ශරීර ගත විෂ නස සියඹලා සතු රෝග සුව කිරීමේ ගුණ 8 ක්

health tips

බාල මහළු සෑම සියලු දෙනාම පාහේ වඩාත් කැමැත්තකින් ආහාරයට ගනු ලබන ඖෂධීය පලතුරක් ලෙස සියඹලා හැඳින්විය හැකිය. එනම් Fabaceae උද්භිද කුලයට අයත් Tamarindus indica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සියඹලා ඈත අතීතයේ සිටම මිනිස් ශරීරයේ බොහෝ රෝගවලට ගුණ දෙන ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ.

සියඹලා පළමුවරට භාවිතා කොට ඇත්තේ ග්‍රීක හා මිසර වැසියන්ය. එනම් ඒ ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවස හා 5 වැනි සියවස් තුළය. සියඹලාවල විද්‍යාත්මක නාමයට indica යන කොටස එකතු වී ඇති හෙයින් බොහෝ විද්වතුන් පවසන්නේ ඈත අතීතයේ සිටම ඉන්දියාව තුලද සියඹලා භාවිතා කර ඇති බවයි. ප්‍රමාණයෙන් අඩි අසූවක් පමණ උසට වැඩෙන සියඹලා ශාකය අතු බෙදෙමින් වැඩෙන ශාකයකි. සියඹලා ශාකයේ පොතු ,කොළ ,මල් ,කරල්, ඇට යනාදී සියල්ලම ඖෂධ ලෙස භාවිතා කළ හැකිය. එනම් මෙම ශාකයේ මල් කහ පැහැති මල් වන අතර බීජ අක්‍රමවත්  වකයක් තුළ කරලක් ලෙස පිහිටා තිබේ. අමු කරල කොළ පැහැති වන අතර ඉදුණු පසු දුඹුරු පැහැයක් ගනී. එම දුඹුරු පැහැති මාංසල කොටස පළතුරක් ලෙස ආහාරයට ගත හැකි අතර එහි බීජ දෙකක් තුනක් හෝ ඊට වඩා අඩංගුවේ.

අමු කරල් ඇඹුල් රසයෙන් යුතු වන අතර ඉදුණු කරල් ඇඹුල් රස මිශ්‍ර පැණි රසින් යුක්තවේ. ඈත අතීතයේ පටන් සියඹලා මල් ව්‍යංජනයක් ලෙස සකස් කර භාවිතා කර ඇති අතර සියඹලා අමුවෙන් හෝ ඉදුණු පසු පලතුරක් ලෙස හෝ කුළුබඩුවක් ලෙස බහුලව භාවිතා කරනු ලැබේ.

එනම් බොහෝ දෙනකු නොදන්නවා වුවද සියඹලාවල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් විටමින් සී,  තන්තු, සීනි,ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, පොටෑසියම්, ෆෝලේට්, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ,කැල්සියම් ,ටාටරික් අම්ලය, සිට්‍රික් අම්ලය, මැලික් අම්ලය, ඇසිටික් අම්ලය,  හා පෙක්ටීන්, ඇල්බියුමිනොයිඩ්ස් හා මේද පදාර්ථ, මැලියම් සියඹලා තුළ අඩංගුන පෝෂ්‍ය පදාර්ථවේ.  මේ නිසා සියඹලා ආහාරයට ගැනීම මගින් බොහෝ ලෙඩ රෝග සුව කර ගත හැකිය.
සියඹලා වල ඖෂධීය ගුණ

ශරීර ගත විෂ නසයි.ශරීරගත විෂ නැසීම සඳහා ගුණදායක ඖෂධයක් ලෙස සියඹලා හැඳින්විය හැකිය.එනම් ආයුර්වේදය තුළ ශරීරගත විෂ නැසීමේ දී ශරීරයට ප්‍රති විසක් ලෙස සියඹලා යුෂ භාවිතය ගුණදායක බව සඳහන්වේ. එනම් කෘමි සතුන් දෂ්ට කළ විට එම විෂ ඉවත් කර ගැනීමට සියඹලා ඇට චූර්ණය භාවිත කරයි. ඊට අමතරව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්ගේ ශරීරයේ ඇතිවන විෂ  නැසීමේ හැකියාවද සියඹලා සතුවේ.

පිළිකා ඇතිවීම වළක්වයි.වර්තමානය වන විට ළමා ,තරුණ  වැඩිහිටි ගැහැනු පිරිමි යන ආදි වශයෙන් කිසිදු භේදයක් නොමැතිව මාරාන්තික පිළිකා රෝගය බොහෝ දෙනෙකුට වැළදී තිබේ. එනම් මෙම පිළිකා රෝග ඇති වීමට බොහෝ සේ බලපානු ලබන්නේ අප ගනු ලබන ආහාර වර්ගයි. එනම් ක්ෂණික ආහාර, රසකාරක, ආදියයි. එමෙන්ම මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට  ගත හැකි ආහාර වර්ග බොහෝය. ඒ අතර පලතුරක් වශයෙන් සියඹලා ආහාරයට ගැනීම පිළිකා රෝගීන්ට ගුණදායකය. එනම් නිතර සියඹලා ආහාරයට ගැනීමෙන් එහි අඩංගු මෙද සහ රසායනික සංයෝග, විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල  විනාශකර පිළිකා ඇති වීම වළක්වනු ලබයි.

මුත්‍රා දැවිල්ල සමනය කරයි.බොහෝ දෙනෙකුට ඇතිවන මුත්‍රා දැවිල්ල සමනය කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස සියඹලා හැඳින්විය හැකිය. එනම් මේ සඳහා සියඹලා පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම ගුණදායකය.

මුඛය හා උගුර ආශ්‍රිත ඇතිවන රෝග සමනය කරයි. එනම් මුඛය ආශ්‍රිතව ඇතිවන තුවාල හා උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාවන් වැනි රෝග තත්ත්වයන් සුව කර ගැනීම සඳහා සියඹලා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් ඒ සඳහා සියඹලා ඉදුණු කරලක් ගෙන ජලයේ දියකර එම වතුරෙන් උගුර සහ කට සේදීම ගුණදායකය.

ආතරයිටිස් හේතුවෙන් ඇතිවන රෝග සංකූලතා සමනය කරයි.වයස්ගතවීමත් සමඟ හෝ අධික ස්ථුලතාවය මත ඇතිවන ආතරයිටීස් රෝගය හේතුවෙන් ඇතිවන අත් පා ඉදිමීම සන්ධි හා අස්ථි ඉදිමුම සමනය කිරීම සඳහා ගුණදායක ඖෂධයක් ලෙස සියඹලා හැඳින්විය හැකිය. එනම් මේ සඳහා සියඹලා කොළ ගෙන හොඳින් කොටා එම යුෂ ගෙන ඉදමුම් ස්ථානවල ආලේප කිරීම මගින් එම රෝග සංකූලතා සමනය කරගත හැකිය.

මලබද්දය සමනය කරයි.වයස් භේදයකින් තොරව ඇතිවන මල වේලීම හෙවත් මලපිට කිරීමට අපහසුවීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා ගුණදායක ඖෂධයක් ලෙස සියඹලා හැඳින්විය හැකිය. එනම් සියඹලා පානයක් ලෙස හෝ සියඹලා කරල් ලෙස ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලබද්ධය ඇති වීම වළක්වනු ලබයි.

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින තවත් එක් පීඩාකාරී රෝගයක් ලෙස දියවැඩියාව හැඳින්විය හැකිය. එනම් දියවැඩියාව පාලනය කරගැනීම සදහා ආහාරයට ගත යුතු පලතුරක් ලෙස සියඹලා හැඳින්විය හැකිය. එනම් සියඹලා ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සිදුකර දියවැඩියාව ඇතිවීම පාලනය කරනු ලැබේ.

පිළිස්සුම් තුවාල සමනය කරයි.හදිසියේ ඇතිවන පිළිස්සුම් තුවාල ඉක්මනින් සුව කරගැනීම සඳහා සියඹලා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා සියඹලා බීජ කුඩු කර එම ස්ථානවල ආලේප කිරීම යෝග්‍යවේ.

  • අර්ශස් රෝගයට
  • ආහාර රුචිය වර්ධනය කිරීමට
  • ශරීරය සිසිල් කිරීමට
  • රුධිරය පිරිසිදු කිරීමට
  • හෘද රෝග ඇතිවීම වැළැක්වීමට