ජීවිතය පවා නැති කරන දරුණු ආසාත්මිකතා කල්තියා හඳුනා ගන්නා ආකාරය සහ එයට පිළියම්

health tips

 allergy එහෙමත් නැත්නම් ආසාත්මිකතා කියන්නේ ලොකු කුඩා භේදයකින් තොරව ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක ඇතිවෙන්නට පුළුවන් තත්ත්වයක්. ඉස්සෝ, දැල්ලෝ, රටකජු, කජු, ආමන්ඩ් ආදී නට්ස් වර්ග, බල මාළු , අන්නාසි, තක්කාලි, බිත්තර ආදී ආහාර ගැනීමෙන් පසු හෝ මල්වල පරාග තැවරීමෙන් පසු හෝ  එහෙමත් නැත්නම් විවිධ ඖෂධ (පෙනිසිලින්) හේතු කරගෙනත් මේ ආසාත්මිකතා ඇති වෙනවා. ඒ හැරුණාම  ලොම්, සුවඳ විලවුන්, මී මැස්සන්, කඩියන්, දළඹුවන් බඹරුන් ආදී කෘමි සතුන්  හේතු කරගෙනත් ආසාත්මිකතා ඇති වෙන්නට පුළුවන්.

 ආසාත්මිකතා නිසා පුද්ගලයන්ට ඇතිවන ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට  වෙනස් වෙනවා. නමුත් මේ allergy එහෙම නැත්නම් ආසාත්මිකතා ගණන් නොගෙන ඉන්නා එක ජීවිත අවදානමක් නිර්මාණය කරන්නට තරම් බරපතළ ගැටළුවක් නිසා ඒ පිළිබඳව අපි හැමෝම දැනුවත් විය යුතුයි. 

ආසාත්මිකතා ඇතිවීම සඳහා වැඩි අවදානම් සහිත පුද්ගලයන් 

මුලින් තීව්‍ර  ගණයේ අසාත්මිකතාවයන්ට මුහුණ දුන් පුද්ගලයන්

නිතර හතිය තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයන්

බරපතළ ආසාත්මිකතා පිළිබඳව පවුල් ඉතිහාසයක් ඇති පුද්ගලයන්

නිතර විවිධ ද්‍රව්‍ය සඳහා සුළු  ආසාත්මිකතා දක්වන පුද්ගලයන් 

 කුමන හේතුවක් පදනම් කරගෙන වුණත් ඇති වෙන්නට හැකි ආසාත්මිකතාවයක් රතු පැහැ බිබිලිවල සිට රුධිර පීඩනය පවා අඩුවන වන භයානක තත්ත්වයක් දක්වා වුණත් බරපතළ වෙන්නට පුළුවන්.  මෙය අපේ ශරීරයට ආගන්තුක යමක් එකතු වූ විට ඊට එරෙහිව අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධිකව ක්‍රියාත්මක වීම නිසා ඇතිවන අතුරු ප්‍රතිඵලයක්.

ආගන්තුක ද්‍රව්‍ය ශරීරයට හානියක් නොවන ආකාරයට ඉවත් කරන්නට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අනවශ්‍ය ආකාරයට ශරීරයට හානිකර වන පරිදි තදින් ක්‍රියා කිරීම හේතු කරගෙන  විවිධ වේදනාකාරී ලක්ෂණ මතු කරනවා. 

 ආසාත්මිකතාවයක දී ඇතිවිය හැකි ලක්ෂණ

සමේ කැසීම් 

දිව තොල් ආදියයේ  කැසීම්  සහ ඉදිමීම් 

වමනය

කිවිසුම් යාම 

කරකැවිල්ල

සම සුදුමැලි වීම

උගුර හිරවීම සහ ගිලීමේ අපහසුතාවය

නාඩි වැටීම ක්‍රමයෙන් අඩුවීම  වී වේගවත් වීම

බඩේ කැක්කුම

සමේ පළු ඇති වීම

පාචනය

හුස්ම හිරවීම

අසිහිය හා සිහි විසඥ වීම 

මේ අසාත්මිකතා රෝග ලක්ෂණ ඇති කිරීම සඳහා වැඩි වශයෙන්ම දායකත්වයක් දක්වන්නේ හිස්ටමීන්. මෙයින් ඇති කරන්න බලපෑම් ක්ෂණිකයි. හිස්ටමීන් මගින් රුධිර වාහිනී විස්තාරණය කරන නිසා බිත්ති ඇදීමකට ලක් වී රුධිර තරලය රුධිර වාහිනී බිත්තිවලින් පිටතට කාන්දු වීමක් සිදු වෙනවා. ඒ  වගේම ස්වාස නාලිකා අවහිර වීමක් ද දකින්න පුළුවන්.  තරල කාන්දු වීම හේතුකරගෙන නාසයෙන් දියර ගැලීම, උදරයේ වේදනාව, සමේ පලු ඇතිවීම ආදී ලක්ෂණ හට ගන්නවා. මේ තරලය කාන්දුවීම උත්සන්න වීම හේතු කරගෙන anaphylactic shock නම් කම්පන තත්ත්වය ඇති වෙන නිසා බොහෝ රෝගීන් මේ තත්ත්වය හේතු කරගෙන මිය යනවා. මෙහිදී මූලික වශයෙන් සිදු වෙන්නේ රුධිර නාලිකා ඉදිමීම සහ රුධිර පීඩනය පහත වැටීම. 

ආසාත්මිකතා පෙර හට නොගත්  පුද්ගලයෙකුට පවා මෙවැනි ආසාත්මිකතා ඇතිවෙන්නට  පුළුවන්. ඒ නිසා මේ ආසාත්මිකතාවයන් ගැන අපි හැමෝම  දැනුවත්ව සිටීමයි වැදගත්.

ආසාත්මිකතාවයකදී ඔබ පිලිපැදිය යුතු කරුණු

ආසාත්මිකතා රෝග ලක්ෂණ ඇති වූ විගසම පමා නොවී ඉතා  ඉක්මනින් ළඟම ඇති හදිසි වෛද්‍ය ප්‍රතිකාර අංශය වෙත රෝගියාව යොමු කරන්න. තත්පර ගණනාවක සිට විනාඩි කිහිපයක් ඇතුළත මේ තත්ත්වයන් තීව්‍ර වී මාරාන්තික විය හැකි බැවින් රෝග ලක්ෂණ දැනුණු විගසම රෝහල්ගත වන්නට කටයුතු කරන්න. 

තමාට ආසාත්මිකතාවක් ඇති බව සමීපතමයන්ට දන්වා සිටින්න.  

මෙවැනි අවස්ථාවකදී ඔබට සහාය වෙන්නට සහ ඔබව වෛද්‍යවරයෙකු කරා රැගෙන යන්නත්  ඔබේ ජීවිත අවදානම අඩුකරගන්නටත්  ඔබේ ආසාත්මිකතාවයන් පිළිබඳව සමීපතමයන් දැනුවත් කර සිටීම ඉතාම වැදගත්.

වෙනත්  රෝගී තත්ත්වයන් සඳහා  ඖෂධ ලබා ගන්නා විට ඔබේ ආසාත්මිකතාවයන් පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න.

 වෙනත් රෝග සඳහා ලබාදෙන ඖෂධ පවා බොහෝ වෙලාවට ආසාත්මිකතා ඇති කරන්නට පුළුවන්. ඒ  නිසා ඒ පිළිබඳව ඔබ වෛද්‍යවරයාව දැනුවත් කර තිබීම ඉතා වැදගත්.

ජීවන රටාව පිළිබඳව සැලකිලිමත් වෙන්න.

ඔබට ආසාත්මිකතා ඇති වෙන්නට හේතුවෙන ආහාර පාන ගැන ඔබ දැනුවත් වී ඒවායින් වැළකී සිටීමත්, නිවසෙන් පිටත දී ආහාර ගැනීම සීමා කිරීමත් වගේම සෞඛ්‍යාරක්ෂිත නොවන ස්ථානවලින් ආහාර ගැනීමෙන් වැළකී සිටීමත් ඉතාම වැදගත්.

 ඔබ දූවිලිවලට මල්වල පරාගවලට වගේම සතුන්ගේ ලෝමවලට ආසාත්මිකතා දක්වන අයෙක් නම් ඒවායින් ඈත් වී සිටීමටත් කටයුතු කරන්න. නිවසේ දූවිලි හොඳින් ඉවත් කර පිරිසිදුව තබාගන්න. ඒ වගේම නිවසේ මල් වගා කරන අයෙක් නම් ඔබට ආසාත්මිකතා ඇති වෙන්නට හේතු විය හැකි මල් වැවීමෙන් වළකින්න. 

ඔබ යම් අවස්ථාවක නිවසින් පිටතට යනවා ඔබේ ඖෂධ රැගෙන යන්න.

සරලව භාවිතා වෙන ඇන්ටිහිස්ටමින් වර්ගයේ ඖෂධ වෛද්‍ය නිර්දේශය මත ලබාගෙන ළඟ තබා ගන්න.

ඔබ සමීපයේ සිටින අයෙකුට මේ ආසාත්මිකතා ලක්ෂණ ඇති වූ වහාම ඔබ ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව දැනුවත්ව සිටින්න.

 රෝග කාරකයන් පුද්ගලයා සමීපයෙන් ඉවත් කරන්න.

 දෙපා මට්ටම මදක් ඉහලට වන පරිදි නිදන ඉරියව්වක  සතපවන්න.  

හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට සලස්වන්න.

 මේ සඳහා දිය හැකි ඖෂධ රෝගියා ළඟ තිබේ නම් ඒවා ලබා දෙන්න.

 හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න.

 ඕනෑම අවස්ථාවකදී ඕනෑම අයෙකුට ආසාත්මිකතා ඇති වෙන්නට හැකියාව ලැබෙන නිසා ඒ පිළිබඳව මූලික දැනුමක් ඔබ අපි හැමෝම ලබාගෙන සිටීම හරිම වැදගත්. එය තමාගේ වගේම තවත් අයෙකුගේ ජීවිතය අනතුරට පත්වීම වළක්වා ගන්නත් මහඟු උපකාරයක්.