කොලෙස්ටරෝල් හැදෙන්න කලින් මතුවෙන රෝග ලක්ෂණ 8 ක්

health tips

නිරන්තරයෙන්ම සෑමවිටම අසන්නට ලැබෙන රෝගාබාධ අතරේ කොලෙස්ටරෝල් කියන්නේ වැඩිපුරම කතාබහ කෙරෙන වසරකට වැඩි රෝගීන් ගණනක් වාර්තා වෙන බෝ නොවන රෝග තත්ත්වයක්. මේ අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීම තවත් රෝගාබාධ බොහොමයකටම පාර කපන නිසා මේ තත්ත්වයක් කල්තියා හඳුනා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ සඳහා අපේ සිරුරේ කොලෙස්ටරෝල් වැඩිවුණාම දකින්නට ලැබෙන්නේ මොනවගේ ලක්ෂණ ද කියලා  අපි දැනුවත්ව සිටිය යුතුයි. ඔන්න නීරෝගීව ජීවත් වෙන්නට ඕන කරන මේ කාරණා ගැන තමයි අද අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වෙන්නේ.

කොලෙස්ටරෝල් කියන්නේ අක්මාව මගින් නිපදවෙන ඇලෙන සුළු මේද ද්‍රව්‍යයක්. ඒවා සෛල පටල, D විටමින්, ඇතැම් හෝර්මෝන නිෂ්පාදන කරන්නටත් වැදගත් වෙනවා. මේවා ජලයේ ගමන් නොකරන නිසා තනිවම ශරීරයේ ස්ථානවලට ගමන් කරන්නට හැකියාවක් නැහැ. රුධිර සංසරණය ඔස්සේ කොලෙස්ටරෝල් ගමන් කරන්නට ලිපෝ කියන ප්‍රෝටීනය දායක වෙනවා. මෙය වර්ග දෙකකට බෙදෙනවා.

අඩු ඝනත්වයක් සහිත ලිපෝ ප්‍රෝටීන හෙවත් නරක කොලෙස්ටරෝල් ධමනි තුළ ගොඩනැගෙනවා. එයින් අපට බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කරනවා (LDL ). මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 100 ට වඩා අඩු අගයක් පවත්වා  ගැනීම ඉතාම වැදගත්. නමුත් ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 100-129 ත් අතර ප්‍රමාණය හදවත් රෝග නොමැති පුද්ගලයෙක්ගේ පැවතීම විශාල ගැටළුවක් වන්නේ නැහැ. මෙහි ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 130-159 කියන්නේ සීමා මට්ටමයි. මේ සීමා දක්වාම නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙලා නම් ව්‍යායාම් කිරීමටත් ආහාර පුරුදු වෙනස් කර ගන්නටත් වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙනවා. මේ ප්‍රමාණය ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 160-189 දක්වා අගයක පවතින්නේ නම් ඔබට ඖෂධ ලබා ගැනීමටත් සිදු වෙනවා.

වැඩි ඝනත්වයක් සහිත ලිපෝ ප්‍රෝටීන හොඳ කොලෙස්ටරෝල් ලෙස හඳුන්වනවා. මෙමගින් අක්මාව වෙත ගමන් කරන නරක කොලෙස්ටරෝල්  ඉවත් කිරීම සිදු කරනවා (HDL). මේ ප්‍රමාණය ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 40 ට වඩා ඉහළ අගයකින් පවත්වා ගැනීම  ඉතාම වැදගත් වෙනවා.

අධික මේද සහිත ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරනවා. මෙය අධික කොලෙස්ටරෝල් තත්ත්වයක් ලෙසට හඳුනා ගැනෙනවා. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම නිසා රුධිරවාහිනීවල මේදය තැන්පත්වීමේ අවදානමක් නිර්මාණය වෙනවා. ඒ නිසා රුධිරයට ධමනි හරහා ගමන් කරන්නට අපහසු වෙනවා. මේ තත්ත්වයි සිරුරේ ඇති නොයෙකුත් ගැටළුවලට හේතුකාරක වෙනවා. 

විශේෂයෙන්ම මොළයේ සහ හදවතේ ඇතිවන මේ තත්ත්වයන් භයානක වන්නට පුළුවන් ජීවිත හානියක් දක්වාම. කොහොමවුණත් නිශ්චිතවම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි බව දැන ගැනීමට හැකි වෙන්නේ රුධිර පරීක්ෂාවක් මගින්. එහිදී කොලෙස්ටරෝල් මට්ටම  මිලිග්‍රෑම් 240 ට වඩා වැඩි නම් කොලෙස්ටරෝල් අධික වෙනවා. ඒ නිසා අවුරුදු 20 දී රුධිර පරීක්ෂාවක් කරවා ගෙන රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරවා ගෙන නැවත අවුරුදු 4ත් 6 ත් අතර පරීක්ෂාවක් සිදුකර ගැනීම මගින් දරුණු තත්ත්වයක් කරා යාමට පෙර රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීමක් හඳුනා ගන්නට පුළුවන්. 

ඒ වගේම කොලෙස්ටරෝල් තැන්පතු වාර්තාවක total  කොලෙස්ටරෝල් යන අගයක් දැක ගන්නට පුළුවන්. එහි අන්තර්ගත වෙන්නේ විවිධ කොලෙස්ටරෝල් ප්‍රභේදවල එකතුව. මේ කොලෙස්ටරෝල් එකතුව සාමාන්‍යයෙන්  ඩෙසි ලීටරයට මිලිග්‍රෑම් 200 (<200mg/dl )ට වඩා අඩු  මට්ටමක තිබීමයි වඩාත් හිතකර වෙන්නේ.  නමුත් මේ අගය 200 ට වඩා වැඩි වන්නේ නම් 200- සහ 239 අතර පැවතීම හඳුන්වන්නේ Borderline level ලෙස. මේ අගයන් ඉක්මවීම කොලෙස්ටරෝල් අගය වැඩි අය ලෙසයි හඳුනා ගන්නේ. මෙ අවස්ථාවේදී වෛද්‍යවරුන් ඔබේ ආහාර පුරුදු වෙනස් කර ගන්නට, ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්නට සහ ව්‍යායාම්වල නිරත වන්නටත් උපදෙස් ලබාදෙනවා.

නමුත් මේ අගය ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 240 ට වඩා වැඩි අගයක් ගන්නේ නම් ව්‍යායාම,ආහාර පුරුදු වෙනස් කිරීම වගේම ඖෂධ ලබා ගැනීමටත් වෛද්‍යවරුන් නියම කරනු ලබනවා. ඒ නිසා තමන්ගේ කොලෙස්ටරෝල් මට්ටම 200ට අඩු මට්ටමක පවත්වා ගැනීම ඉතාම වැදගත්. 

රුධිරයේ කොලෙස්ටරෝල්  වැඩි  කරන අවදානම්  සාධක  

  • අධි රුධිර පීඩනය 
  • අධික බර 
  • දුම්පානය 
  • ජානමය සාධක 

රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම හඟවන ලක්ෂණ 

  • සමබරතාවය එකවර නැතිව යාම 
  • හදිසි කරකැවිල්ල 
  • මුහුණේ අසමමිතික බව 
  • ඇස සහ මුඛය එක පැත්තකට වැටීම 
  • චලනය වීමේ අපහසුව (මෙය බොහෝවිට ශරීරයේ එක් පැත්තකට බලපානවා.)
  • කලබලකාරී බව 
  • වචන ගොත ගැසීම 
  • ශරීරයේ එක් පැත්තක අඳුරු හෝ  කළු ලප ඇතිවීම 
  • මුහුණ අත් පා හිරි වැටීම
  • ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම  
  • එකවර ඇතිවන හිසරුදාව 

කොලෙස්ටරෝල් අධික වීමෙන් ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් 

  • හෘදයාබාධ ඇතිවීම 
  • අධි රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතා 
  • වකුගඩු අකර්මණ්‍ය වීම 
  • ආඝාතය ඇතිවීම 
  • පර්යන්ත ධමනි රෝගය මේ රෝගය ඇති වන්නේ  වකුගඩු, අත, බඩ, පපුව, පාදවලට රුධිරය ගලායන  ධමනි අවහිරවීමෙන්.

පෙර රෝග ලක්ෂණ

  • කෙණ්ඩා පෙරලීම 
  • අධික වෙහෙස 
  • ව්‍යායාම් ආදී කටයුතුවලදී පාදවල වරින් වර ඇතිවන වේදනාව 
  • පාද හා යටි පතුල් වේදනාව 
  • සමේ දීප්තිය අඩුවීම 
  • කෙට්ටුවීම 
  • හෙමින් සුව වන හෝ නොවන පාදයේ සැරව සහිත තුවාල 
  • පාදවල රෝම වර්ධනය අඩුවීම 

ඉතින් Cholesterol Test පහත ආකාරයට පවත්වා ගැනීම ඔබට නීරෝගී ජීවිතයක් සඳහා උපකාරී වෙනවා.

  • LDL  <120 mg/dl 
  • HDL >45mg/dl
  • Total <180mg/dl 

හිතකර කොලෙස්ටරෝල්  මට්ටමක් පවත්වා ගැනීමටත් නරක  කොලෙස්ටරෝල්  මට්ටම පාලනය කිරීම සඳහාත්  ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත කරමින් ආහාර පුරුදු වෙනස් කරගනිමින් කටයුතු කිරීමත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් නිසි පරිදි පිළිපැදීමත් අත්‍යවශ්‍ය වෙනවා.