කොරෝනා වසංගතය නිසාම අපිට අමතකවෙලා තිබුණු බොහෝ ඔසු ගැන අද වැඩි වැඩියෙන්සොයා බලන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. බටහිර වෙදකමේ ආගමනයත් සමඟම බොහෝ වටිනා ඖෂධ ක්‍රමයෙන් භාවිතයෙන් ඈත්වී යන යුගයක නැවත අපිට මේ කොරෝනා වසංගතය නිසාම ඒවායේ ඖෂධීය වටිනාකම ගැන කතා කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මොකද වසර ගණනාවකට පෙර අපේ මුතුන් මිත්තන් නිදුක් නීරෝගීව බොහෝ කාලයක් ජීවත් වීමේ රහස මේ පාරම්පරික හෙළ ඔසු වීම නිසා. ඉතින් ඔන්න අද අපි ඔබ සමඟ කතා කරන්නේ බොහෝදෙනෙක්ට අමතක වෙලා තිබුණු දැන් දැන් කතාබහට නිතර ලක්වෙන අපූරු ඔසුවක් පිළිබඳව. ඒ තමයි වදකහ.
තිත්ත රසයෙන් යුක්ත මේ වදකහ ජලයේ ක්ෂුද්‍ර ජීවීන් සහ භූත දෝෂ නැති කරන ඖෂධයක් ලෙසටයි ජනතාව අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ. මේ නිසාමයි වදකහ කුඩා කැබැල්ලක් නූලක ගැට ගසා පොඩි දරුවන්ගේ අතේ හෝ ඉණේ හෝ ගැට ගසන පුරුද්දක් එදා ගැමියන් අතරේ තිබුණේ. ඒ වගේම දරුවන්ගේ නැණ නුවණ වර්ධනය කිරීම වගේම කුඩා දරුවන්ගේ පණු රෝග නැසීමේ අපූරු ගුණයක් ඇති මේ වදකහ කුඩා අවදියේදී මව්කිරෙන් ගලගා දීමත් සිරිතක් විදියටයි පැවතුණේ. මේ සිරිත් නිසාම එදා සෑම නිවසකම වගේ වදකහ ගලගා දියකර ගැනීම සඳහා වදකහ ගලක් ද නිවෙස්වල දකින්නට ලැබුණා.
මේ ශාකය නිතර ජලය සහිත පසේ වගේම වැලි මිශ්‍ර පසේ පඳුරු වශයෙන් හොඳින් වැඩෙනවා. මේ වදකහ ශාකයේ පත්‍ර, කඳ, මුල් ආදී සියල්ලම ආයුර්වේදයේ විවිධ ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා. ආයුර්වේද වෙදකමේදී මේ වදකහ වැඩි වශයෙන් භාවිතයට ගන්නේ වියළා ගෙන කුඩු චූර්ණ සහ ගුලි වර්ග සකස් කිරීම සඳහා. කොහොමනමුත් විෂබීජ නාශක ගුණයෙන් සමන්විත මේ වදකහ ශාකයේ පත්‍රවලින් හමන ඖෂධීය සුවඳ නිසා පැරැන්නන් තම නිවස ඉදිරිපස මේ වදකහ පඳුරු කිහිපයක වගා කර ගන්නට අමතක කළේ නැහැ.ඒ සුවඳ සුළඟ සමඟ මුසුවෙලා නිවස තුළට ඒමෙන් විෂබීජ නැතිවන බව ද ගැමියන් විශ්වාස කළා. කොහොමනමුත් මේ වදකහ කියන්නේ විෂබීජනාශනය කිරීමේ ගුණයක් සහිත ඔසුවක් වගේම රෝග බොහොමයක් සඳහා ගුණදායක ඖෂධයක්.
වදකහ සතු ඖෂධීය භාවිතයන්

- පණු රෝග සඳහා ඉතාම ගුණදායකයි.
- දරුවන්ගේ බුද්ධිය හා මතක ශක්තිය වර්ධනය කරයි. මේ සඳහා ඉහත සඳහන් කළ ආකාරයට වදකහ මව්කිරෙන් ගලගා දරුවන්ට ලබා දෙනවා. ඒ වගේම වියළි වදකහ කුඩුකර වරකට මදටිය ඇටයක ප්‍රමාණයක් දිනපතා උදයට එළකිරි සමඟ පානය කිරීමට ලබා දෙන්නටත් පුළුවන්. මෙය කුඩා දරුවන්ට 125 mg තරම් විය යුතුයි.
- කටහඩ මිහිරි කරයි. මේ සඳහා වදකහ මී පැණියෙන් ගලගා දිවේ ගා ගැනීම කළ යුතු බවයි සඳහන් වෙන්නේ.
- අජීර්ණ අවස්ථා සහ බඩ පිපුම සුව කරයි. මෙවැනි අවස්ථාවක වදකහ අලයක් දෙහි ඇඹුලෙන් ගලගා ස්වල්පයක් වශයෙන් පෙවීමෙන් ගුණ ලැබෙන බව සඳහන් වෙනවා.
- බඩේ වේදනාව පණු රෝග හේතුවෙන් ඇතිවන උදර කැක්කුම සඳහා වදකහ අලයක් දෙහි ඇඹුලෙන් පෙකණිය වටා ආලේප කරනු ලබනවා. ඒ වගේම අමු වදකහ අලයක් උණු අළු පල්ලේ තම්බා දෙහි ඇඹුල් හෝ මව්කිරෙන් ගලගා බින්දු කිහිපයක් පෙවීමත් සිදු කරනු ලබනවා.
- ළදරු අතීසාරය සුව කරයි. මේ සඳහා වියළි වදකහ, වෙනිවැල් ගැට, කටුවැල් කටු, කෙලිද හාල්, වැල් මී සමව ගෙන කෂාය ලෙස සකස් කර දෙනු ලබනවා.
- සෙම්ගෙඩි සුව කරයි. මේ සඳහා වදකහ අලයක් උණු වතුරෙන් ගලගා ඇඹුල් දොඩම් යුෂින් අනා උගුරේ ආලේප කළ යුතුයි.

අසාත්මිකතා හේතුවෙන් ඇතිවන වමනය, කැසීම, පලු නැගීම, ඇස් රතුවීම, උණ ගැනීම ආදී තත්ත්වයන් සමනය සඳහා ගුණදායකයි.මේ සඳහා වදකහ දෙහි ඇඹුලෙන් ගලගා බීමට දෙනු ලබනවා.
- අධික හිසරදය වදකහ අලයක ගෙන විනාකිරෙන් අඹරා නලලේ ආලේප කිරීමෙන් සුවයක් ලබා ගන්නට හැකියි.ඒ හැරුණාම වදකහ සුළු වශයෙන් ශරීරගත කිරීම මගින් පහත සඳහන් සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගන්නට අපට හැකියාව ලැබෙනවා.
- මානසික ශක්තිය වැඩි කරයි
- ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවයි .
- ශරීරයේ ඉදිමුම් සහ වේදනාවන් සමනය කරයි .
- ළදරුවන්ගේ ආහාර අරුචිය දුරු කරයි .
- අමිල පිත්ත රෝගය සඳහා සුවය සලසයි .
- ආමාශගත තුවාල සුව කරයි .
- ශරීරයේ තැන්පත් වී ඇති අමතර මේදය දහනය කරයි .
- මුත්‍රා ආසාදන දුරුකර මුත්‍රා පිරිසිදු කරයි .
- මලබද්ධය සුව කරයි .
- ගර්භනී මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසුව වදකහ පානයට ලබාදීමෙන් ගර්භාෂය සංකෝචනය සඳහා උපකාරී වෙනවා.
- කැස්ස, බ්‍රොන්කයිටීස් ආදී රෝග සඳහා භාවිතා වෙනවා.
- මනස නිරවුල් කරයි.
සැලකිලිමත් විය යුතුයි.වදකහ ශරීරගත කළ යුත්තේ ඉතාම අඩු මාත්‍රාවකින් වෛද්‍ය උපදෙස් මත පමණයි. එසේ නොමැතිව වදකහ අධික ලෙස ගැනීම අහිතකර තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙනවා. අධික මාත්‍රාවෙන් වදකහ ශරීරගත වූ විට අධික ඔක්කාරය වගේම වමනය සහ බඩයාම සිදුවෙනවා.
ඉතින් වදකහ එදා ගැමියන් භාවිතා කළා මෙන් අද අපි භාවිතා නොකළත් එය ඉතාම වටිනා ඖෂධයක් බව මතකයේ තබා ගන්නට ඕන. මේ වදකහ සමේ ගැටළු සඳහා ඉතා හොඳ ඔසුවක් නිසාම ජපන් වැසියන් ස්නානයේ දී පවා වදකහ තෙල් ආලේප කරන්නටත් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ වටිනා ඔසු පැල ආරක්ෂා කරගනිමින් ඒවා සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා වෛද්‍ය උපදෙස් ඇතිව භාවිතා කරන්නටත් අමතක කරන්නට එපා.