කැස්ස, හෙම්බිරිස්සාව, ඇදුම, පීනස කියන සෙම් රෝග වයස් භේදයකින් තොරව අපිට වැළදෙන්නට හැකි රෝග තත්ත්වයන්. බොහෝවිට වර්තමානයේදී කැස්සක් හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවුණත් බොහෝඅය ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ.ඒ වගේම පරෙස්සම්වීමක් හෝ නැහැ. මේ නිසාම පවතින සෙම් රෝගය දරුණු අතට පත්වී පෙනහළු තුළ සෙම සිරවීමෙන් ඇතිවන සංකූලතා නිසාවෙන් නියුමෝනියාව වගේ තත්ත්වයන් වුණත් ඇති වෙන්නට පුළුවන්. නොසලකා හැරීමෙන් මරණය වුණත් ළඟා කරදෙන නියුමෝනියාව සාමාන්‍ය හෙම්බිරිසාවක් ඇති අයට වුණත් වැළදෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම නිව්මෝනියා රෝගය පිළිබඳව කතා කරන්නට අපි සිතුවා.
නිව්මෝනියාව ඇතිවෙන්නේ කොහොමද නියුමෝනියාව යනු පෙනහළු ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක්.එය බැක්ටීරියා, දිලීර, හෝ වෛරස ආසාදනයකින් ඇතිවිය හැකියි.ආසාදිත පරිසරවල අපරික්ෂාකාරී ලෙස හැසිරෙන අවස්ථාවක යම් ආකාරයකින් බැක්ටීරියා හෝ වෛරස ස්වසන මාර්ගය හරහා ඇතුල් වෙන්නට පුළුවන්. එහිදී පෙනහළු ආසාදනයට පත්ව ඔක්සිජන් ලබාගෙන කාබන්ඩයොක්සයිඩ් පිටකිරීමේ ක්‍රියාවලියට බාධා ඇතිවෙනවා. නිව්මෝනියාව සෙම්ප්‍රතිශ්‍යා නිසා පමණක් නොවෙයි ස්වසන මාර්ගය ආශ්‍රිත වෙනත් මෙවැනි බැක්ටීරියා හා වෛරස් ආසාදන නිසා වැළදෙන්නට පුළුවන්.ඒ වගේම නියුමෝනියාව සියළුම වයස් කාණ්ඩවලට පොදුවේ දක්නට ලැබෙන රෝගයක්.

බැක්ටීරියා හා වෛරස ආදිය මගින් නිව්මෝනියාව වෛරසයක් නිසා හෝ බැක්ටීරියාවක් නිසා හෝ දිලීරයක් නිසා ඇතිවෙන්නට පුළුවන්. අද වර්තමානයේදී කොරෝනා වෛරසය මගින් මේ නිවුමෝනියා තත්ත්වය ඇතිවීම පිළිබඳව අසන්නට ලැබෙනවා. ඒ හැරුණාම මීට වසර කිහිපයකට පෙර සාර්ස්, ඉන්ෆ්ලුවෙන්සා H1N1 කියන වෛරස නිසා නිවුමෝනියාව ඇතිවී ජනතාව මරණයට පත්වුණා. ඉතින් නිව්මෝනියාව කියන්නේ බොහෝ කාලයක සිට අපි අතර පවතින රෝගයක් . ව්‍යාප්ත වුණු රෝගයක්.
විශේෂයෙන්ම නිව්මෝනියාව ඇති කරන්නේ නිව්මොකොකස් හා හිමොපිලස් කියන විශබීජ වර්ග දෙක. මේ විෂබීජ සාමාන්‍ය වාතයේ පවා තිබෙන්නට පුළුවන්. ඒ විෂබීජ වාතයට එකතු වෙන්නේ තවත් නිව්මෝනියා රෝගියෙකුගෙන්. නීරෝගි පුද්ගලයෙක් නිව්මෝනියා රෝගියෙක් ගැවසෙන පරිසරයේ සිට ආශ්වාස කිරීමේදී මේ විෂබීජ ශරීරගත වෙන්නට පුළුවන්. ඒ හැරුණාම ,
- පරපෝෂීන් මගින් වන ආසාදන
- රසායන ද්‍රව්‍යවලින් පෙනහළුවලට සිදුවන අනතුරු
- දුම්පානය මගින් නිව්මෝනියාව වැළදෙන්නට පුළුවන්.
නිව්මෝනියා රෝගයේ රෝග ලක්ෂණ
බැක්ටීරියාවක් හේතු කරගෙන නිව්මෝනියාව වැළදුණු විට ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ මතුවී රෝගී තත්ත්වයට පත්වුණත් වෛරස මගින් නිව්මෝනියාව වැළදුණු විට රෝග ලක්ෂණ පහළ වෙන්නේ ක්‍රම ක්‍රමයෙන්.
කැස්ස නිව්මෝනියා විෂබීජය ශරීරගත වුණොත් එය පිට කරන්නට කැස්සක් ඇතිවෙනවා.එය නිවුමෝනියා රෝගයේ මූලික ලක්ෂණයක්.මේ කැස්ස කොළ හෝ කහ පැහැති සෙම උත්පාදනය කරන කැස්සක්. ඇතැම් අයට කැස්ස සමඟ රුධිරය ද පිටවෙනවා. ඒ නිව්මෝනියා විෂබීජයෙන් පෙනහළු දුර්වලවෙලා පෙණහැල්ලේ පටක කැඩී යාමෙන් ඇතිවන තත්ත්වයක්.

- වෙව්ලීම සමඟ ඇතිවන තද උණ
- හෙම්බිරිසාව
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- හුස්ම ඉහළ පහළ ගැනීමේදී සහ කහින විට පපුවේ ඇතිවන පිහියකින් අනිනා මෙන් දැනෙන තදබල පපුවේ වේදනාව.
- ඇගපත වේදනාව
- හිසරදය
- අධික ලෙස දහදිය දැමීම
- සම සිසිල්වීම
- සම නිල් පැහැ වීම
- බඩේ කැක්කුම
- වමනය
කොවිඩ් නියුමෝනියාවේදි ඉහත සඳහන් කළ පොදු රෝග ලක්ෂණවලට අමතරව ආහාර රසය නොදැනීම, ගඳ සුවඳ නොදැනීම ආදී ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.
වයසක අයට මේ රෝග ලක්ෂණවලට අමතරව සිරුරේ සමබරතාවය ගිලිහීයාමෙන් වැටීම් ඇතිවීම, සිහි කල්පනාව වෙනස්වීම ආදිය සිදුවෙයි.
ළදරුවන්ට ඇතිවන නියුමෝනියා තත්ත්වයේදී පොදු රෝග ලක්ෂණ ඇතුළුව අධික නිදිමත ගතියකින් සහ ආහාර අරුචියෙන් පීඩා විදිනු ලබනවා.

ප්‍රතිකාර නියුමෝනියාව රෝගය විනිශ්චය කර ගැනීම සඳහා X කිරණ පරීක්ෂණ වගේම සෙම පටල පරීක්ෂාව සිදු කරනු ලබනවා. එයින් රෝගය හඳුනා ගැනීමෙන් පසුව ප්‍රතිකාර ලබාදෙන්නේ රෝගයට මුල් වුණු හේතුකාරකයට අනුවයි. බැක්ටීරියා මගින් ඇතිවන නියුමෝනියාවට ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය මගින්.
විශේෂයෙන්ම බහුතරයක් වූ නියුමෝනියා රෝගීන්ට රෝහල්ගත කිරීමෙන් තොරව ප්‍රතිකාර ලබාදෙනු ලබනවා. මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ප්‍රතිජීවක වර්ග ලබාදෙන අතර විවේකය දියර වර්ග ප්‍රමාණවත් පරිදි පානය කිරීමෙන් පූර්ණ සුවය ලබා ගන්නට හැකි වුණත් ඇතැම්විට ප්‍රතිකාරවලට රෝගියා ප්‍රතිචාර නොදැක්වීමත් සහ සංකූලතා ඇති වන්නේ නම් රෝගියා රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙනවා. නියුමෝනියාව නිසා හුස්ම ගැනීම අපහසු වූ රෝගීන්ට බාහිරව ඔක්සිජන් ලබාගැනීමට කටයුතු කරනවා.
නියුමෝනියාවෙන් වැළකීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග
- නිවසේ නියුමෝනියා රෝගියෙක් සිටී නම් ඔහු එදිනෙදා පරිහරණය කරන භාජන ඇදුම් පැලදුම් අනිත් මගෙන් වෙන්කර තබා ගත යුතුයි.රෝගියාගේ භාජන ඇදුම් ආදී දේවල් පිරිසිදු කිරීමෙන් පසුව පිරිසිදු කරන අය තම දෙඅත් හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුයි.
- නියුමෝනිය රෝගය සඳහා තුඩුදෙන රෝග තත්වයන් සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. (ඒඩ්ස් රෝගීන් )
- දුම්පානයෙන් වැළකීම
- දුම්පානය මගින් පෙනහළුවලට හානි පමුණුවන ලබනවා. ඒ නිසා දුම්පානයෙන් වැළකීම පෙනහළුවල නීරෝගීභාවවයට හේතුවන අතර සිගරැට් දුම මගින් නියුමෝනියාවට එරෙහිව සිරුරේ ඇති ස්වාභාවික ආරක්ෂක යාන්ත්‍රණයට බාධා ඇතිවීම එමගින් වළක්වා ගන්නට පුළුවන්.
- ගර්බනී මවකට දරු ප්‍රසූතියට පෙර අදාල ප්‍රතිජීවක ලබාදීම. එමගින් අලුත උපන් බිළිදුන්ට නියුමෝනියාව ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.
- ප්‍රසූති අවස්ථාවේදී දරුවාගේ මුඛය තුළ ඇති අපද්‍රව්‍යයන් චූෂණය කර ඉවත් කිරීම.
- එන්නත ලබාදීම