අංශභාගය පවා ඇති කරන සිරුරේ රුධිර කැටියක් ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 9 ක්

health tips

සමාන්‍යයෙන්  බාහිරින් ඇතිවන කැපීමක් සීරීමකදී රුධිරය වහනය වීම නතර වෙන්නේ ලේ කැටි ඇතිවීම මගින්. මේ ස්වභාවික ක්‍රියාවලිය අපේ ශරීරයට වඩාත්ම හිතකර දෙයක්. නමුත් අපේ ශරීර අභ්‍යන්තරයේ ශිරාවල රුධිර කැටි ඇති වෙන එක නම් අතිශයින්ම භයානක කාරණාවක්.

රුධිර කැටියක් මොළයට ගමන් කිරීමෙන් මොළයේ සිරවුණොත් අංශභාගය ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඇතැම්විට මරණය පවා ඇති වෙන්නට ඇති ඉඩකඩ වැඩියි. හෘදයට රුධිරය සපයන වාහිනීයක් තුළ මෙවැනි රුධිර කැටියක් සිරවුණොත් එතැනින් ඉදිරියට රුධිර ගමන් නොකිරීම නිසා  හෘදයාබාධයක් ඇති වෙන්නට පුළුවන්. රුධිර කැටියක් පෙනහළු දක්වා ගමන් කිරීමේදී අනිත් අවයව සඳහා ඔක්සිජන් රැගෙන යන රතු රුධිරාණුවලට රුධිරය සැපයුම අඩාල කරනවා. එය පෙනහළුවලට මෙන්ම අනෙක් අවයව සඳහා ද ඉතාම අහිතකර තත්ත්වයන් ඇති කරනවා. 

ඒ නිසා රුධිර කැටියක් හඳුනාගත් විගසම ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ රුධිර කැටියක් ඇති බව කල්තියා හඳුනා ගන්නට උදවු වන ලක්ෂණ කීපයක් ගැන.

 රුධිර කැටියක් ඇතිවෙන්නේ යම් දීර්ඝ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන්. බාහිරින් රුධිර නාලයකට හානි වුණොත් මෙසේ රුධිරය කැටි ගැසීම ඉක්මනින් සිදු වෙන්නට පුළුවන්. ඒ හැරුණාම මේ ක්‍රියාවලිය ශරීරය අභ්‍යන්තරයේ ආරම්භ වෙන්නටත් පුළුවන්. නමුත් අභ්‍යන්තරයේ රුධිර නාලයකට හානියක් වුණොත් එක්වරම මෙසේ රුධිර කැටි ගැසීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ  සඳහා විවිධ  හේතු බලපානවා . 

  • අධික ස්ථුලතාවය 
  • උපත් පාලනය සඳහා ලබා ගන්නා ඇතැම් ඖෂධ  
  • ඇතැම් ශල්‍ය කර්මවලින් පසුව 
  • වැඩි වේලාවක් එක ස්ථානයක වාඩි වී සිටීම
  • දුම්පානය 

රුධිර කැටි ඇතිවීම සඳහා බලපාන වෙනත් සාධක

  • ගර්භණීභාවය 
  • හදවත් සහ පෙන පෙනහලු රෝග
  • මොළය, අස්ථි, අග්නාශය සහ  ඩිම්බ කෝෂවල ඇතිවන   පිළිකා
  • රුමටොයිඩ් ආතරයිටීස් ආදී ප්‍රදාහක තත්ත්වයන්
  • දියවැඩියාව සහ වෙනත්  නිදන්ගත රෝග
  • අධි රුධිර පීඩනය
  • අධික කොලෙස්ටරෝල් 
  • වයස අවුරුදු 60 ඉක්මවීම
  • අස්ථියක් බිඳී යාමක් හෝ මාංශ පේශීන් අහිතකර ලෙස ඇදීයාම
  • රුධිර කැටියක් ඇති බව කල්තියා හඳුනා ගන්නට උදවු වන ලක්ෂණ 

රුධිර කැටියක් කල්තියා හඳුනා ගන්නට උපකාරී වෙන ලක්ෂණ 

අසාමාන්‍ය උණුසුම-රුධිර කැටියක් ඇති අයෙකුට ඒ  ප්‍රදේශයේ  අසාමාන්‍ය උණුසුමක් දකින්නට පුළුවන්. මෙය ඉදිමීම වේදනාව වගේ රෝග ලක්ෂණ සහිතව වගේම ඒ රෝග ලක්ෂණවලින් තොරවත්  ඇති වෙන්නට පුළුවන්. ස්පර්ශයේදී උණුසුම් සහ මොළොක් බවක් දැනීමත්  මෙහිදී දැක ගන්න පුළුවන්.

සමේ පැහැය වෙනස් වීම-හේතුවක් නැතිව සම මතුපිට රතු පැහැයක් හෝ නිල් පැහැයක් ගන්නවා නම් එය රුධිර කැටියක් ඇති බවට පෙන්නුම් කරන ලක්ෂණයක් වෙන්න  පුළුවන්. මෙය අත්වල වගේම පාදවලත්  දකින්නට පුළුවන්. මෙහිදී  සමේ  පැහැය වෙනස් වෙච්ච ප්‍රදේශයේ මොළොක් බවක් සහ උණුසුම් බවක් දකින්නටත් පුළුවන්. පාදයේ ඇඟිලි උඩු අතට විහිදී වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. 

ඇති වුණු හානිය නිසා පසුකාලීනවත් සමේ දුර්වර්ණ බවක් ඒ විදිහටම පවතින්නටත් හැකියාව තියෙනවා. කොහොහොම වුණත් මේ කොටසේ කැසීමක්  අධික ලෙස වියළි යාමක් වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ අවස්ථාවකදී ඒ ප්‍රදේශය කැසීමෙන් වැළකී සිටීම වැදගත්. එහිදී සමට වගේම යටින් පවතින රුධිර කැටිය තවදුරටත් උත්සන්න වෙන්න පුළුවන්.

වේදනාව සහ ඉදිමීම-සෑම අවස්ථාවකම පාදවල ඇතිවන වේදනාව සහ ඉදිමීම රුධිර කැටියක් නිසා ඇති නොවෙන්න පුළුවන්. නමුත් රුධිර කැටියක් ඇති අවස්ථාවකදී ඉදිමීම වගේම මෘදු මොළොක් බවත් වේදනාව සහ ඉදිමීමක් දකින්නට පුළුවන්. 

රුධිරය කැටි ගැසීමකදී  වේදනාව සහ මුදු මොළොක් බව පාදයේ කෙණ්ඩා ප්‍රදේශයට වගේම මැද කලවා ප්‍රදේශයට සීමා වෙන්නට බොහෝදුරට ඉඩකඩ පවතිනවා. ඒ වගේම පුද්ගලයා විවේකයක් ගනිද්දී ඒ වේදනාව අඩු වෙලා ගිහින් නැවත ඇවිදීම ආරම්භ කළ පසුව තියුණු වේදනාවක් ඇතිවෙන්නත් ඉඩකඩ තියෙනවා. .ඇවිදීමේදී දැඩි වේදනාවක් වගේම විවේක ගැනීමේදී යම් කිසි අඩුවක් සහ නැවත වේදනාව මතුවීමක් ඔබ අත්විඳින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි. 

අප්‍රාණික බව-මේ අවස්ථාවේදී පාදවලට ශරීරයේ බර උසුලන්නට නොහැකි බවක් දැනෙන්න පුළුවන්. මොකද ලේ කැටි ගැසීම ඇති රෝගියෙකුට ඔවුන්ගේ කලවා මැද පිහිටා ඇති පේෂීවල විශේෂ දුර්වලතා ඇති වෙන්නට ඉඩකඩ තියෙනවා. මේ අප්‍රාණික හැඟීම ක්ලාන්තය වගේම මානසික දුර්වලතා සමගත්  ඇති වෙන්න පුළුවන් .නමුත් රුධිරය කැටි ගැසීමේ ප්‍රාථමික අවධියේ දී මේ ලක්ෂණය  එතරම් සුලබ නැතත් බොහෝ රෝගීන් අතුරින් මේ ලක්ෂණය දැකගන්නට ලැබෙනවා. ඒ නිසා මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

මේ රුධිර කැටි වැඩි වශයෙන් පුද්ගලයාගේ පාදයේ අභ්‍යන්තරයේ ඇති ශිරා රුධිර වාහිනී තුළ ඇතිවන බව සොයාගෙන තියෙනවා. ඒවායේ රුධිරය වේගයෙන් ගමන් නොකරන නිසා රුධිර කැටි ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා.  ඒ නිසා ඉහත සඳහන් කළ ලක්ෂණ පෙන්නුම් කරන්නේ පාදයේ රුධිර කැටිය තවමත් වෙන් නොවී පවතින අවස්ථාවලදී.

 පහත සඳහන් වන ලක්ෂණ රුධිර කැටි ගැසීමේ බරපතළ අවධියක පසුවන බව පෙන්නුම් කරන ලක්ෂණ නිසා ඒ පිළිබඳව දැඩි ලෙස ඔබට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා.

නොනවතින කැස්ස-බරපතළ ලෙස රුධිරය කැටි ගැසීම නිසා හුස්ම හිරවීම හේතු කරගෙන පෙන්නුම් කරන ලක්ෂණයක් තමයි මේ කැස්ස හුස්ම ගැනීමට නොහැකි වීම සහ අපහසුතාවයක් සමග නොනවතින  කැස්සක් තියෙනවා නම් එය  වඩාත් සැලකිය යුතු ලක්ෂණයක්. ඇතැම් විට කැස්ස සමඟ රුධිරය පිටවීමක්  ඇතිවීමේ හැකියාවත් තියෙනවා. ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක්. නමුත් සෑම අවස්ථාවකම කැස්ස සමග රුධිරය පිට වෙන්නේ නැහැ. 

හුස්ම ගැනීම අසාමාන්‍ය ලෙස වේගවත් වීම– මෑතක සිට ගැඹුරු හුස්ම ගැනීම අපහසු නම් හුස්ම  ගැනීම අසාමාන්‍ය ලෙස වේගවත් වෙනවා නම් එය රුධිර කැටියක් පෙනහළු තුළ තැන්පත්ව ඇති බවයි පෙන්නුම් කරන්නේ.  මෙය පෙනහලු හරහා රුධිර ගමනාගමනය පමණක් නොව වාතය ගලා යාමටත් බාධා ඇති කරනවා. එවැනි අවස්ථාවක දී   ගණන් නොගෙන සිටීම නම්  කිසිසේත්ම සුදුසු නැහැ.

පපුවේ වේදනාව-පෙනහලුවල රුධිර කැටියක් තැන්පත් වීම නිසා හුස්ම ගැනීමට අපහසු වීමත් සමඟ ඇතිවන දැඩි වෙහෙසකාරී බව නිසා පපුවේ වේදනාවක් තියුණු ආකාරයෙන් ඔබට දැනෙන්නට පුළුවන්. එයත් පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක්.

උණ– තදබල ලෙස ඇති නොවන උණ බොහෝ වෙලාවට රුධිර කැටියක් පෙනහලුවල තැන්පත් වීම නිසා ඇතිවන ලක්ෂණයක් විදිහට හඳුනාගන්න පුළුවන්. මේ ලක්ෂණය සමඟ සැක සහිත අනෙකුත් ලක්ෂණ ඇති වන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.

වමනය සමග රුධිරය පිටවීම, මළ ද්‍රව්‍ය තද කළු පැහැයක් ගැනීම  හෝ මලපහ අධික අසාමාන්‍ය දුර්ගන්ධයකින් යුක්ත වීම

 මෙය බොහෝවිට ඇති වෙන්නේ උදරයේ  රුධිර කැටියක් ඇති අවස්ථාවක. නමුත් බොහෝ වෙලාවට මේ තත්ත්වයේ දී කිසිදු සංඥාවක් පෙන්නුම් කරන්නේ නැහැ.  මෙහිදී ආමාශය හෝ අන්නස්‍රෝතය අවහිර වූ රුධිර නාල පැලී රුධිරය කාන්දු වෙන්නට පුළුවන්. ඒ නිසා වේදනාවක් දැඩි අපහසුතාවක් වගේම මලපහ හෝ වමනය සමඟ රුධිරය පිට වෙන්නත්  පුළුවන්. 

ඔක්කාරය, වමනය ,  මුත්‍රා පිටවීම අඩු වීම  සහ මුත්‍රා සමඟ රුධිරය පිටවීම-මෙවැනි ලක්ෂණ බොහෝ විට දකින්නට ලැබෙන්නේ වකුගඩුවල රුධිර කැටියක් ඇති අවස්ථාවකදී. මේ තත්ත්වය බහුලවම වැඩිහිටියන් තුළ දකින්නට පුළුවන්. මේ  වගේ රුධිර කැටි ඉතාම මන්දගාමීව වර්ධනය වෙනවා. ඇතැම් වෙලාවට මේ රුධිර කැටි ගැලවී ගොස් පෙණහලුවක සිර වී යාමකදී හැර රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. 

මේ ලක්ෂණවලින් ඔබව පීඩාවට පත්වෙලා ඉන්නවා නම් එය රුධිර කැටියක් සිරුර අභ්‍යන්තරයේ ඇති බව පෙන්නුම් කරන ලක්ෂණ විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වී වහාම වෛද්‍ය. උපදෙස් ලබා ගැනීමට කටයුතු  කරන්න.