ඔබේ සිරුර ලෙඩවී ගෙන එන බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 6 ක්

health tips

ඔබේ සිරුරේ මතුවන මෙවැනි ලක්ෂණ ඔබ යම් සෞඛ්‍ය ගැටලුවකින් පෙළෙමින් සිටින බව සංඥා කරනවා විය හැකියි. එවැනි ලක්ෂණ නොසලකා හැරීම කිසිසේත්ම සුදුසු නොවන්නේ ඒ නිසයි. කලක පටන් ඔබත් මෙවැනි ලක්ෂණ අත්දකිමින් සිටින්නේ නම්, වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට කටයුතු කිරීම වඩාත් නුවණට හුරුවේවි.ඒ හරහා බරපතල සෞඛ්‍ය පීඩා ඇතිවීමේ අවදානම අවම කරගැනීමට ඔබට හැකි වනු ඇත.

දිව සුදුමැලි වීම-සාමාන්‍යයෙන් දිව රතු පැහැයට හුරුය. එහෙත් ඔබේ දිව අධිකව සුදුමැලි වී ඇත්නම් ඇතැම් විට ඊට හේතුව ඔබ යම් ඌනතාවකින් පෙළීම විය හැකියි.ඇතැම් විට ඔබේ සිරුරේ රතු රුධිර සෛල මට්ටම ඉතා අඩු වීම ඊට හේතුවී තිබිය හැකියි.සිරුරේ රතු රුධිරාණු මට්ටම් අඩුවීම දිවේ පැහැය වෙනස්වීමක් හරහා ද සංඥා කළ හැකියි.දිවේ සුදුමැලි බවට අමතරව කාර්යබහුල දවස අවසානයේ ඔබට අධික මහන්සියක් හා තෙහෙට්‍ටුකර ගතියක් සිරුරට දැනෙයි.මීට ප්‍රධාන වශයෙන් හේතුවිය හැක්කේ යකඩ හා විටමින් B12 ඌනතාවයි.

සිරුරට අවශ්‍ය යකඩ සහ විටමින් B12 පෝෂණය ලබාගැනීමට ස්වභාවික ආහාර පාන උදවුවේ.නිවිති,කොළ ගෝවා,සැල්දිරි,සලාද වැනි කොළ පැහැති පත්‍ර සහිත එළවළු වර්ග, බීට් රූට්, දෙළුම්,මාලු,බිත්තර,ධාන්‍ය වර්ග වැනි ආහාර ඊට උදාහරණ කිහිපයකි.විටමින් C බහුල ආහාර සමඟ මේවා ගැනීමෙන් මෙම පෝෂක (විශේෂයෙන් යකඩ) සිරුරට හොඳින් අවශෝෂණය වීමට උපකාරි වෙයි.උදාහරණයක් ලෙස, මදක් තැම්බූ බීට් රූට් කැබලි 4-5ක් පමණ බ්ලෙන්ඩරයට දමන්න. ඊට වතුර වීදුරුවක් සහ විටමින් C බහුල ලෙමන් ගෙඩි බාගයක යුෂ එක්කරන්න. හොඳින් මිශ්‍ර කර පානය කරන්න. මෙම පානය හිමොග්ලොබින් ඌනතාව දුරුවීමට ගුණදායකයි.

*දිවේ සුදු මැලියම් බැඳී ඇත්නම්, ඉන් ඔබේ ආමාශයේ ගැටලු අපහසුතා ඇති බව (මලබද්ධය,වස විස ද්‍රව්‍ය අධික බව,මලපහ බැහැර වීම ක්‍රමවත්ව සිදුනොවීම වැනි) ඉඟි කරයි.එනම් ජීර්ණ පද්ධතියේ විෂ අධික බවයි.

විදුරුමස් වලින් ලේ ගැලීම-දත් මදින විට විදුරුමසින් ලේ ගලයි නම්, ඇතැම් විට එය විටමින් C ඌනතාවේ බලපෑමක් වන්නට පුළුවනි.දොඩම්,ලෙමන්, දෙහි වැනි පැඟිරි පලතුරු,නෙල්ලි, ස්ටෝබෙරි වැනි බෙරි වර්ග, අඹ, අන්නාසි,බෙල්පෙපර් , සීනි එක්නොකළ පලතුරු යුෂ වැනි ආහාර වර්ග පරිභෝජනයට ගන්න.

නිතරම සිරුරේ තැනින් තැන මාංශ පේශී කැක්කුම් හටගැනීම-බොහෝ විට කෙණ්ඩා පෙරළීම් වැනි තත්වයන් ඇතිවීම, කොන්ද,උරහිස්,බාහු හෝ සිරුරේ වෙනත් ස්ථාන වල වේදනාකාරී ලෙස මස් පිඬු පෙරළීම් ඇතිවෙයි.සිරුරේ මෙවැනි පේශී කැක්කුම් හටගැනීමට හේතුව කැල්සියම්,මැග්නීසියම් හා පොටෑසියම් වැනි ඛනිජ ලවණ ඌනතායි.මෙම පෝෂක බහුල ආහාර පාන පරිභෝජනයට ගැනීම මෙවැනි අපහසුතා වර්ධනය වීම වළක්වාගැනීමට සහය වෙයි. ආමන්ඩ්,වොල්නට් වැනි නට් වර්ග,කිරි,යෝගට් වැනි කිරි නිෂ්පාදන වර්ග,හණ ඇට,වට්ටක්කා ඇට ආදි ඇට වර්ග,කෙසෙල්,අලිපේර ඇතුළු පලතුරු වර්ග,මාලු ඊට උදාහරණයි.ඇට වර්ග ගන්නා විට අවම පැය 6ක් පමණ පෙ‍ඟෙන්නට තබා ආහාරයට ගැනීම වඩාත් ගුණදායකයි.මේවා උදෑසන කාලයේ හෝ අතුරුආහාරයක් (ස්නැක් එකක්) ලෙස ආහාරයට එක්කරගන්න ඔබට පුළුවන්.

මලපහ වල අධික දුර්ගන්ධය-මෙම තත්වය ඇතිවන්නේ ආහාර වලින් නිසි ලෙස සිරුරට පෝෂක අවශෝෂණය නොවූ විටයි.එනම් අසම්පූර්ණ අවශෝෂණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසයි.ආහාර ගන්නා විට කරන වැරදි,හොඳින් ආහාර සැපීමෙන් තොරව ගිලීම,වේගයෙන් ආහාර ගැනීම, හොඳ අවධානයකින් තොරව ආහාර පාන ගැනීම,ආහාර ගනිද්දී අධිකව වතුර පානය කිරීම වැනි හේතු බලපෑ හැකියි.ඔබේ මේ ගැටලුවට හේතුව සොයාගත යුත්තේ ඔබයි.මත්පැන් පානය වැනි අහිතකර පුරුදු අවම කරන්න.තන්තු බහුල ආහාර ලබාගන්න. කැල්සියම් අවශෝෂණය වීමට විටමින් D බහුල ආහාර පාන ද පරිභෝජනයට එක්කරගන්න. යකඩ වැනි පෝෂක අවශෝෂණය පහසු වීමට විටමින් C බහුල ආහාර පාන එක්කරගන්න.

මලපහ වල අධික දුර්ගන්ධයට තවත් හේතුවක් වන්නේ බඩවැල් තුළ අධික ප්‍රදාහය ඇතිවීම හෝ යම් ආසාදනයකට ලක්වී තිබීම විය හැකියි.මෙම ලක්ෂණයට අමතරව  ඔබ සියුම් උණ තත්වයකින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. තන්තු සහ ප්‍රෝබයෝටික් බහුල මුදවපු කිරි, යෝගට් වැනි ආහාර පරිභෝජනය කරන්න. ඒවා ජීර්ණයට දායක වන බඩවැල් බැක්ටීරියා නීරෝගී වීමට දායක වේ. ඒ හරහා ජීර්ණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරයි.පැපොල් වැනි පලතුරු සංකීර්ණ පෝෂක සංඝටක ජීර්ණය කිරීම පහසු පරිදි බිඳ දැමීම සිදුකරයි.කෙසෙල් සහ අඹ ද ජීර්ණ ක්‍රියාවලිය වඩවන හොඳ පලතුරු වේ. දිනපතා වතුර ලීටර් 1.5-2 පමණ ප්‍රමාණයක් පානය කිරීම ද හොඳ සෞඛ්‍ය පුරුද්දකි.

අධික ලෙස හිසකෙස් ගැලවීයාම-අධික ලෙස හිසකෙස් ගැලවී යාම, එසේත් නැතිනම් අහුරු පිටින් හිසකෙස් ගැලවීයාම ප්‍රෝටීන්, යකඩ, සින්ක් හා විටමින් D වැනි පෝෂක ඌනතාවන් හි ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි.අධික ආතතිය ද අධික ලෙස හිසකෙස් හැලීයාමට බලපාන හේතුවක්.හිස්කබලට බාහිරව මෙන්ම අභ්‍යන්තරයෙන් ද හොඳ පෝෂණයක් ලබාදීමට ඔබ සැලකිලිමත් වීම වැදගත්.පියලි ආහාර,කඩල,කවුපි ,මුං ඇට වැනි ධාන්‍ය,නැවුම් එළවළු, පලතුරු ආහාරයට එක්කරගන්න. ප්‍රෝටීන් බහුල ආහාර කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්න.

මුඛ වණ -කටේ තුවාල දැමීම ,උෂ්ණ බිබිලි මතුවීමට හේතුව විටමින් B12 ඇතුළු විටමින් B සංකීර්ණයේ පෝෂණ ඌනතාවක් නිසා විය හැකියි. සිරුරේ උෂ්ණය අධික වීම ද මීට හේතුවෙයි.ආහාර ජීර්ණයේ ඇති ඇතැම් ගැටලු නිසා ද කටේ තුවාල හටගත හැකියි.ධාන්‍ය වර්ග,කෙසෙල්,පැපොල් වැනි පලතුරු වර්ග දිනපතා ආහාරයට එක්කරගන්න. රාත්‍රී නින්දට පෙර උණුසුම් කිරි වීදුරුවක් පානය කරන්න. ඇඟ සිසිල් කරවන පිපිඤ්ඤා, සැල්දිරි,කොමඩු වැනි ආහාර පරිභෝජනය කරන්න.හොඳින් වතුර පානය කරන්න.