අද ලෝකයේ නිතර අසන්නට ලැබෙන වඩාත් මාරාන්තික රෝගයක් වන්නේ පිළිකාවයි.අද වන විට විවිධ පුද්ගලයන් අතර විවිධ වූ පිළිකා විශේෂ දක්නට ලැබෙන අතර ඒ සෑම පිළිකාවක්ම ජීවිතයට ඉතා විශාල තර්ජනයක්.මේ පිළිකා වර්ග අතුරින් ප්‍රධාන තැනක් ගන්නා පිළිකා විශේෂයක් වන්නේ පෙනහළු ආශ්‍රිතව ඇතිවන පිළිකාවයි. ලෝකයේ බහුලව පවතින දෙවනි පිළිකා විශේෂය වන මේ පිළිකාව නිසා සෑම වසරකම පාහේ මරණයට පත්වෙන පිරිස අනෙකුත් පිළිකා රෝග සියල්ලම නිසා මියගිය සංඛ්‍යාවට වඩා අධික වෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 70 ඉක්මවූ පිරිමි පුද්ගලයන්ට මේ පෙනහළු පිළිකා ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බවයි සොයාගෙන ඇත්තේ.නමුත් මේ පෙනහළු පිළිකාව මුල් අවධියේදී හඳුනා ගැනීමට ඇති හැකියාව ඉතා අවමයි. නමුත් මුල් අවධියේදී මේ පිළිකාව හඳුනා ගැනීමෙන් එයින් මුළුමනින්ම මිදීමේ හැකියාව ඇති බව මතක තබාගත යුතු වෙනවා. ඒ සඳහා මේ පෙනහළු පිළිකාවල පූර්ව ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත්.
පෙනහළු පිළිකා ඇති වෙන්නට බලපාන හේතු

- සක්‍රීය දුම්පානය
- අක්‍රීය දුම්පානය
- ආසනික්, ක්‍රෝමියම්, බෙරොලියම්,නිකල් ආදී ලෝහවලට නිරාවරණය වීම
- විකිරණවලට නිරාවරණය වීම
- වායු දූෂණය අධික පරිසරයක ජීවත්වීම
- ජානමය හේතු
පෙනහළු පිළිකාවක් හඳුනා ගත ගත හැකි ලක්ෂණ
සුව නොවන කැස්ස පෙනහළු පිළිකාවක් ඇති බව දැන ගන්නට හැකි ප්‍රධානම ලක්ෂණයක් වන මෙය සති ගණනාවක් පවතින වියළි කැස්සක්. ස්වසන පද්ධතිය ආශ්‍රිතව සාමාන්‍යයෙන් ඇතිවන කැස්ස සතියක් හෝ දෙකක් කාලය තුළ සුව වුණත් මේ කැස්ස දිගුකාලයක් පවතිනවා. එවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීමෙන් පෙනහළු පිළිකා තත්ත්වයක් ද නැද්ද යන්න නිශ්චිතව හඳුනා ගන්නට හැකියි.
නොනවතින කැස්ස හා නිරතුරුව වෙනස් වන කැස්ස සාමාන්‍යයෙන් කැස්ස ඇතිවන වාර ගණනට වඩා වැඩි වාර ගණනක් නොනවත්වා ඇතිවන කැස්ස සහ ඒ කැස්ස සමඟ රුධිරය පිටවීම ඇතැම්විට පෙනහළු පිළිකාවකින් ඔබ පෙළෙන බව හඟවන ලක්ෂණයක් විය හැකියි. එබැවින් පමා නොවී වෛද්‍යවරයෙකු හමුවීමයි වඩා වැදගත් වන්නේ.
හුස්ම ගැනීමේ අපහසුතාවය නිරන්තරයෙන් ඇතිවීම සාමාන්‍යයෙන් පඩිපෙළක් නැගීමේදී හා බැසීමේදී හෝ එකදිගට ඇවිද යාමේදී හෝ යම් යම් සුළු ක්‍රියාකාරකම්වල නිරතවීමේදී මෙවැනි හුස්ම ගැනීමේ අපහසුතා දැනේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන්ම මෙසේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන්නේ යම්විටෙක පෙනහළු ආශ්‍රිතව පිළිකාවක් ඇතිවිටකදී.එහිදී පිළිකා සෛල මගින් ස්වසන මාර්ගය අවහිර කරවන අතර පිළිකාව නිසා ඇතිවන ඇතැම් දියරමය ද්‍රව්‍ය පෙනහළු තුළ පිරීම නිසා මේ ලක්ෂණය ඇති වෙන්නට පුළුවන්.

පපු ප්‍රදේශය ආශ්‍රිත වේදනාව පපු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන මේ වේදනාව උරහිස් හා පිට ආශ්‍රිත වේදනාවන් සමඟ ඇති වෙන්නට පුළුවන්. තදින් හුස්ම ගන්නා විට, කහින විට හෝ සිනහ වන විට මේ පපුවේ වේදනාව ඇති වෙන්නට පුළුවන්.මේ වේදනාව නිරන්තරයෙන් ඇතිවන කැස්ස නිසා යැයි සිතා නොසලකා හැරිය යුතු නැහැ. එබැවින් පපු ආශ්‍රිතව යම් වේදනාවක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වෙනවා.
හතිය මේ ලක්ෂණය පෙනහළු පිළිකා ඇතිවීමේ දී පෙන්වන පූර්ව ලක්ෂණයක් නොවුණත් ස්වසන මාර්ගය අවහිරවීම නිසා හතිය තත්ත්වයන් පසුව ඇතිවිය හැකියි.
ශරීරයේ බර හදිසියේ අඩුවීම ආහාර පාලනය කිරීමක් හෝ බර අඩුකර ගැනීම සඳහා කරන ව්‍යායාම්වල නිරත නොවන අයෙක්ගේ බර හදිසියේ අඩු වන්නේ නම් එය ඇතැම්විට පෙනහළු පිළිකාවක් වෙන්නට පුළුවන්. ශරීරයේ පිළිකා සෛල වර්ධනය වෙමින් යද්දි ඒ පිළිකා සෛල විසින් ශරීරයේ පෝෂණය සහ ශක්තිය ශීඝ්‍රයෙන් උරා ගැනීම එයට හේතුවයි.
කටහඩ වෙනස් වීම (ගොරෝසු වීම) සෙම්ප්‍රතිශ්‍යාව ආදිය නිසා වෙනස් වන කටහඩ සතියකින් පමණ යථා තත්ත්වයට පත්වුණත් පෙනහළු පිළිකාවක් වර්ධනය වෙමින් පවතින විටකදී කටහඩ නැවත යථා තත්ත්වයට පත් නොවී දීර්ඝ කාලයක් පැවතිය හැකියි. එවැනි අවස්ථාවක පමා නොවී වෛද්‍යවරයෙක් හමුවීමයි වඩාත් සුදුසු වන්නේ.

අස්ථිවල වේදනාව මේ ලක්ෂණය බොහෝ විට පෙනහළු පිළිකාවේ අවදානම් අවස්ථාවේ සිටින විට පෙන්නුම් කරනු ලබන ලක්ෂණයක් වන අතර මේ වේදනාවන් රාත්‍රී කාලයේදී අධික ලෙස ඇතිවෙනවා. ඇතැම්විට මේ පෙනහළුවල ඇතිවන පිළිකාවට මූලිකව ප්‍රතිකාර නොකිරීමෙන් යම් විටෙක සුෂුම්නාව හා දෑත් දෙපාවලට පවා පැතිරි යන්නට ඉඩ ඇති බැවින් මෙවැනි වේදනාවන් ඇතිවූ විට ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.
නිතර ආසාදනයන්ට ගොදුරු වීම නිරන්තරයෙන් ඇතිවන නියුමෝනියාව සහ ස්වාසනාලිකා ප්‍රදාහය ආදිය පෙනහළු පිළිකාවක මූලික ලක්ෂණයන් විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.
හිසේ කැක්කුම මේ ලක්ෂණය රෝග තත්ත්වයන් බොහොමයක් නිසාවෙන් ඇතිවිය හැකි වුණත් දරුණු ලෙස ඇතිවන සුව නොවන හිසරදය දරුණු පෙනහළු පිළිකාවක් වර්ධනය වන බව හඟවන ලක්ෂණයක් වෙන්නට පුළුවන්.යම්විටෙක ඒ පිළිකාව මොළයට පැතිර ඇති බව එයින් හඳුනා ගන්නට පුළුවන්. නැතහොත් පිළිකාව හේතුවෙන් මොළයට රුධිරය සපයන රුධිර නාල අවහිර වී තිබීම මේ හිසරදයට හේතු වෙන්නට පුළුවන්.
ගිලීමේ අපහසුතා මෙහිදී ආහාර වගේම ජලය පානය කිරීමේදීත් අපහසුතා ගෙන දෙන අතර ඒ නිසාම රෝගීයා මන්දපෝෂණයට වගේම විජලනයට බදුන් වීමේ ඉහළ අවදානමක් නිර්මාණය වෙනවා.
- කතා කරන විට වෙව්ලන ස්වභාවය
- ශරීරය දුර්වල වීම හා මහන්සිය දැනීම
- කෑම අරුචිය
මේ ලක්ෂණවලින් පීඩා විදින අයෙකු නම් පමා නොවී වෛද්‍යවරයෙකු හමුවට යාම නුවණට හුරුයි. අනෙකුත් පිළිකාවන් සේම පෙනහළු පිළිකාවන් ද හඳුනා ගැනීම පමාවීම තුළ ශරීරයේ විශාල පරාසයක පැතිරීයාමෙන් ජීවිත තර්ජනයක් වූවත් විය හැකි නිසා මේ ලක්ෂණ සුළුවට නොගත යුතුයි. X- ray පරීක්ෂාවක් මගින් හෝ CT Scan පරීක්ශාවක් මගින් පෙනහළු පිළිකාවක් ද යන්න අනුමාන කරගනු ලබනවා. ඒ හැරුණු විට M.R.I scan,අස්ථි සම්බන්ධ ස්කෑන් පරීක්ෂණයක්, ස්වාසනාල පරීක්ෂණයක් හා ජීව පටල පරීක්ෂාවක් ආදිය සිදු කිරීමෙන් පෙනහළු පිළිකාවක් ද යන්න නිශ්චිත කරගනු ලබනවා.