දියවැඩියාව පාලනය කරන මාදං

health tips

දං ශාක විශේෂයේ අනු ශාක ප්‍රභේදයක් ලෙස මා දං හඳුනාගත හැකිය.  එනම් මෙම දං  ප්‍රභේදය අනෙකුත් දං වර්ගයන් වලට වඩා විශාලත්වයෙන් වැඩිවන අතර මා දං දෙවියන්ගෙ පලතුරු විශේෂයක් ලෙස ද සලකනු ලබයි. Myrtaceae උද්භිද කුලයට අයත් මා දං Sysygium cumini skeels නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර මාදං ඖෂධීය ගුණයෙන්ද අනූන පලතුරක් වේ. එනම් මා දං වල මල්, ගෙඩි, පොතු, කොළ හා ඇට ආදී සියල්ලක්ම පාහේ ඖෂධ ලෙස භාවිත කරයි. ආසියානු කලාපයේ මෙන්ම වර්තමානය වන විට අප්‍රිකාවේ පවා මාදං ශාකය ව්‍යාප්තව පවතී. ශ්‍රී ලංකාවේ ද වියලි කලාපය තුල ඉතා පහසුවෙන් මෙම ශාකය දැකගත හැකිය.

වසර සීයක් හෝ එකසිය පනහක් පමණ කාලයක් මෙම ශාකය නොනැසී පවතී. එමෙන්ම දැවමය වටිනාකම අතින් ඉහළ වේ. ක්‍රිෂ්ණ දෙවියන්ට ආවේණික ශාකයක් ලෙස හඳුනාගන්නා මාදං ශාකය අතීතයේ හින්දු දේවාල අසල පවා සිටුවා තිබුණි.

එමෙන්ම පැණි රසයෙන් සහ කහට රසයෙන් යුක්ත පලතුරක් වන මාදං  ආහාරයට ගත් විට මුඛය සහ දිව දම් පැහැයට හැරේ. එමෙන්ම ශාකයේ දළු කළු පැහැයෙන් යුක්ත වන අතර පත්‍ර මේරීමත් සමග ම දීප්තිමත් කොළ පැහැයට හැරේ. තවද සුදු පැහැති මල් හට ගන්නා මාදං ශාකය ගෙඩි හට ගන්නා කාලයේදී කොළ පැහැයෙන් යුක්ත වන අතර ඒවා ඉදුණු පසු කළු පැහැයට හුරු දම් පැහැයෙන් යුක්ත වේ.

පෝෂණීය ගුණයෙන් අනූන මාදං වල පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්තර්ගත වේ. එනම් ප්‍රෝටීන්, කැලරි, තන්තු, මේදය, කැල්සියම්, කාබෝහයිඩ්‍රේට්, විටමින් සී, විටමින් ඒ, තයමින්, නියැසීන්, රයිබොප්ලෙවින්, යකඩ, පැන්තොතෙනික් අම්ලය, මැග්නීසියම්, පොස්පරස්, සෝඩියම් ආදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රධානවේ.ඉහත දක්වා ඇති ආකාරයේ පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්තර්ගත වන නිසාවෙන් ශරීරයේ ඇතිවන ලෙඩ රෝග සඳහා ද ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස මාදං භාවිතා කරයි.

මාදං වල ඖෂධීය භාවිතයන්

ආහාර ජීර්ණය පහසු කරයි.ආහාර ජීරණය කිරිම පහසුකිරීමේ සුවිශේෂී හැකියාවක් මාදං සතුව පවතී. එයට හේතුව මාදං වල පවතින තන්තු සහිත ස්වභාවයයි. එමෙන්ම ආහාර අරුචිය නැති කිරීමටත්, පණු රෝග සුව කිරීමටත්, පාචනය සුව කිරීමටත්, අක්මාව නිරෝගී කිරීමටත් මා දං භාවිතය ඉතා යෝග්‍ය වේ.

දියවැඩියාව පාලනය කරයි.මාදං වල පවතින කහට සහිත ස්වභාවය මගින් රුධිරගත සීනි මට්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වී ඇත්නම් එය පාලනය කිරීම සිදු කර ගත හැකිය. විශේෂයෙන් මෙහිදී මාදං ගෙඩි තම්බා එම යුෂ පානය කිරීමෙන් රුධිරයේ සහ මුත්‍රාවල පවතින අහිතකර සීනි මට්ටම පාලනය කරගත හැකිය.

තුවාල සුව කරයි.ශරීරයේ තුවාලයක් ඇති වූ විට එය සුවකර ගැනීම සඳහා  මාදං වඩාත් යෝග්‍ය වේ. මෙහිදී මාදං පොතු ගෙන හොඳින් කුඩුකර එම කුඩු තුවාලවල ආලේප කිරීමෙන් ඉතා ඉක්මනින් එම තුවාල සුවපත් කරගත හැකිය.

ශරීර දාහය දුරු කරයි.උෂ්ණත්වය වැඩිවීම නිසා හෝ වෙන යම් හේතුවක් මත ශරීරයේ ඇතිවන දැවිල්ල දුරු කිරීම සඳහා මාදං වඩාත් යෝග්‍ය වේ. එනම් මාදං යුෂ වලට තල තෙල් මිශ්‍ර කර එම ආලේපනය ශරීරයේ ආලේප කර තිබීමෙන් ශරීරයේ ඇතිවන දාහය දුරු කරගත හැකිය.

තවද හිසෙහි කැක්කුම හා උණ රෝගී තත්වයන් ඇති වූ විට ඉහත මිශ්‍රණය කපු රෙදි කැබැල්ලක පොඟවා එය පැලැස්තරයක් ආකාරයට නළලේ අතුරා තැබීමෙන් සුවයක් සලසා ගත හැකිය.

මුඛ රෝග සුව කරයි.මුඛයේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් සඳහා මාදං ප්‍රත්‍යක්ෂ ඔසුවකි. ඒ අනුව මුඛයේ ඇති වන උෂ්ණ බිබිලි, විදුරුමස් දියවීම, උගුරේ ආසාදන, සෙම් රෝග සුවපත් කිරීම සඳහා මා දං යෝග්‍ය වේ. මේ සඳහා මාදං පොතු තැම්බූ ජලයෙන් මුඛය සෝදා හැරීම සුදුසු වේ. මෙමගින් නිරෝගී දීප්තිමත් මෙන්ම ශක්තිමත් දත් දෙපළක් ද ලබාගත හැකිය.

වමනය නවතාලයි.වමනය රෝගී තත්ත්වය ඇතිවූවිට මාදං භාවිතාකොට එය සුවපත් කරගත හැකිය. ඒ කෙසේද යත් මාදං දළු ගෙන හොඳින් තම්බා එම යුෂ මී පැනි සමග පානය කිරීම මගින් වමනය නවතා ගත හැකිය.

රක්තවාත රෝගය සඳහා යෝග්‍ය වේ.රක්තවාතය රෝගයෙන් පීඩාවිඳින පුද්ගලයින් සඳහා මාදං කොළ කොටා යුෂ  වෙන්කර පානය කිරීමට ලබා දීමෙන් රක්තවාත රෝගය සඳහා සහනයක් ලබාගත හැකිය.

මුත්‍රා රෝග සුව කරයි.විශේෂයෙන් මෙහිදී මුත්‍රා දැවිල්ල, නිතර නිතර මුත්‍රා පිටවීම හා මුත්‍රා අඩස්සිය වැනි රෝගී තත්ත්වයන් සඳහා මාදං වඩාත් යෝග්‍ය වේ.

ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කරයි.මිනිස් ශරීරයේ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්තනය වන විට ඊට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව මාදං සතුව පවතී. විශේෂයෙන් මෙහිදී බැක්ටීරියාවන් විනාශ කිරීම සිදුවේ. ඒ අනුව විසබීජ විනාශ කිරීමේ හැකියාව මාදං වලට පවතී.

මා දං ශරීරයට ගුණ දෙන අතරම ඇතැම්විට ශරීරයට අහිතකර අවස්ථාද නැතුවාම නොවේ. ඒ අනුව දියවඩියා රෝගීන් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර ලබා ගන්නා අතර තුර මාදං ආහාරයට ගැනීම සුදුසු නොවේ. තව ද බඩේ අමාරු පවතින පුද්ගලයින්ට ද මාදං අහාරයට ගැනිම සුදුසු නොවේ. ඒ හැරුණු විට අනෙකුත් රෝග වලට මාදං යනු ගුණදායක ඖෂධීය පලතුරකි.