අවයව බොහොමයක් එකතුව සකස්ව තියෙන මේ මිනිස් දේහයේ පැවැත්ම ඒ ඒ පුද්ගලයා ගනු ලබන ආහාර පාන හා චර්යා රටාව ආදිය මත එකිනෙකාගෙන් එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසාම අපිට ඇතිවන රෝගයන් හඳුනා ගත හැකි ලක්ෂණයන් පවා එක් අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් වන්නට පුළුවන්. කොහොමවුණත් අපි සෑමකෙනෙක්ටම අපි කිසිවිටෙකත් සිතන්නේ නැති ආකාරයේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නට සිදුවන බව අපි හැමෝම දන්නවා. ඒ නිසා අපි ආශ්වාස කරන වාතයේ සිට සිරුරට තුළ කර ගන්නා සෑම දෙයක් ගැනම අපි නිරන්තරයෙන් වැඩි සැලකිල්ලක් දක්වනවා. මොකද අපි හැමෝම ලෙඩක් දුකක් නැතිව නීරෝගීව ජීවත් වෙන්නට කැමති නිසාවෙන්. නමුත් රෝග ඇතිවීම අපිට බොහෝදුරට වළක්වා ගන්නට හැකි වුණත් ඇතැම් රෝගයන් වළක්වා ගන්නටත් අපහසුයි. ඒ වගේම ශරීරයේ කාලයක් තිස්සේ පැවතීමෙන් ඒවා දරුණු තත්ත්වයක් කරා වර්ධනය වනතුරු අපිට හඳුනා ගන්නවත් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ ශරීරයේ ඇතිවන එක් පුංචි ලක්ෂණයක් වුණත් ඔබේ ශරීරයේ වැඩෙන දරුණු රෝගයක් පෙන්නුම් කරන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි හැමෝම සැලකිලිමත් වෙන්නට ඕන.
මොළය කියන්නේ අපේ ශරීරයේ තියෙන තවත් වැදගත්ම ඉන්ද්‍රියක් බව මා අමුතුවෙන් ඔබට කියන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා මොළයේ ක්‍රියාකාරිත්වයට ඉතා කුඩා හෝ හානියක් සිදු වුණත් එය මුළු ශරීරයටම හානිදායක විදියට බලපෑම් කරන්නට පුළුවන්.ඒ නිසා මොළයට ඇතිවන ලෙඩ රෝග ගැන අපිට අනික් රෝග ගැන වගේම අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම ඒවා ඇති කරන්නට බලපෑ හැකි හේතු පිළිබඳව, එයින් වැළකීමට හැකි ක්‍රමවේද පිළිබඳව වගේම එය කල්තියා හඳුනා ගන්නත් අප කළ යුතු ප්‍රතිකාර පිළිබඳවත් හොඳ අවබෝධයක් අප තුළ තිබිය යුතුයි. ඒ නිසාම අද අපි ඔබ සමඟ කතා කරන්නේ මොළය ලෙඩවීගෙන එන බව කල්තියා හඳුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් පිළිබඳවයි.
මොළය ආශ්‍රිතව ගෙඩි ඇතිවීම, පිළිකා ඇතිවීම වගේම මොළයට සිදු කරන රුධිර සැපයුමට හදිසියේ බාධාවීම නිසා ඇතිවන ආඝාතය තත්ත්වයන් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණ කර සමස්ත ශරීරයට දැඩි බලපෑමක් ඇති කරන්නට හේතුවෙන දරුණු රෝගයන්. විශේෂයෙන්ම ආඝාතය තත්ත්වයේදී මොළයේ ක්‍රියාකාරිත්වය මෙන්ම මතක ශක්තියත් අඩු වෙන්නට පුළුවන්. ඒවගේ අවස්ථාවලදී මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්නට හේතුවෙන චෙස් ඇදීම, දාම් ඇදීම, චිත්‍ර ඇදීම, වචන සෙවීම, ප්‍රහේලිකා විසඳීම ගායනය වගේම නිවසේ පොඩි වැඩ කටයුතුවල නිරත වෙන්නට පුළුවන්. එමගින් මොළයට සැහැල්ලුවක් ගෙන දෙනවා. හානිවූ කොටස් නැවත යථා තත්ත්වයට පත් වෙනවා. ඉතින් මොළය ලෙඩ වූ විට කායික ගැටළු මානසික ගැටළු වගේම ඇතැම්විට මරණය වුණත් ඇති වන්නට පුළුවන්.
ආඝාතය තත්ත්වයක් ඇතිවන බව හඳුනා ගත හැකි ලක්ෂණ

- ශරීරයේ සමබරතාවය නැතිවී යාම
- කතා කිරීමට නොහැකිවීම
- හිසේ කරකැවිලි ගතියක් ඇතිවීම
- කතා කිරීමේදී ඇතිවන පැටලිලි ස්වභාවය
- කට එක පැත්තකට යාම
- කන්වල ශබ්ද ඇතිවීම
- ඇසේ ගිනි පුපුරු පිටවෙන්නාක් මෙන් දැනීම
- ශරීර වර්ණය වෙනස් වීම
- වමනය
- තාවකාලික අන්ධභාවය
- ශරීරයේ එක් පැත්තක් පණ නැතිව යාම
- තද හිසරදය
- ඇවිදීමට අපහසුවීම
මේ රෝග ලක්ෂණ ඇතැම්විට ඇතිවී කෙටි කාලයක් තුළ නැතිවී යන්නට පුළුවන්. නමුත් එසේ වුවත් ඉක්මනින් රෝගීයා රෝහලක් වෙත රැගෙන යා යුතු වෙනවා.
මේ ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් ඒ සඳහා වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාරවලට යොමුවිය යුතුයි. එහිදී විශේෂයෙන් CT Scann පරීක්ෂණයක් සිදු කර මොළයේ අභ්‍යන්තරයේ ඇති රුධිර කැටිති පවා නිරීක්ෂණය කරගන්නට පුළුවන්. ඒ හැරුණාම ලේ ගැලීම ඇතිවීමෙන් පටක මියයාමක් හෝ මොළයේ ප්‍රදේශ මියයාමක් ආදී ආසාදන පවා මෙයින් හඳුනා ගන්නට පුළුවන්. අඩු විකිරණ ප්‍රමාණයක් යොදාගැනෙන නිසා ආබාධ ඇතිවෙන්නේ නැති තරම්. ඇතැම් අවස්ථාවක කලාතුරකින් අසාත්මිකතා ඇති වෙන්නට පුළුවන්. කොහොමනමුත් මොළය රෝගී වෙමින් පවතින එවැනි ලක්ෂණ නොසලකා හැරිය යුතු නොවන මතකයේ තබා ගන්න. විශේෂයෙන්ම ආඝාතයේ පළමු රෝග ලක්ෂණ ඇතිවී පැය 3 ඇතුළත ඔබ රෝහලකට ගියොත් රුධිරය කැටි ගැසීමට ලබාදෙන Thrombolytic යන ඖෂධය ලබා ගන්නට හැකියාව තියෙනවා.

ඒ හැරුණාම මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම්වල නිරතවීම, දුම්පානය මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමත්, තෙල් හා ලුණු අධිකව ආහාරයට ගැනීමෙන් වැළකීමත් , අලුත් එලවලු පලතුරු හා පලා වර්ග නිතර ආහාරයට එකතු කර ගැනීමත් අතිශයින්ම වැදගත්.
ඒ වගේම ශරීරයේ නිසි බර පවත්වාගෙන යාමත්, දිනපතා ව්‍යායාම් කිරීමත් අතිශයින්ම වැදගත් බව මතකයේ තබා ගන්න. ඒ අතරේ ශරීරයේ සීනි මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටමත් ක්‍රමානුකූල මට්ටමක් පවත්වා ගැනීමත් අතිශයින්ම වැදගත්.
සෑම රෝගයක්ම ඇතිවූ විට ප්‍රතිකාර කරනවාට වඩා එයින් ආරක්ෂාවීමයි වැදගත් වෙන්නේ. බොහෝ රෝගවලට අපේ අයහපත් ආහාර රටා හා චර්යා රටා වැඩි වශයෙන් බලපානවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් මේ රෝගය ඇතුළු බොහෝ රෝගවලින් ආරක්ෂා වී සිටින්නට හැකියාව ලැබෙනවා.