වකුගඩු රෝගයක් ඇතිබවට හඳුනා ගත හැකි රෝග ලක්ෂණ 10 ක්

health tips

නොයෙක් නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින තවත් එක් පීඩාකාරී රෝගයක් ලෙස වකුගඩු රෝගය හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ මෙම රෝගය බහුලව දැකගත හැක්කේ රජරට ප්‍රදේශය තුළය. මෙම රෝගය ඇතිවීමට බලපානු ලබන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ශරීරයට අහිතකර  කෘෂි රසායන ද්‍රව්‍ය හා බැර ලෝහ ජලයට මුසු වීම හා එම ජලය බොහෝ දෙනෙකු භාවිතා කිරීම හේතුකොටගෙනය.

මෙම රෝගය ඇතිවූ මුල් අවස්ථාවේම ප්‍රතිකාර වෙත යොමු විය යුතු අතර රෝගය උත්සන්න වූ පසු ප්‍රතිකාර කිරීම අසීරුය. එනම් එසේ කල් යාමෙන් වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවන ප්‍රවණතාවය වැඩිය.මේ නිසා වකුගඩු රෝගයක් ඇත්නම් එම රෝගය හඳුනාගැනීමට එම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද යන්න හඳුනාගෙන තිබීම ඉක්මන් ප්‍රතිකාර වෙත යොමු වීම සඳහා බෙහෙවින් වැදගත්වේ.

වකුගඩු රෝගයේ විශේෂත්වය වන්නේ එම රෝගය වැළඳී  සුළු කාලයක් ගත වූ පසු එම රෝග ලක්ෂණ හඳුනාගැනීමට හැකිවීමයි. එමෙන්ම ඇතිවන වකුගඩු රෝග ලක්ෂණයන්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ.

වකුගඩු රෝගයක් ඇත්නම් එය හඳුනාගත හැකි රෝග ලක්ෂණ බොහොමයක් පවතී. එනම්

මුත්‍රා සමඟ රුධිරය පිටවීම.වකුගඩු රෝගී වී ඇත්නම් එය හඳුනාගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස මුත්‍ර සමඟ රුධිරය පිටවීමේ රෝග තත්ත්වය හඳුනා ගත හැකිය. එනම් නීරෝගී වකුගඩුමගින් අතිරික්ත ජලය පෙරීම සිදුකරන අතර රුධිරය ශරීරයේ ගබඩා කිරීම සිදුකරයි. කිසිවිටකත් රුධිරය මුත්‍ර සමඟ පිට කිරීම සිදු නොකරයි. යම් හෙයකින් රුධිරය පිට වීම සිදු වන්නේ නම් ඒ වකුගඩු වලට හානි වූ විටටකය. මෙසේ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ වකුගඩු ආශ්‍රිතව ගල් ඇතිවීම  හා මුත්‍රාශයේ ගැටිති ඇතිවීමයි. මේ නිසා මෙවැනි රෝග ලක්ෂණයක් ඇත්නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගත හැකිය.

නින්ද නොයෑම.මානසික ආතතිය වැනි රෝග හෝ වෙනත් ශාරීරික හේතූන් මත නින්ද නොයෑමේ රෝග ලක්ෂණය හඳුනාගත හැකිය. ඊට අමතරව වකුගඩු රෝගී වූ විටද නින්ද නොයෑම ඇති විය හැකිය. එනම් ශරීරයේ එකතුවන විෂ ද්‍රව්‍ය වකුගඩු තුළින් පෙරා හැරීමට නොහැකි වූ විට ශරීරයේ විෂ එක් රැස් වීම සිදුවන නිසා  නින්ද නොයෑම ඇතිවිය හැකිය.

ආහාර අරුචිය,වමනය ඇතිවීම.නොයෙක් රෝග තත්ත්වයන් නිසා ආහාර අරුචිය,වමනය ඔක්කාරය වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. එමෙන්ම වකුගඩු රෝගී වූ විටද ආහාර අරුචිය වමනය, ඔක්කාරය ඇතිවේ. එනම් වකුගඩු වලින් විෂ පෙරීම අඩපණ වූ විට ශරීරයේ විෂ එක්රැස් වී ආහාර අරුචිය, වමනය, ඔක්කාරය ඇතිවේ.මේ නිසා දින කිහිපයක් මෙම රෝග සංකූලතා ඇති වන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

සමෙහි කැසීම් හා පලු හටගැනීම.වකුගඩු කරන ප්‍රධාන කාර්යයන් අතර ශරීරයේ විෂ පිට කිරීම මෙන්ම ශරීරයේ අතිරික්ත ජලය ඉවත් කිරීම සිදුකරනු ලැබේ. නමුදු වකුගඩු අක්‍රීය වූ විට මෙම කාර්යයන් නිසි ලෙස ඉටුනොවේ. එවිට ශරීරයේ විෂ එකතුවී සමෙහි නොයෙක් අසාත්මිකතාවයන් ඇතිවේ. එනම් සම කැසීම හා පලු හටගැනීම ඇතිවේ. මෙය බොහෝ විට අප ගනු ලබන ආහාර වර්ග ඖෂධ වර්ග නිසාද ඇතිවිය හැකිය. නමුදු දිගින් දිගටම ඇතිවන්නෙ නම් මෙය වකුගඩු රෝගී වී ඇතිබවට හෙලිවන රෝග ලක්ෂණයක් විය හැකිය.

ආහාරවල ලෝහමය රසයක් දැනීම.බොහෝ විට මෙම රෝග ලක්ෂණය ඇතිවනු ලබන්නේ වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇතිවිටය. එනම් වකුගඩු නිසිලෙස ක්‍රියාත්මක නොවන විටක ආහාරවල විශේෂයෙන්ම මාංශමය ආහාර වල ලෝහමය රසයක් දැනිය හැකිය. එනම් හානි වූ වකුගඩු ඇති විටක  හුස්ම ගැනීමේදී ඇමෝනියා සුවඳක් වහනය වීම සිදුවේ. එවිට අප ගනු ලබන ආහාරවල ලෝහමය රසයක්  ඇතිවිය හැකිය. මේ නිසා බොහෝ පුද්ගලයන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.

නිතර මුත්‍රා කිරීමට සිදුවීම.වකුගඩු අක්‍රිය වූ විටක පෙරා හරින මුත්‍ර ප්‍රමාණය වැඩි විය හැකිය. මේ නිසා නිතර නිතර මුත්‍ර පිට කිරීමට සිදුවේ. විශේෂයෙන් රාත්‍රියේදී නිතර නිතර මුත්‍ර පිට කිරීමට සිදුවේ නම් එය වකුගඩු රෝගී වී ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණයකි. එනම් මෙවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුවේ.

මහන්සිය හා අප්‍රාණික බවක් ඇතිවීම.මහන්සිය හා අප්‍රාණික බවක් ඇතිවීම වකුගඩු රෝගීවී ඇති බවට හඳුනාගත හැකි තවත් එක් රෝග ලක්ෂණයකි. නමුදු මෙම රෝග ලක්ෂණය  වෙනත් රෝග නිසා වුවද ඇතිවිය  හැකිය. වකුගඩු රෝගය නිසා මෙම රෝග ලක්ෂණය ඇති වන්නේ වකුගඩු නිසියාකාරව ක්‍රියාත්මක නොවීම මත රුධිරයේ විෂ ඉවත් කිරීමට නොහැකි වීම මෙන්ම රතු රුධිර සෛල නිපදවීම අවම වීම හේතුවෙන් රක්තහීනතාවය වැනි රෝග තත්ත්වයන් ඇතිවීම නිසාය. එනම් රක්ත හීනතාවය වැනි රෝග ඇති වූ විට මහන්සිය ,ශරීර අප්‍රාණිකත්වය ඇතිවිය හැකිය. මේ නිසා නිතර නිතර මහන්සිය හා ශරීර අප්‍රාණිකබව දැනෙන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

අත් පා ඉදමීම.වකුගඩු රෝග ඇති බවට හෙළි කරන ප්‍රධාන ලක්ෂණ අතර අත් පා ඉදිමීම නම් කළ හැකිය. එනම්. ශරීරයේ විෂ පිට නොවීම නිසා අත් , පා ,ඇස් මුහුණ ඉදමුමට ලක්වේ. වෙනත් රෝග තත්ත්වයන් නිසාද මෙවැනි ශරීරගත ඉදමුම් ඇතිවිය හැකිය. මෙවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.

සීතල දැනීම.දේශගුණික තත්වයන් නිසා හෝ උණ වැනි රෝගයක් ඇතිවීමට පෙර ඇතිවන රෝග තත්ත්වයක් ලෙස වුවද ශරීරයට සීතලක් ඇතිවිය හැකිය.  නමුදු  අවට පරිසරය උණුසුම් තත්ත්වයක පවතින විටද තද සීතලක් දැනේනම් එය වකුගඩු රෝගී වීමෙන් ඇතිවන රෝග ලක්ෂණයක් විය හැකිය. එනම් වකුගඩු දුර්වල වීමෙන් ඇතිවන රක්තහීනතාවය නිසාද ශරීරය දුර්වල වීමෙන් සීතල දැනිය හැකිය.

මුත්‍රාවල පෙණ ස්භාවයක් ඇතිවීම.වකුගඩු රෝගී වී ඇති බවට හෙළිවන තවත් එක් රෝග ලක්ෂණයක් ලෙස මුත්‍රවල පෙණ ස්භාවයක් ඇතිවීම හඳුනාගත හැකිය. එනම්වකුගඩු වල පෙරීම නිසි ආකාරව සිදු නොවන විට මුත්‍රාවල පෙණ ස්භාවයක් ඇතිවේ. එනම් හානි වූ වකුගඩු මගින් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිට කිරීම සිදුවේ. එවිට මුත්‍ර පෙණ මෙන් පිටවේ. එනම් මෙය වකුගඩු රෝග ඇතිවිය හැකි බවට හෙළි කරන ප්‍රධාන හේතුවක් බව හඳුනාගෙන තිබේ.

මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් දිගින් දිගටම පවතින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එනම් ඉන් එම රෝගය පහසුවෙන් සුව කර ගත හැකිය.