නොයෙකුත් ලෙඩ රෝග අපිට වැළදුණාම ඒවා හඳුනා ගන්නට අපිට උපකාරී වෙන්නේ විවිධ වූ රෝග ලක්ෂණ. එක් එක් රෝගවලට විශේෂ වූ රෝග ලක්ෂණ වගේම සෑම රෝගයකදීම දකින්නට ලැබෙන පොදු ලක්ෂණත් ඒවා අතර පවතිනවා. ඒ වගේම ඇතැම් රෝග ලක්ෂණ එක් අවයවයකට හෝ පද්ධතියකට පමණක් සීමා වී පවතින්නෙත් නැහැ. ඉතින් බොහෝ දෙනෙක් අතර සුලබව දකින්නට ලැබෙන රෝග ලක්ෂණයක් තමයි කකුල් ඉදිමීම කියන්නේ. මැදි වයසේ බොහෝදෙනෙක්ට මේ කකුල් ඉදිමීමේ තත්ත්වය බහුලවම ඇතිවෙනවා. නමුත් විවිධ දරුණු රෝගාබාධ හේතුවෙන් වුණත් එවැනි ලක්ෂණයක් ඇති වෙන්නට හැකියාව තියෙනවා. අපි බලමු මේ කකුල් ඉදිමීම අපේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියලා.

කකුල් ඉදීමීමේ තත්ත්වය එක් කකුලටම වගේම කකුල් දෙකටම බලපාන අවස්ථා ද පවතිනවා. එය බොහෝවිට ශරීර අභ්‍යන්තරයේ රෝග තත්ත්වයක් නිසාවෙන් ඇති වෙන්නට ඉඩකඩ පවතින නමුත් එක් කකුලක් පමණක් ඉදිමීම දකින්නට ලැබෙන්නේ ඒ පාදයේ යම් රෝග තත්ත්වයක් හේතු කරගෙනයි. කකුල් ඉදිමීම සඳහා හේතු කිහිපයක්ම බලපාන්නට පුළුවන්.
හෘදය ආශ්‍රිත රෝග හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා හාට් ෆේලියර් නම් රෝග තත්ත්වය නිසා කකුල් ඉදිමීමේ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී කකුල් ඉදිමීම හැරුණු විට හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇතිවෙනවා. මුල් කාලයේදී යම් ගමනක් එකදිගට යාමේදී හුස්ම ගැනීම අපහසු වුණත් පසුකාලීනව කිසිම කටයුත්තයක නොයෙදී සිටින විට පවා හුස්ම ගැනීම අපහසු වෙන්නට පුළුවන්. මේ තත්ත්වයෙන් පීඩා විදින බොහෝදෙනා දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී රෝගවලින් පෙළෙන අය වීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ හැරුණාම බොහෝ කාලයක් ඇදුම වගේ රෝගයකින් පෙළෙන අයට මේ වගේ හදවතේ ගැටළු නිසා කකුල් ඉදිමීමේ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්.
වකුගඩු අකර්මණ්‍ය වීම වකුගඩුවල යම් අකර්මණ්‍යතා ඇති අයෙකුගේ කකුල් වගේම මුහුණේ ඉදිමීම් තත්ත්වයක් පවා දකින්නට පුළුවන්. ඒ හැරුණාම දීර්ඝකාලීනව වකුගඩු අකර්මණ්‍ය නොවී වකුගඩුවලින් අධික ලෙස ඇල්බියුමින් පිටවන නෙප්‍රොටික් සින්ඩ්රෝම් ආදී රෝග තත්ත්වයන් පවා කකුල් ඉදිමීමට හේතුවක් වන්නට පුළුවන්.
සිරෝසීස් ආදී අක්මා රෝග අක්මාව ආශ්‍රිත බරපතල රෝගයක් වන සිරෝසීස් තත්ත්වයකදී පවා කකුල් ඉදිමීමක් වන්නට පුළුවන්.මත්පැන් භාවිතා නොකරන අයට දියවැඩියාව ඇතුළු වෙනත් රෝග සඳහා ඖෂධ නිසාවෙන් වුණත් සිරෝසිස් වැළදෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී පවා කකුල් ඉදිමීමක් දකින්නට පුළුවන්.
තයිරොක්සීන් හෝර්මෝනයේ ගැටළු තයිරෝක්සීන් හෝර්මෝනය අඩුවීම නිසා පාද ඇතුළු මුළු ශරීරයේම ඉදිමිමේ තත්ත්වයන් ද ඇති වෙන්නට පුළුවන්.

ඇතැම් ඖෂධ වර්ග විශේෂයෙන්ම අධි රුධිර පීඩනය සඳහා භාවිතා කරන නිෆෙඩිපින් සහ ඇම්ලෝඩිපින් ආදී ඖෂධ භාවිතය නිසාත් කකුල් ඉදිමීමක් ඇති වෙන්නට පුළුවන්.
ගර්භනී බව ගර්භනී කාලය තුළ දී බොහෝ අයගේ කකුල් ඉදිමීම් තත්ත්වයන් දැක ගන්නට පුළුවන්. එහිදී සිදු වෙන්නේ ගර්භාෂය මහා ශිරාවලට තෙරපීමක් ඇති කිරීමයි. ශරීර අභ්‍යන්තරයේ ගර්භාෂය සහ ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන යම් වර්ධන තත්ත්ව කකුල්වලින් රුධිරය රැගෙන එන මහ ශිරාවලට තෙරපීම් ඇති කිරීම නිසා මෙසේ කකුල් ඉදිමීමක් සිදු වෙනවා.
කකුල්වල වසා නාළවල රෝග තත්ත්වයන් මෙය බහුලවම එක් පාදයක ඉදිමීමක් ලෙස දකින්නට ලැබුණත් කලාතුරකින් කකුල් දෙකේම ඉදිමීමක් ද දකින්නට පුළුවන්. සෙලියුලටිස් නම් බැක්ටීරියා ආසාදන ආදියත් කකුල් ඉදිමීමට හේතුවක් වෙනවා.
Deep Vein Thrombosis ටික දුරක් පයින් ඇවිද ගෙන ගියාම එහෙමත් නැත්නම් පැය 6 ක් 7 ක් ඉදගෙන ගියාම මැදි වයසේ බහුතරයකට ඇතිවන පාද ඉදිමීම මේ DVT තත්ත්වය මූලික වීමකින් තමයි සිදු වෙන්නේ. එකදිගට ඉදගෙන ගමනක් යද්දි පාදවල ශිරාවල රුධිර ගමනය අවහිරවීමක් රුධිරය එක තැන රැඳීමක් සිදු වෙනවා .ඒ නිසාවෙන් බත් කෙණ්ඩ ප්‍රදේශයේ ගැඹුරින් ඇති ශිරාවල මෙසේ ගමනාගමනයට බාධා වෙන ආකාරයෙන් ශිරාවක් තුළ රුධිරය කැටි ගැසීමක් සිදු වෙනවා.එහි ප්‍රතිඵලයක් විදියට පාදය ඉදිමීමට ලක් වෙනවා. පාදය ඉදිමීම හැරුණාම ,
- ඉදිමුණු ප්‍රදේශයේ වේදනාව
- රස්නය
- තරමක් රතු පැහැයක් ගැනීම
- නහර ගැට ගැසීම ආදී ලක්ෂණත් ඇති වෙනවා.
මෙසේ ඇතිවන ලේ කැටිය හෘදය වෙත ගමන් කිරීමකදී මාරාන්තික තත්ත්වයක් පවා ඇති වෙන්නට ඉඩකඩ පවතිනවා. ඒ නිසා මේ පාදයේ ඉදීමීම සුළුකොට නොගත යුතුයි .ඒ වගේම ඒ ලක්ෂණ පමණක් මේ තත්ත්වය හඳුනා ගන්නට ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනිවාර්ය වෙනවා.
මේ තත්ත්වය එකදිගට ඉදගෙන ගමන් කිරීම හැරුණාම ස්තුලතාවය, ශල්‍ය කර්ම,හොර්මෝන පෙති භාවිතය, උපත් පාලන පෙති භාවිතය,පිළිකා,නිදන්ගත රෝග ආදිය හේතුවෙන් වුණත් ඇති වෙන්නට පුළුවන්.
ඒ නිසා දිගටම සිටගෙන සිටීම වගේම බොහෝවෙලාවක් වාඩි වී සිටීමත් හානිකර වෙන්නට පුළුවන්. ඒ නිසා පැය 2 ට වරක් හෝ නැගිට ඇවිදීම වගේ ඉරියව් මාරු කිරීමත් බැන්ඩේජ් ආදිය පැළදීමත් සුදුසු වෙනවා.
ඉතින් කකුල් ඉදිමීමක් සාමාන්‍ය හේතු මත පමණක් නෙවෙයි විවිධ බරපතල සෞඛ්‍ය ගැටළු නිසාවෙන් වුණත් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා එවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතු බව මතක තබා ගන්න.