පිළිකාව යන වචනයට අපි දක්වන්නේ එසේ මෙසේ බියක් නෙවෙයි. මොකද පිළිකා සඳහා නිශ්චිතව තවමත් ඖෂධයක් සොයාගෙන නැහැ. ඒ වගේම පිළිකාවක් මුල් අදියරේදී හඳුනා නොගත්තොත් එය ඉතා කෙටි කාලයක් තුල මුළු ශරීරයම අඩපණ කර ඒ පුද්ගලයාව මරණයට පත් කරනවා.ඉතින් බෝ නොවන රෝග අතුරින් අතිශයින්ම භයානක රෝගයක් වන පිළිකාවලින් වැඩිහිටියන් වගේම දරුවන් බොහෝ පිරිසක් මරණයට පත් වෙනවා. වැඩිහිටියන්ට සාපේක්ෂව කුඩා දරුවන් පිළිකාවලට ගොදුරු වීමේ සම්භාවිතාව ඉතා අඩු වුණත් එවැනි කරුණු ගැන දෙමාපියන් විදියට දැනුවත්ව සිටීම ඉතා වැදගත්. මොකද පිළිකාවක් සාර්ථකව මර්දනය කර ගන්නට එය මුල් කාලයේ දී හඳුනා ගැනීම අතිශයින්ම වැදගත් වන නිසා. ඉතින් අපි අද කතා කරමු දරුවන්ට වැළදිය හැකි පිළිකා හඳුනා ගන්නට උපකාරී වෙන ලක්ෂණ පිළිබඳව.
දරුවන්ට පිළිකා ඇතිවීමට බලපාන හේතු
- වැරදි ආහාර රටාව
- ජානමය බලපෑම
- නිසි වේලාවට ආහාර නොගැනීම නිසා ඇතිවන තරබාරුව
- ක්‍රියාශීලී නොවීම
- සිගරැට් දුම ආඝ්‍රාණය වීම
- එක්ස්රේ සහ වෙනත් විකිරණවලට නිරාවරණය වීම
පිලිකාවක් වැඩෙන බව හඳුනා ගත හැකි ලක්ෂණ

- වමනය දරුවන්ට වමනය විවිධාකාර හේතු නිසාවෙන් ඇති වන්නට පුළුවන්. දරුණු ලෙස ඇතිවන කැස්ස, ආහාර විෂවීමක් බඩේ ජීර්ණ , සෙම්ප්‍රතිෂ්‍යාව ආදී තත්ත්වයකදී ඇතිවන වමනය හැරුණාම මොළයට සම්බන්ධ පිළිකාවක් වර්ධනය වීමේදීත් දරුවෙකුට නොනවතින ලෙස වමනය ඇති වෙන්නට පුළුවන්. දරුවා දිගින් දිගටම ගනු ලබන ආහාර ජීර්ණයයට කල් නොගෙවා නැවත පිටතට දැමීම අජීර්ණයක් ලෙස සිතන්නට අපහසුයි. මොළයේ පිළිකා තත්ත්වයකදී මේ වමනය බොහෝවිට උදේ කාලයේදී ඇතිවීම දැක ගන්නට පුළුවන්.ඒ වගේ අවස්ථාවක ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවට දරුවාව රැගෙන යන්න.
- නාසයෙන් ලේ ගැලීම දරුවන්ගේ නාසයේ ඉදිරි කොටස ඉතා සිහින් රුධිර නාලවලින් සැකසී ඇති නිසා ඉතා ඉක්මනින් රුධිරය ගැලීමක් ඇති වෙන්නට පුළුවන්. නමුත් මේ තත්ත්වය දරුවා වයසෙන් වැඩෙන විට නැතිව යනවා. නමුත් මේ නාසයෙන් රුධිරය ගැලීම මාසයකට තුන් හතර වරක් ඇති වන්නේ නම් එය පිළිකාවක ලක්ෂණයක් වන්නට පුළුවන්. විශේෂයෙන්ම දරුවන් අතර බහුල පිළිකාවක් වන ලියුකේමියා තත්ත්වයකදී මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්.
- සුව නොවන තුවාල දරුවන් වැටීම කැඩීම නිසා සිදුවන තුවාල හැරුණාම සම මතුපිට විශේෂයෙන්ම මුඛය තුළ, ලිංගේන්ද්රිය මත ඇතිවන තුවාල ගැන වැඩි අවධානයක් ලබාදිය යුතු වෙනවා. එය පිළිකාවක පූර්ව ලක්ෂණයක් ලෙසත් දැක ගන්නට හැකි නිසා.
- වසා ගැටිති විශාල වීම වේදනාවක් රහිතව විශාල වූ වසා ගැටිති Non- Hodgkin Lymphoma තත්වය විය හැකි අතර Lymphoma කියන්නේ වසා පද්ධතිය තුළ ගෙඩි ආකාරයෙන් නිර්මාණය වී බෙල්ල ආශ්‍රිතව ඉදිමීමක් ලෙස දකින්නට ලැබීමයි . මේ තත්ත්වය සම මතුපිට, අත් යට , පපුව, ඉකිලි අස්ථි ආශ්‍රිතව සම යටින් මතුවන වසා පද්ධතිය හා සම්බන්ධ ප්‍රදේශවල වසා ගැටිත්තක් ලෙස දකින්නට ලැබෙනවා.
- එකවර බර අඩු වීම දරුවාගේ වර්ධනයට අවශ්‍ය වෙන නිසි කැලරි ප්‍රමාණය නොලැබීම සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වීම මත බර අඩු වීමට හැකි වුණත් එකවරම දරුවෙකුගේ බර අඩුවීම වෙනත් නිදන්ගත රෝගයක් නිසාවෙන් වුණත් ඇති වන්නට පුළුවන්. විශේෂයෙන්ම ලියුකේමියා තත්ත්වයේදී සන්ධි කැක්කුම්, දිගු කල් පවතින උණ, ශරීරය දුර්වලවීම යන ලක්ෂණ සමඟ බර අඩුවී යාමත් දැක ගන්නට පුළුවන්. ඒ නිසා එවන් අවස්ථාවක පමා නොවී වෛද්‍යවරයෙකු හමුවී මේ සම්බන්ධව පරීක්ෂා කරවා ගත යුතු වෙනවා.
- කෙටි හුස්ම ගැනීම බොහෝවිට මේ ලක්ෂණයත් ලියුකේමියා පිළිකාවක් හේතුවෙන් පෙන්නුම් කරන ලක්ෂණයක් බැවින් දරුවාගේ හුස්ම ගැනීම කෙටි නම් වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි.
- උදරය විශාල වීම විශේෂයෙන්ම උදරයේ ඉදිමුම් ස්වභාවයක් ඇතිවීම වකුගඩු ආශ්‍රිත පිළිකාවල (විල්ම්ස් ටියුමර් ) ලක්ෂණයක් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මෙය මූලිකව හඳුනා ගැනෙන්නේ උදරයේ ගෙඩියක් හෝ ඉදිමුමක් ලෙසයි. මෙය බොහෝවිට වයස අවුරුදු 3-5 දක්වා දරුවන්ට වැළදෙනවා. මීට අමතරව උණ, උදරයේ වේදනාව, ආහාර අරුචිය ආදී ලක්ෂණත් ඇති වන්නට පුළුවන්.

- අධික හිසරදය වේදනාබර හිසරදය බොහෝවිට ඇති වෙන්නේ මොළයේ ගෙඩි හෝ පිළිකාමය තත්ත්වයක් ඇති විටෙකයි. ඒ නිසා තදබල හිසේ කැක්කුමක් ඇත්නම් එය පමා නොවී පරීක්ෂා කරවා ගත යුතු තත්ත්වයක්. මොළයේ පිළිකා තත්ත්වයකදී පෙනීමේ දුර්වලතා වගේම පෙනීම නැතිවී යාමේ හැකියාවක් ද පවතිනවා. ඒ හැරුණාම මොළය ආශ්‍රිතව ඇතිවන පිළිකාවකදී දරුවාගේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇතිවීම, කිසිම හේතුවක් නොමැතිව වලිප්පුව ඇතිවීමත් දකින්නට පුළුවන්.
- අපස්මාරය දරුවන්ට මේ අපස්මාර තත්ත්වයන් උණ වැළදීම, ඔක්සිජන් අඩුකම හෝ වෙනත් රෝග හේතුවෙන් වුණත් ඇති වන්නට පුළුවන්. ඒ හේතු අතරින් මොළයේ ගෙඩි ඇති අවස්ථාවකත් මේ අපස්මාරය ඇති වන්නට පුළුවන්.
- දරුවාගේ හැසිරීම්වල අනපේක්ෂිත වෙනස්කම් දරුවාගේ අමුතු හැසිරීම් පිළිකාවක රෝග ලක්ෂණයක් වන්නට පුළුවන්.එය දරුවාගේ පෞරුෂය තුලින් සහ පාසලේ දක්ෂතා පෙන්වීමේ වෙනස්කම් තුළින් පවා දැක ගන්නට පුළුවන්.
පිළිකාව මාරාන්තිකයි. නමුත් වැඩිහිටියන්ට වඩා ළමයින්ට වැළදෙන පිළිකා තත්ත්වයන්ගෙන් 80% ක් පමණම ප්‍රතිකාර තිබීම සැනසීමට කාරණාවක්. නමුත් මේ පිළිකා ඉතා ඉක්මනින් හඳුනා ගැනීම මතයි එය සුව කිරීම හෝ සාර්ථකව පාලනය කිරීම රඳවා පවතින්නේ.ඒ නිසා ඔබේ දරුවාගේ පුංචි වෙනස්කමක් ගැනම දෙමාපිය ඔබ සැලකිලිමත් වීම ඉතාම වැදගත්.