තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා හඳුනා ගත හැකි ලක්ෂණ 9 ක්

health tips

අපි හැමදෙනාම නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ ලෙඩ රෝගවලින් තොර නීරෝගී ජීවිතයක්. ඒ නිසාම නීරෝගී ජීවිතයකට අවශ්‍ය නිවැරදි සෞඛ්‍ය දැනුම අපි සතුවිය යුතුයි. ඉතින් අදත් අපි ඔබට ඔබේ නීරෝගී දිවි පැවැත්මට අත්‍යවශ්‍ය කාරණයක් පිළිබඳවයි කතා කරන්නට සූදානම් වන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව ඔබත් නිරන්තරයෙන් අසා ඇති. ඇතැම්විට ඔබත් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගයකින් පෙළෙනවා වන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ බහුලව අසන්නට දකින්නට ලැබෙන මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු අතර වඩාත් භයානක තත්ත්වයක් වන තයිරොයිඩ් පිළිකා සම්බන්ධවයි.

තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා තියෙන්නේ බෙල්ලේ ඉදිරිපස කොටසේ. මේ ග්‍රන්ථිය කුඩා ග්‍රන්ථියක්.අන්තරාසර්ග පද්ධතියට (නාල රහිත )අයත් මේ ග්‍රන්ථිය මොළයේ ඇති හයිපොතැලමස සහ පිටියුටරිය කියන ග්‍රන්ථියේ පාලනය යටතේ තමයි පවතින්නේ.මේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තයිරොක්සීන් කියන හෝර්මෝනය ශ්‍රාවය කරනු ලබනවා. මේ තයිරොක්සීන් හෝර්මෝනය අපේ ශරීරයේ ලොකු කුඩා සෑම අවයවයකම නිසියාකාර පැවැත්මට සහ ක්‍රියාකාරිත්වයට බෙහෙවින් වැදගත් වෙනවා. තයිරොක්සීන් හෝර්මෝනය අඩුවෙන් ශ්‍රාවය හෝ වැඩිපුර ශ්‍රාවය කියන තත්ත්වයන් දෙකම අපේ ශරීරයේ පැවැත්මට අහිතකර ලෙස බලපාන්නට පුළුවන්. ඒ හැරුණාම ග්‍රන්ථියේ ඉදිමීම් තත්ත්වයන් ඇතිවීමත් සැලකිලිමත් විය යුතු තත්ත්වයක්.

තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමට ලක්වීම හේතු කිහිපයක් නිසාම සිදු වෙන්නට පුළුවන්.

  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ගෙඩි හෝ පිළිකා 
  • තයිරොක්සීන් හෝර්මෝනය ශ්‍රාවය වීම අධික වීම 
  • තයිරොක්සීන් හෝර්මෝනය ශ්‍රාවය වීම අඩුවීම
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා 

අද බහුලව බොහෝදෙනා අතර දැක ගන්නට ලැබෙන මේ පිළිකාව තයිරොයිඩ් ග්‍රන්ථියට බලපාන පිළිකා විශේෂයක්.විශේෂයෙන්ම වයස අවුරුදු 30  ඉක්මවූ අය සහ වයස්ගත වූ පුද්ගලයන් අතර මේ පිළිකා බහුලව දකින්නට පුළුවන්. ඒ හැරුණාම ඕනෑම වයසක පසුවන අයෙකුට වගේම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමදෙනෙක්ටම ඇති වෙන්නට පුළුවන්. නමුත් පිරිමින්ට වඩා මේ පිළිකා කාන්තාවන් අතර ඇතිවීමේ  බහුල බවක් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම වසරකට මුළු ලෝකයේම ජනගහණයෙන් ලක්ෂ 3 ක් පමණ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා හඳුනාගන්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ වසරකට මෙවැනි පිළිකා රෝගීන් 1000 ඉක්මවා හඳුනාගනු ලබනවා.එය නිවැරදිව හඳුනා ගන්නට වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා.

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඇති වෙන්නට බලපාන හේතු 

  • ජානමය සාධක 
  • විකිරණවලට ඍජුවම නිරාවරණය වීම 
  • ලුණු (අයඩීන් ) ප්‍රමාණයට වඩා හෝ අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම 
  • සීනි සහ පිෂ්ඨය අධික ලෙස ලබා ගැනීම 

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක රෝග ලක්ෂණ 

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකාවක් වර්ධනය වීමේදී මුල් අවධියේදී රෝග ලක්ෂණ කිසිවක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ පිළිකාව වර්ධනය වන විට යම් යම් රෝග ලක්ෂණ හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම වේදනාවක් ද ඇතිවෙන්නට පුළුවන්.

  • බෙල්ලේ ගැටිත්තක් ඇතිවීම මෙය බොහෝවිට වේදනාවෙන් තොර ගැටිත්තක් හෝ ගෙඩියක් වීම විශේෂයි.
  • බෙල්ල දෙපස ඇති කුද්දැටි විශාල වීම
  • බෙල්ලේ කටු අනිනවා සේ දැනෙන වේදනාව 
  • තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම නිසා බෙල්ල ඉදිමුණු ස්වභාවයක් දැක ගන්නට ලැබීම.මේ ඉදිමීම වේදනාවකින් තොරයි. 
  • නිතර ඇතිවන කැස්ස 
  • පිළිකාව අභ්‍යන්තරයට වර්ධනය වීමකදී ක්ෂණිකව කටහඩ වෙනස්වීමක් ඇතිවීම
  • ගිලීමේ අපහසුතාවය බෙල්ලේ තද ගතිය 
  • හුස්ම ගැනීමේ අපහසුතාවය  
  • උදෑසන උගුර පාදන විට රුධිරය ස්වල්පයක් පැමිණීම  

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා වර්ග 

  • පැපිලරි තයිරොඩ් පිළිකා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව බහුලව දකින්නට ලැබෙන මේ පිළික විශේෂය බහුලවම වයස අවුරුදු 30-50 අතර පුද්ගලයන් අතර බහුලයි. මෙය ඇතිවන්නේ තයිරොයිඩ් හෝර්මෝන් නිෂ්පාදනය කර ගබඩා කරන ෆොලිකුලර් කියන සෛල මගින්.මෙය සෙමෙන් වර්ධනය වී වසා ගැටිති දක්වාම ගමන් කළ හැකි පිළිකා විශේෂයක්.
  • ඇන ප්ලාස්ටික් තයිරොයිඩ් පිළිකා ප්‍රතිකාර කිරීමට බොහෝ අපහසු ඉතාමත් වේගයෙන් පැතිරෙන පිළිකා විශේෂයෙක්. ඒ නිසාවෙන් ශරීරයේ අනෙක් කොටස්වලටත් ඉතාමත් වේගයෙන් පැතිරීමේ හැකියාව පවතිනවා.
  • මෙඩුලරි පිළිකා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත දුර්ලභ පිළිකා විශේෂයක් වන මෙය වසා ගැටිති දක්වා පැතිර යන්නට පුළුවන්.

අනෙක් පිළිකා වගේම මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවත් මුල් අවධියේදී හඳුනා ගන්නට ලැබෙන්නේ නම් එය අපේ ජීවිතය රැක ගන්නට බෙහෙවින් උපකාරී වෙනවා. පිළිකාවක් ශරීරය තුළ බොහෝ කාලයක් වර්ධනය වූ විට එය ඉවත් කිරීම හෝ සුව කිරීම ඉතාම අපහසුයි. තයිරොයිඩ් පිළිකාවක් මුල් අවස්ථාවේදී හඳුනා ගතහොත් ඒ ග්‍රන්ථිය ශල්‍ය කර්මයකින් ඉවත් කර නිසි ප්‍රතිකාර ලබා දීමෙන් තයිරොයිඩ් පිළිකාව සුව කරගන්නට පුළුවන්.ඒ නිසා වඩා වැදගත් වන්නේ මුල් අවධියේදීම මේ පිළිකාවන් හඳුනා ගැනීමයි.

පරීක්ශාවන්  මෙය නිශ්චිතව දැන ගන්නට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මගින් හැකියාව ලැබෙනවා. එමගින් ග්‍රන්ථිය ප්‍රමාණාත්මකව විශාලවීමක් ඇත්ද යන්න වගේම යම් ගැටිත්තක් දැක ගත හැකිද එය පිළිකාවක් ද යන්න පරීක්ෂා කර ගන්නට පුළුවන්. ඒ හැරුණාම මස් FNAC පරීක්ෂාව මගින් ග්‍රන්ථියේ සෛල කිහිපයක් ස්රින්ජරයක් ආධාරයෙන් ගෙන පිළිකා තත්ත්වයක් ද යන්න පරීක්ෂා කරනු ලබනවා. ඒ අනුව බොහෝවිට මෙවැනි තත්ත්වයදී තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්නට සිදු වෙනවා.

ඉතින් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව මෙවැනි ලක්ශණ එකක්  හෝ කිහිපයක් ඔබට ඇත්නම් ඒ රෝගය තනිව නීර්ණය කර නොගෙන නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. යම්විටෙක මුල් අවධියක මේ පිළිකාව පවතී නම් එය ඉතා ඉක්මනින් සුව කරගන්නට ඔබට හැකියාව ලැබෙන නිසා මේ ලක්ෂණ සුළුවට ගෙන සිටීම නුවණට හුරු නැති බව මතකයේ තබා ගන්න.