පිටගැස්ම රෝගය පිළිබඳව ඔබ අසා ඇති. ඇතැම්විට පිටගැස්ම වළක්වන එන්නත් පවා ඔබ ලබාගෙන ඇති. නමුත් පිටගැස්ම බොහෝ අය සිතන පරිදි සාමාන්‍ය රෝගයක් නම් නොවෙයි. එය ඉතා භයානක රෝගී තත්ත්වයක්. මෙය භයානක වන්නේ අපේ නොසැලිකිලිමත්කම නිසාවෙන්මයි. එදා තරම් අද පිටගැස්ම රෝගීන් දකින්නට නොලැබෙන්නේ පිටගැස්ම රෝගය වැළැක්වීමට කාලයක් තිස්සේ අපේ රටේ ගෙන යන ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් නිසාවෙන්.බොහෝ අය වැඩි සැලකිල්ලක් දක්වන්නේ මලකඩ සහිත යමකින් තුවාලයක් වූ විට. නැත්නම් බල්ලෙක් පූසෙක් ආදි සතෙක් සපා කෑ විට. නමුත් මලකඩ රහිත දෙයකින් වුණත් පිටගැස්ම වැළදිය හැකි බව ඔබ දැන සිටියා ද. ඉතින් අද කතාව මේ පිටගැස්ම රෝගය පිළිබඳවයි.
මේ පිටගැස්ම රෝගය එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝවන රෝගයක් නොවෙයි. මොකද මේ පිටගැස්ම සෑදීමට බැක්ටීරියාවක් මුල්වන නිසා.මේ පරිසරයේ හිතකර වගේම හිතකර බැක්ටීරීයා රාශියක්ම සිටිනවා. පිටැගැස්මට මූලික වෙන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි නම් බැක්ටීරියා.මේ බැක්ටීරියාව යම් අයෙකුට ආසාදනයවීමෙන් පිටගැස්ම නැත්නම් ටෙටනස් යන තත්ත්වය ඇතිවෙනවා. මේ පිටගැස්ම ආසාදනය වෙන්නට වයස් භේදයක් නැහැ. කුඩා, තරුණ, මැදිවියේ, මහලු ආදී ඕනෑම අයෙකුට මේ රෝගය වැළදිය හැකි නිසා මේ රෝගයෙන් සිදුවිය හැකි මරණ අනුපාතිකයත් ඉහළ අගයක් ගනු ලබනවා.
ඒ විතරක් නෙවෙයි බොහෝ දියුණු රටවල නව ජන්ම පිටගැස්ම රෝගය වගේම දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ට දෙන පිටගැස්ම රෝගයත් ප්‍රධාන තැනක් ගන්නවා. මේ නව ජන්ම පිටගැස්ම රෝගය ඇති වන්නේ පෙකනිවැල ජීවානුහරණය නොකළ උපකරණ මගින් කැපීම නිසා හෝ පෙකණිවැල ටෙටනස් බැක්ටීරියා ආසාදිත ද්‍රව්‍යවලින් ආවරණය කිරීම මගින්. නමුත් අපේ රටේ මේ රෝග තත්ත්වය ක්‍රමයෙන් දුරස්වෙමින් යනු දකින්නට පුළුවන්. නමුත් ඕනෑම අවස්ථාවක අපිට ඇතිවිය හැකි රෝගයක් නිසා ඒ පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත්.
පිටගැස්ම බැක්ටීරියාව ශරීරයට ඇතුළු වන්නේ කොහොමද

මේ බැක්ටීරියාව අපේ ශරීරයේ ඇති තුවාලයකින් පස් මගින් හෝ සතුන්ගේ සහ මිනිසුන්ගේ මලපහ මගින් ඇතුළුවෙන්නට පුළුවන්. සත්ත්ව මල (ගොම ) වලින් පොහොර කරන ලද කෘෂිකාර්මික ගෙවතු හා බිම්වල, දූවිලි සමඟ මිශ්‍ර වී නගරයේ ගොඩනැගිලිවල අහුමුළුවල නිර්වායු තත්ත්වයක් යටතේ මේ ටෙටනස් බැක්ටීරියා ජීවත් වෙන්නට පුළුවන්.විශේෂයෙන්ම මේ බැක්ටීරියා වර්ධනය වෙන්නට අවශ්‍ය කරන සාධක අපවිත්‍ර වූ තුවාලයක පවතින්නට පුළුවන්.යම් කටුවක් වැනි දෙයක් ශරීරයේ ගැඹුරට ඇනී ඇතිවන තුවාල ප්‍රදේශයේ අවට පටක විනාශවී යාමෙන් රුධිර සංසරණය ඇණහිටීමෙන් ඒ ස්ථානයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවා.මොකද මේ බැක්ටීරියාව ඔක්සිජන් සාන්ද්‍රණය අඩු තත්ත්වයක් යටතේ වර්ධනය වන නිසා.
මලකඩ රහිත පිරිසිදු ඇණයක වුණත්, කටුවක වුණත් මේ පිටගැස්ම විෂබීජය තිබුනොත් පිටගැස්ම හැදෙන්නට පුළුවන්.මේ බැක්ටීරියාව ඒවා තුළ වර්ධනය වී ස්නායුවලට අහිතකර විෂ වර්ගයක් නිපදවනු ලබනවා. මේ ශරීරයේ ගැඹුරු තුවාලවලින් ක්ලෝස්ට්‍රීඩියම් ටෙටනි ශ්‍රාවය කරන විෂ ස්නායු පද්ධතියෙන් සුෂුම්නාවට ගමන් කරනු ලබනවා. මේ ටොක්සීනය ඉතාම අන්තරාකාරී එකක්.ටොක්සීනයෙන් මිලිග්‍රෑමයකින් දහයෙන් පංගුවකට වැඩිහිටි පුද්ගලයෙක් වුණත් මරාදමන්නට පුළුවන්. මෙය ස්නායුවලට ඇතුල් වූ පසු කිසිම ඖෂධයකින් හෝ එන්නතකින් ඒවා විනාශ කරන්නට හෝ උදාසීන කරන්නට නැහැ.එවිට ස්නායු ආවේග පාලනයකින් තොරව ක්‍රියා කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස යම් යම් පහසුතා ශරීරයේ ඇතිවෙනවා.
තුවාලවලට අමතරව පිටගැස්ම ඇතිවිය හැකි ආකාර
- නාස් විදීම
- කණ් විදීම
- චර්ම ඡේදනය
- උල් ඇණීම
- බල්ලන්, පූසන්, මීයන් වැනි සතුන් සපාකෑමෙන්. මෙහිදී මේ සතුන් නිතර කුණු කසලවලට කට තබන නිසා ඔවුන්ගේ දත්වල ටෙටනි බැක්ටීරියාව ස්පර්ශවිය හැකියි. එබැවින් පිටගැස්ම සෑදීමේ හැකියාව පවතිනවා.
- යන්ත්‍රෝපකරණවලින් සිදුවන තුවාල
රෝග ලක්ෂණ
ශරීරයට ඇතුළු වන බැක්ටීරියාව ශරීරය තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් රෝග ලක්ෂණ මතු කරන්නේ දින 6- 21 දක්වා කාලය තුළදීයි.

- උණ ගැනීම
- හිසරදය
- ගිලීම අපහසුවීම
- පිටගැස්ම විෂ ස්නායුගතවීමෙන් ඒවා උත්තේජනයෙන් සිරුර පුරා මාංශ පේශීන් හැකිලීම.මුහුණ සහ බෙල්ල ආශ්‍රිත මස් පිඩුවල වේදනාකාරී දරදඩුවීම් ඇති කරයි.මුහුණේ පේශීන් සංකෝචනයෙන් මුහුණේ මතු සිනහවක් මතුවෙයි.
- උදරයේ මාංශපේශීන්ගේ දරදඩුවීම් ඇති වෙයි. කට ඇරීමට නොහැකි තරමට හකු තදවෙයි.
- පිටෙහි පේශීන් අධික ලෙස සංකෝචනයෙන් පිට සහ ගෙල දුන්නක් ලෙස පිටුපසට නැමෙයි.
- හුස්ම ගැනීමේ අපහසුතාවය තදින් දැනෙයි.
- හෘද ස්පන්දන වේගය අඩු කරයි.
- රුධිර පීඩනය අඩු හෝ වැඩි වෙයි.
- එකවර උෂ්ණත්වය ඉහළ යයි.
නව ජන්ම පිටගැස්ම රෝගයේදී

දරුවා ඉපිද දින තුනත් දින දාහතරත් අතර කාලයේදී රෝග ලක්ෂණ දකින්නට පුළුවන්.
- කිරි උරාබීමේ අපහසුතාවය
- අතපය සහ මුහුණේ මාංශ පේශීන් දරදඩුවීම
- අධික ලෙස හැඬීම
- වලිප්පුව
- මාංශපේශීන් ගැස්ම
රෝගය වළක්වා ගැනීමට කළ යුතු දේ ප්‍රතිකාර
පිටගැස්ම රෝගය වළක්වාලීමට පිටගැස්ම එන්නත ලබාදෙනු ලබනවා. මෙය යම් තුවාලයක සෑදුණු විගසම ලබාදෙනු ලබනවා.ළමා ප්‍රතිශක්තිකරණ වැඩසටහන් යටතේ පිටගැස්ම, කක්කල් කැස්ස, හා ගලපටලය සඳහා ත්‍රිත්ව එන්නත් මාස 3 දී සහ ඉන්පසුව අධි ප්‍රතිශක්තිකරණ එන්නත් පළමු මාස 5 ඉන් අනතුරුව මාස 9-11 දීත් ලබාදෙනු ලබනවා.පසුව වසර 10 කට වරක් අධි ප්‍රතිශක්තියක් ලබාදිය යුතු වෙනවා. මේ බැක්ටීරියා සෛල විනාශ කිරීමට හෝ බැක්ටීරියා වර්ධනය අත් හිටුවීමට පෙනිසිලින්, එරිත්‍රෝමයිසීන් වැනි ප්‍රතිජීවක යොදාගනු ලබනවා.