම සිදු වෙනවා. මේ හැඟීම් දේහ උෂ්ණත්වය ඉහළයාමට හේතුවන නිසා දහදිය දැමීම අසාමාන්‍ය ලෙස සිදු වෙනවා. මෙය ශරීරය තුළ සිදුවන තවත් එක් ස්වභාවික ක්‍රියාවලියක්.
  • ජානමය බලපෑම් ඇතැම් අවස්ථාවලදී ජානමය බලපෑම්  හේතුවෙන් අධික ලෙස දහදිය දැමීම සිදු වෙනවා.
  • සිරුරේ ස්වේද ග්‍රන්ථි පමණට වඩා පිහිටීම එවැනි තත්ත්වයකදී මේ ස්වේද ග්‍රන්ථි ශරීරය පුරාම විසිරී තිබෙන්නට හැකියි.නැත්නම් ශරීරයේ තැනින් තැන පමණක් ඒකරාශී වී තිබෙන්නට පුළුවන්.
  • ස්වංක්‍රීය ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයන් 
  • දියවැඩියා රෝගය 
  • අධික තේ හෝ  කෝපි භාවිතය 

අධිකව දහදිය දැමීම නිසාවෙන් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් 

  • විජලනයට පත්වීමේ ඉඩකඩ වැඩිවීම 
  • අත්වල අසාමාන්‍ය සීතල ගතියක් ඇතිවීම 
  • සම රැලි වැටීම 
  • පහසුවෙන් විවිධ ආසාදන තත්ත්වයන්ට ගොදුරු වීම 

මේ ආකාරයට පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය, හෝර්මෝන වෙනස්වීම, පුද්ගලයාගේ වයස් මට්ටම අනුව මේ දහදිය දැමීම අසාමාන්‍ය වෙන්නට පුළුවන්. නමුත් එදිනෙදා ජීවිතයට බාධාවන ආකාරයට අසාමාන්‍ය පරිදි දහදිය දැමීමක් සිදු වන්නේ නම් එය වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක්. මොකද අසාමාන්‍ය ලෙස දහදිය දැමීම පිටුපස යම් භයනක රෝග තත්ත්වයන් සැඟවී තිබෙන්නට හැකි නිසාවෙන්.