කුඩා දරුවන් හරිම ආසාවෙන් ආහාරයට ගන්නා වැඩිහිටි උදවියත් එපා නොකියන සියඹලා විටෙක පලතුරක්. විටෙක ඔසුවක්. විටෙක කුළු බඩුවක්. ගම්බද ජීවත් වෙන අයට නම් මේ සියඹලා කරල් විතරක් නෙවෙයි කොළ සහ මල් පවා ආහාරයට එකතු කර ගන්නට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි සියඹලා ශාකය රෝග බොහොමයකටම ප්‍රතිකාර සඳහා පවා භාවිතයට ගැනෙනවා. ඉන්දියානු ජනතාව ප්‍රධාන වශයෙන් ආහාරවලට එකතු කර ගන්නා කුළු බඩුවක් වෙන සියඹලා ලාංකීය අපේ ආහාර සංස්කෘතිය තුළත් වැදගත් ස්ථානයක් හිමි කරගන්නවා. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ මේ සියඹලා සතු අපූරු ගුණ පිළිබඳව.
අපේ රටේ බොහෝ ප්‍රදේශවල දකින්නට ලැබෙන සියඹලා ශාකය විශාල ලෙස පැතිරී වැඩෙන ශාකයක්. සෑම වර්ෂයකම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී අස්වැන්න නෙලා ගන්නට හැකියාව තියෙන සියඹලා කරල්, පත්‍ර වගේම මල් පවා ඇඹුල් රසයෙන් සමන්විතයි. සියඹලා කරල් බාගෙට ඉදුණු පසු සහ හොඳින් ඉදුණු පසුව පලතුරක් ලෙස ආහාරයට ගන්නවා. ඉදුණු සියඹලා හොඳින් වියළා ලුණු එකතු කර වසර කිහිපයක් වුණත් තබා ගන්නටත් පුළුවන්. පැරණි වීමත් සමඟ මේවායේ ගුණය ඉහළ යන බව තමයි පැවසෙන්නේ.
ඉදුණු සියඹලා වතුර හා සීනි එකතු කර පානය කිරීම මගින් උදරයේ රෝග බොහොමයක් සුවකර ගන්නට හැකියාව තියෙනවා. සියඹලා පානය විරේචනය ගුණයෙන් ද සමන්විත වෙනවා. සියඹලා කරල් පමණක් නොවෙයි සියඹලා දළු සම්බෝලය සහ මල් ඉතා රසවත් වගේම ගුණයෙන් ඉහළ ආහාරයන්. ඒ හැරුණාම අඹරාගත් කොළ තැලුම් ඉදිමුම් ආදිය සුවකර ගන්නට ඖෂධයක් ලෙසත් භාවිතයට ගැනෙනවා. අමු කහ සමඟ සියඹලා කොළ තම්බා ගත් ජලය දද කුෂ්ඨ සේදීමට භාවිතා කරනු ලබනවා. සියඹලා මල් සහ දළු දලු අතීසාරයට ව්‍යංජනයක් ලෙස ආහාරයට ගනු ලබනවා. සියඹලා බීජ සන්ධිගත ආබාධ සඳහා ප්‍රතිකාරවලදී භාවිතා කෙරෙනවා. ඒ වගේමයි සියඹලා කරලේ පොතු පවා ඖෂධීය ගුණයෙන් සමන්විතයි.
සියඹලාවල ටාටරික් අම්ලය, සිට්ට්‍රික් අම්ලය, මැලික් සහ ඇසිටික් අම්ලය, පොටෑසියම් ටාටරික් මැලියම් සහ පෙජ්ටීන් ආදී සංඝටක අන්තර්ගත වෙනවා. ඒ වගේම සියඹලා බොරවල කාබෝහයිඩ්රේට් කැල්සියම්, යකඩ, කැරොටීන්, රයිබොෆ්ලෙවින්, නියසින් විටමින් C ආදියත් අඩංගු වෙනවා. සියඹලා බොරවල සීනි 25% සිට 40% ක තරම් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. අද වෙද්දි ලොකු කුඩා හැමෝම අතර ජනප්‍රිය සියඹලා භාවිතයෙන් සියඹලා ටොෆි , ජෑම් වගේම සියඹලා ජූස් පවා නිෂ්පාදනය කෙරෙනවා.
සියඹලා ආහාරයට ගැනීමෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ

- හදවත් රෝග නසා හදවත නීරෝගී කරනවා.
- පිපාසය සන්සිදවනවා.
- අතීසාරය සමනය කරනවා.
- ආමාශය සහ අන්ත්‍රවලට ගුණදෙනවා.
- වකුගඩු රෝගවලින් ආරක්ෂාව සලසනවා.
- දේහයේ දැවිලි ගතිය දුරු කරනවා.
- කොලෙස්ටරෝල් පාලනය කරනවා.
- ආහාර රුචිය වඩවනවා.
ජලයේ දියකරගත් ඉදුණු සියඹලා බොර පෙරා එයට සීනි, ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කපුරු, කුරුඳු පොතු ආදියේ චූර්ණය මිශ්‍රකර පානය කිරීම සුදුසුයි.
- ලේ අර්ශස් රෝගය සඳහා ගුණදායක වෙනවා.මේ සඳහා මිරිකා ගත් සියඹලා මල් යුෂ පානය සඳහා ලබා දෙනවා.
- මධ්‍යාසාර විෂ හා අත්තන විෂ සමනය සඳහා සුදුසු වෙනවා.
- මහා අන්ත්‍රයේ පිළිකා ඇතිවීමේ අවදානම අවම කරනවා.
- ආහාර ජීර්ණය පහසු කරනවා.
- කහ උණ සඳහා ගුණදායකයි.
- මුඛයේ ඇතිවන තුවාල හා උගුරේ ආසාදන සමනය කර ගැනීමට උපකාරී වෙනවා.
- දියවැඩියා රෝගයට ගුණදායකයි.
- රුධිරය පිරිසිදු කරනවා.
- දරුවන්ගේ පණු රෝග නසනවා.
සියඹලා පානය ගැනීමෙන්
- උදරයේ පිපුම සමනය කරනවා.
- මල බුරුල් කරන හෙයින් මලබද්ධය දුරු කරනවා.
- මුත්‍රා දැවිල්ල සුව කරනවා.
- බඩේ අජීර්ණය සුව කරනවා.
- මේදයෙන් පීඩනයට පත් රුධිර නාල පිරිසිදු කරනවා.
සියඹලා ආනම
අවශ්‍ය ද්‍රව්‍ය
- සියඹලා ග්‍රෑම් 150
- පොල්කිරි අඩු කෝප්ප 2
- කොත්තමල්ලි
- සූදුරු
- මාදුරු
- ගම්මිරිස් ඇට
- කබලේ බැද කුඩුකරගත් තිප්පිලි කුඩු ස්වල්පයක්
- කුරුඳු පොතු කෑල්ලක්
- උළුහාල්
- කරපිංචා
- සිහින්ව ලියාගත් සුදු ළූණු ,රතු ළූනු
සාදා ගන්නා ආකාරය

- සෝදාගත් ඉදුණු සියඹලාවල ඇට ඉවත් කරගන්න.
- සූදුරු සහ මහදුරු කොත්තමල්ලි යන සියල්ල හොඳින් අඹරා ගන්න.
සියඹලා මදවලට මේ සියල්ල එකතු අර පොල් කිරි දමා මිශ්‍රකර උකු පදමට එනතුරු පිස ගන්න. වකුගඩු රෝගවලින් ආරක්ෂා වෙන්නට විශේෂයෙන් ගුණදායක මේ සියඹලා ආනම සතියකට දෙතුන් වරක් ආහාරයට ගැනීම ලෙඩ රෝග බොහොමයකට ගුණදායක වෙනවා.
ඉතින් සියඹලා ශාකයේ විස්මිත ගුණ දන්නා එදා ගැමි ජනතාව වගේම අද වැඩිහිටි උදවියත් ආහාර පිසීමේදී සියඹලා කුළු බඩුවක් විදියට භාවිතයට ගන්නවා. විශේෂයෙන්ම, තැම්බුම් හොද්ද, කිරි හොද්ද මස් හොද්ද සඳහා සියඹලා එකතු කරන්නට ඔවුන් අමතක කරන්නේ නැහැ. නිවසේ දෙහි ගෙඩියක් නැති අවස්ථාවේ කල්තියා ගැනීමට සකස් කර ඇති සියඹලා බික්වලින් කිහිපයක් පොල් සම්බෝලය රස කර ගන්නත්, මුං ඇට, කවුපි, කොල්ලු ඇට ආනම ආදියටත් සියඹලා එකතු කරන්නට ඔවුන් අමතක කරන්නේ නැහැ. ඒ නිසා කෘතීම රස කාරක වෙනුවට සියඹලා වැනි ගුණයෙන් ඉහළ ස්වභාවික කුළු බඩු ආහාර සකසා ගැනීමේදී භාවිතා කිරීම සුවැති දිවියකට ඔබට මගපෙන්වාවි නිසැකයෙන්ම.