ඔයාගේ කකුල ඉදිමී ගෙන එන විට නොවරදවාම කර යුතු පිළියම් 13 ක්

health tips

දවස පුරාම කාර්යබහුලව වැඩකටයුතුවල නිරත වෙන ඔබට දවස අවසානයේදී පාදවල වේදනාවක් පාදවල ඉදිමුම් තත්ත්වයක් දකින්නට ලැබෙන්න පුළුවන්. එකම ඉරියව්වක බොහෝ වේලාවක් වැඩ කටයුතු කිරීම අධිකව ඇවිදීම ආදී මෙකී නොකී විවිධ හේතු නිසා දවස අවසානයේදී මේ අපහසුතා ඔබට අත්විඳින්නට සිදු වෙනවා. නමුත් පාදවල ඉදිමීම බරපතළ ගැටලු හේතු කරගෙනත් ඇති වෙන්නට පුළුවන්. නමුත් අපි අද කතා කරන්නේ එක දිගට එකම ඉරියව්වකින් සිටීම ආදීය හේතු කරගෙන තාවකාලිකව ඇතිවන පාදවල ඉදිමුම සහ වේදනාවන්වලින් සහනය ලබා ගන්නට හැකි පිළියම් පිළිබඳව.

පාද ඉදිමීමට හේතු වෙන්නේ ඒ ආශ්‍රිත පටකවල වැඩි වශයෙන් තරල එක් රැස්වීම නිසා. අපේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මේ තරල පාලනය කරන ස්වභාවික ක්‍රමවේදයන් සමග. ඉතින් මේ වගේ පාදවල ඉදිමීමක් ඇති වෙන්නේ මේ ස්වභාවික ක්‍රියාවලියට යම් බාධාවක් ඇති වීම මත. ඒ සඳහා හේතු කිහිපයක්ම බලපානවා. 

අධික වශයෙන් ලුණු භාවිතයට ගැනීම සහ අඩුවෙන් ජලය පානය කිරීම මේ සඳහා මූලික හේතුවක්.මොකද අධික ලවණ සහිත ආහාරයක් ගන්නවා නම් වැඩිපුර ජලය පානය කිරීම අනිවාර්ය කාරණයක් . ඔබ ලබාගන්නා සැකසූ ආහාර ක්ෂණික ආහාර ආදිය මගින් ඔබේ ශරීරයට අධිකව ලුණු එකතු වෙනවා. ඒ නිසා වැඩිපුර ජලය ලබා ගැනීම. කළ යුතුයි. නමුත් ප්‍රමාණවත් තරම් ජලය ලබා නොගැනීම නිසා ශරීරය විජලනයට පත් වෙනවා.  ඒ නිසා අපේ ශරීරය විසින් ශරීරයේ එක් එක් ස්ථානවල තරල එකතු කිරීමක් සිදු කරන්නේ ශරීරයේ පැවැත්ම සඳහා.

 විටමින් B6 ඌණතාවය මේ විටමින් බී 6 ඌනතාවය නිසා පාදවල ඉදිමීම් ඇති වෙනවා. ඒ නිසා බල මාලු, සූර්යකාන්ත ඇට, අර්තාපල්, කෙසෙල් සහ කුකුල් මස් ආදී ආහාර විටමින් b6 බහුල ආහාර විදිහට සඳහන් කරන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී මේ ආහාර ගැනීම එයින් මිදෙන්නට උදව් වෙනවා.

මැග්නීසියම් ඌණතාවය ශරීරයේ ප්‍රමාණවත් තරම් මැග්නීසියම් නැත්නම් එවැනි අවස්ථාවක පාදවල ඉදිමීමක් ඇති වෙන්නට පුළුවන්. ශරීරයට දෛනිකව මැග්නීසියම් මිලිග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. කජු, රට කජු, වියළි මිදි, පීනට් සහ  අලිගැට පේර ආදී ආහාරවල මැග්නීසියම් අඩංගු වෙනවා. 

පාද ඉදිමීමේ තත්ත්වයකට නිවසේ දී කළ හැකි පිළියම් 

පාද ඔසවා තබා ගැනීම පාද ඉදිමීම අවම කරගන්නට සහ වේදනාවෙන් මිදෙන්නට ඉතාම පහසු ක්‍රමයක් තමයි පාද ඔසවා තබා ගන්නා එක. සාමාන්‍යයෙන් ඇඳේ සැතපී සිටින විට හදවත මට්ටමට වඩා උසින් පාද  තබා ගැනීම වඩාත් සුදුසුයි . ඒ වගේම හිඳගෙන සිටින විට පාද බංකුවක් වැනි පොළොව මට්ටමට උසින් තබා සිටීමත්   නින්දට යද්දී පවා  කොට්ටයක් වැනි යමක් මත පාද  ඔසවා තැබීමත්  මගින් මේ පාදවල ඉදිමීම නැති කරගන්න පුළුවන්.

ඇවිදින්න.බොහෝ වේලාවක් එකම ස්ථානයේ එකම ඉරියව්වකින් ඔබ සිටිනවා නම් එවිට පාදවල රුධිරය එක් රැස්වීම සිදු වෙනවා. සාන්‍යයෙන් දිගු කාලයක් හිඳගෙන සිටින විට පාදවල සාමාන්‍ය රුධිර සංසරණයට බාධා ඇති වෙමින් ඊට රුධිරය සපයන ප්‍රධාන ධමනි වගේම රුධිරය ගෙන යන ශිරා තද වීමකට ලක් වෙනවා. මෙයින් වැළකිලා පාදවලට හොඳ රුධිර සැපයුමක් සිදු කරන්නට නම් අපි නිතර ඉරියව් මාරු කිරීම කළ යුතුයි.  ඉතින් ඒ සඳහා යම් කාලයකට පසු ඉරියව්ව වෙනස් කරලා කුඩා දුරක් ඇවිදින්නට පුළුවන්. එය පාදවල ඉදිමීම් සහ වේදනාවන්  වගේ තත්ත්වයන් පාලනයටත් එය ඉතා වැදගත්.

හිර  ඇඳුම් ඇඳීමෙන් වළකින්න.නිතරම ඔබ ශරීරයට ඇලුණු හිරවුණු ඇඳුම් භාවිතා කරනවා නම් ඒක සාමාන්‍ය රුධිර සංසරණයට බාධා ඇති කරනවා. ඒ නිසා එයින් වැළකිලා ශරීරයට පීඩාවක් ගෙන නොදෙන ආකාරයේ ඇඳුම් අඳින එකත් මේ පාද ඉදිමීම් අඩු කරගන්නට උදව් වෙනවා. 

පැත්තකට හැරී නිදා ගන්න .පාදවල ඉදිමුම අඩු කර ගන්නට ඔබ නිදා ගන්නා ඉරියව්ව වෙනස් කරන එකත් හරිම වැදගත්.ඔබ  වම් පැත්තට  හැරී නිදා ගන්නට පුරුදු වුණොත් නහරවල පීඩනය අඩු වෙලා පාදවලින් ඔබේ හදවතට රුධිර සංසරණය වීම හොඳින් සිද්ධවෙනවා. ඉතින් මේ ආකාරයට රුධිර සංසරණය වැඩි දියුණු වෙද්දි පාදවල  ඉදිමුමත් ක්‍රමයෙන් අඩුවෙලා යනවා. 

  • මැග්නීසියම් සහ විටමින් b6 ආදිය අඩංගු වන සමබර ආහාර වේලක් ලබා ගන්න.
  • පාද වලට ව්‍යායාම් ලබාදෙන්න.

 මෙහිදී පාද දිගහැර විලුඹ ඉහළට සහ පහළට චලනය කිරීම, විලුඹ රවුමට කරකැවීම, කුඩා රබර් බෝලයක් කකුල් යටින් තබා විවිධ දිශාවන් ඔස්සේ රෝල් කිරීම, ඇඟිලි අතර පුළුන් කැබලි රඳවා ඒවා ඇඟිලිවලින් හොදින් තද කිරීම  ආදී වූ ව්‍යායාම් සිදු කිරීම මඟිනුත් මේ පාදවල ඇතිවන වේදනාවන් සහ ඉදිමුම් සමනය කරගන්නට පුළුවන්. 

ආධාරක විශේෂ මේස් භාවිතා කරන්න විශාල ලෙස පාද ඉදිමෙන්නේ නම් හෝ නහර ගැටගැසීම් වගේ තත්ත්වයන් තියෙනවා නම් වෛද්‍යවරුන් විසින් මේ විශේෂ මේස් නිර්දේශ කරනවා. මෙය  පාදයේ  රුධිරය එකතු වීම වළක්වනවා. ඒවා  නැවත හදවත දෙසට යැවීම කාර්යක්ශම කරනවා. නමුත් දියවැඩියාව, රුධිරයේ කොලෙස්ට්‍රෝල් පවතින රෝගීන් පාදවල ගැඹුරු තුවාල ඇති පුද්ගලයන් මේවා භාවිතයට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍ය. උපදෙස් ලබා ගත යුතුයි. මේ ආධාරක විශේෂ මේස්  සුපිරි සාප්පු සංකීර්ණවලින් වගේම ඕනෑම බෙහෙත් ශාලාවකින් ලබා ගන්නටත් හැකියාව තියෙනවා.

ලූණු සහ ලවණ භාවිතය අඩු කරන්න.ශරීරයේ සෝඩියම් වැඩිවීම වකුගඩු මඟින් ජලය නැවත ශරීරයට උරා ගැනීම වැඩිකරනවා. ඒ නිසා ආහාර සඳහා ලුණු අඩුවෙන් භාවිතා කිරීම සහ ශරීරයේ ජල ප්‍රමාණය අඩු කිරීම තුළින් මේ පාදවල ඉදිමීම් අඩුකරගන්නට පුළුවන්.

ශරීරයේ බර නිසි මට්ටමේ පවත්වා ගන්න.ශරීරයේ අධික බර දෙපා වලට දරා ගන්නට අපහසු වීම නිසා බොහෝ වෙලාවට තුළ කාන්තාවන් සහ පුරුෂයන් අතරත්  මේ පාද ඉදිමීමේ තත්ත්වයක් දකින්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපේ ශරීරයේ බර නිසි පරිදි පාලනය කරගන්නා එක හරිම වැදගත්.

මින්ට්  ජලයේ පාද ගිල්වා තබා ගන්න.මින්ට් කියලා කියන්නේ ශරීරයේ ඇති විෂහරණයට ඉතාම දායකත්වයක් ලබාදෙන පාදවල ඉදිමීම අඩු කරගන්නට උදව්වෙන අපූරු ඔසුවක්. 

නැවුම් මින්ට් කොළ කෝප්ප භාගයක් වතුර කෝප්ප හතරක් සමඟ මිශ්‍රකර විනාඩි 10ක් පමණ හොඳින් උණු කර ගන්න. මිනිත්තු 10 ක පමණ කාලයක් එය සිසිල් වෙන්නට ඉඩ හරින්න. ඉන්පසුව මේ ජලය ඔබේ පාද දැමිය හැකි භාජනයකට දමා විනාඩි තිහක් පමණ වතුරේ සම්පූර්ණයෙන්ම සිසිල් වනතුරු පොඟවා ගන්න.

එප්සම් ලුණු ශරීරයේ විෂ ඉවත් කරගන්න, මාංශ පේෂිවල වේදනාව දැවිල්ල ඉදිමුම් ආදී තත්ත්ව නැති කරන්නත් මේ එප්සම් ලුණු  (මැග්නීසියම් සල්ෆේට්)අපට භාවිතා කරන්නට පුළුවන්.විශාල භාජනයක් අරගෙන එයට පාද සම්පූර්ණයෙන් ගිල්විය හැකි ප්‍රමාණයට උණුසුම් ජලය පුරවා ගන්න. එයට ලුණු කෝප්ප බාගයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසුව පාද දැමිය හැකි රස්නය තිබියදී එප්සම් ඡලයේ ඔබේ පාද විනාඩි පහළොවක්  පමණ කාලයක් පොඟවා ගන්න.

ටොනික් ජලය භාවිතා කරන්න.පාදවල ඉදිමීම නැති කරන්නට වේදනාව, දැවිල්ල අඩු කරන්නටත් මේ ටොනික්  ජලයේ ඇති සංයෝග උදව් වෙනවා.භාජනයකට සීතල හෝ කාමර උෂ්ණත්වයේ පවතින ටොනික්  වතුර පුරවා ගන්න. මෙහි අවම වශයෙන් විනාඩි 30 ක් වත් ඔබේ පාද ගිල්වා තබා ගන්න. පාදවල ඉදිමීම් සුව අතට පත්වන තුරු දිනකට වරක් දෙවරක් මේ පිළියම සිදු කරන්න.

මුත්‍රා ජනක ඖෂධ පාද ඉදිමීම් ඇති අවස්ථාවකදී ඇතැම් විට වෛද්‍යවරයා විසින් ශරීරයේ ඇති වැඩිපුර ජලය පිට කරන්නට මේ මුත්‍රා ජනක ඖෂධ නිර්දේශ කරනවා. බොහෝ වෙලාවට මේ වගේ ඖෂධ නිකුත් කරන්නේ හෘත් රෝග වගේම වකුගඩු රෝග තියෙන පුද්ගලයන්ට. ඒ අනුව වෛද්‍ය උපදෙස්වලට අනුව මේ ඖෂධ ලබා ගැනීමෙන් පාදවල ඉදිමීම අඩු කරගන්න පුලුවන්.

මේ පිළියම සාමාන්‍ය පාදවල ඇතිවන ගැටලු සඳහා සුදුසු වුණොත් එක් පාදයකට වඩා අනෙක් පාදයේ ඉදිමුම වැඩිනම් හෝ ඒ සමඟම වෙනත් හුස්ම ගැනීමේ අපහසුතා, කෙටි හුස්ම පපුවේ වේදනාව වගේ රෝග ලක්ෂණ මතු වෙනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මතක තබා ගන්න.