අද අපිට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන රෝගාබාධ අතරේ කොලෙස්ටරෝල් කියන්නේ වැඩිපුරම කතාබහ කෙරෙන වසරකට වැඩි රෝගීන් ගණනක් වාර්තා වෙන බෝ නොවන රෝගයක්. මේ අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීම අධි රුධිර පීඩනය, හෘදයාබාධ ඇතුළු තවත් රෝගාබාධ බොහොමයකටම පාර කපන නිසා මේ රෝගය අපේ නිරෝගී බවට විශාල තර්ජනයක්. ඇතැම්විට මේ කොලෙස්ටරෝල් මොළයේ තැන්පත්වීමෙන් අංශභාගය ආදී තත්ත්වයන් වුණත් ඇති වෙන්නට පුළුවන්. එනිසා වයස අවුරුදු 20 ඉක්මවූ කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ගැන වැඩි වශයෙන් සැලකිල්ලක් දක්වන්නට ඕන . එනිසාවෙන් අපි අද කතා කරමු දේහයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමක් හඳුනා ගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව.

කොලෙස්ටරෝල් කියන්නේ මේද වර්ගයක්. ජලයේ හෝ රුධිරයේ දිය නොවන ඉටි වැනි ඇලෙන සුළු සංයෝගයක් වන කොලෙස්ටරෝල් ලිපිඩ (Lipids ) යන පොදු භාවිතයෙන් හඳුන්වනු ලබනවා. මේ කොලෙස්ටරෝල් අපේ දේහයට ලැබෙන්නේ අපි ගන්නා ආහාරවලින් සහ ශරීරයෙන් නිෂ්පාදනය කරන කොලෙස්ටරෝල් තුළින් .
කොලෙස්ටරෝල් අපේ සිරුරේ හෝර්මෝන නිෂ්පාදනය කරන්නට, සෛලවල පිටත ප්‍රාවරණය නිපදවන්නට, පිත් යුෂ නිෂ්පාදනයට, විටමින් D නිෂ්පාදනයට ආදී කාරණා බොහොමයක් සඳහා වුවමනා වෙනවා . ශරීරයේ ස්නායු පද්ධතියට අදාල හෝ මොළයට අදාල සෛලයක් විනාශ වුණොත් අලුතින් නිපදවීම සඳහා කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ශරීරයේ පැවත්මට මේ කොලෙස්ටරෝල් අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතු වෙනවා.
නමුත් සිරුරේ තිබිය යුතු කොලෙස්ටරෝල් මට්ටම අධික වුණොත් එය අපිට විවිධ සංඥා මගින් පෙන්නුම් කරනවා.මේ සංඥා ගැන දැනුවත්ව සිටීමෙන් අපිට මේ නිසා දේහයට ඇතිවිය හැකි බරපතල බලපෑම් අවම කරගන්නට හැකියාව තියෙනවා.
රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම නිසා රුධිරවාහිනීවල මේදය තැන්පත්වීමේ අවදානමක් නිර්මාණය වෙනවා. ඒ නිසා රුධිරයට ධමනි හරහා ගමන් කරන්නට අපහසු වෙනවා. මේ තත්ත්වයි සිරුරේ ඇති නොයෙකුත් ගැටළුවලට හේතුකාරක වෙනවා.
විශේෂයෙන්ම මොළයේ සහ හදවතේ ඇතිවන මේ තත්ත්වයන් භයානක වන්නට පුළුවන් ජීවිත හානියක් දක්වාම. කොහොමවුණත් නිශ්චිතවම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි බව දැන ගැනීමට හැකි වෙන්නේ රුධිර පරීක්ෂාවක් මගින්. එහිදී කොලෙස්ටරෝල් මට්ටම මිලිග්‍රෑම් 240 ට වඩා වැඩි නම් කොලෙස්ටරෝල් අධික වෙනවා. ඒ නිසා අවුරුදු 20 දී රුධිර පරීක්ෂාවක් කරවා ගෙන රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරවා ගෙන නැවත අවුරුදු 4ත් 6 ත් අතර පරීක්ෂාවක් සිදුකර ගැනීම මගින් දරුණු තත්ත්වයක් කරා යාමට පෙර රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීමක් හඳුනා ගන්නට පුළුවන්.
රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම හඟවන ලක්ෂණ
- ශරීරයේ එක් පැත්තක අඳුරු හෝ කළු ලප ඇතිවීම
- මුහුණ අත් පා හිරි වැටීම
- සමබරතාවය එකවර නැතිව යාම
- හදිසි කරකැවිල්ල
- ඇස සහ මුඛය එක පැත්තකට වැටීම
- චලනය වීමේ අපහසුව
- මුහුණේ අසමමිතික බව
- කලබලකාරී බව
- වචන ගොත ගැසීම
- එකවර ඇතිවන හිසරුදාව
- ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම
- අධික වෙහෙස
- ව්‍යායාම් ආදී කටයුතුවලදී පාදවල වරින් වර ඇතිවන වේදනාව
- පාද හා යටි පතුල් වේදනාව
- සමේ දීප්තිය අඩුවීම

කොලෙස්ටරෝල් අධික වීමෙන් ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන්
- හෘදයාබාධ ඇතිවීම
- අධි රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතා
- ආඝාතය ඇතිවීම
- පර්යන්ත ධමනි රෝගය
- වකුගඩු අකර්මණ්‍ය වීම
ඉතින් ඔබ වයස අවුරුදු 20 ඉක්මවූ අයෙක් නම් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අනිවාර්යෙන්ම පරීක්ෂා කරවා ගන්න. මේ සඳහා පැය 12 ක් නිරාහාරව සිටිය යුතුයි. ඒ වගේම මේ පරීක්ශණයට පෙර නිදි වැරීම, මත්පැන් භාවිතය දුම්පානය ආදියෙන් දින කිහිපයක සිටම වැළකී සිටිය යුතුයි. ශාරීරික ව්‍යායාම්වල නිරත වන අයෙක් නම් ඒ කාර්යයන් ද පරීක්ෂණයට පෙර දින කිහිපයක සිට නතර කළ යුතුයි.
ඉතින් Cholesterol Test පහත ආකාරයට පවත්වා ගැනීම ඔබට නීරෝගී ජීවිතයක් සඳහා උපකාරී වෙනවා.
- LDL <120 mg/dl
- HDL >45mg/dl
- Total <180mg/dl
රතු පැහැ මස් වර්ග ගැඹුරු තෙලේ බදින ආහාරපාන සීමා කිරීම ,කෙඳි සහිත ආහාර වැඩිපුර ගැනීම, ලුණු භාවිතය අවම කිරීම මත්පැන් දුම්වැටි භාවිතයෙන් ඈත්වීම යනාදී කරුණු ගැන සැලකිලිමත් වුණොත් මේ කොලෙස්ටරෝල් ගැටළුවෙන් මිදෙන්නට ඔබට පුළුවන් .