ඔබේ දරුවට තැලසීමියා රෝගය හැදිලා කියලා පෙන්නුම් කරන රෝග ලක්ෂණ 10 ක්

health tips

අතීතයේ සිටම විවාහයකට පළමුව උපන් වෙලාවට අනුව විවාහපත් වීමට නියමිත යුවලගේ පොරොන්දන් ගැලපීම සිදුකරනු ලබයි. වර්තමානයේ ද එම පොරොන්දම් ගැළපීමට අමතරව සිදුකරන තවත් ගැලපීමක් තිබේ. ඒ තැලසීමියා  පොරොන්දමයි. මෙය රුධිරය හා සම්බන්ධ වන ගැලපීමක් වන අතර එය නිසි පරිදි නොගැළපෙන්නේ නම් ඔවුන්ගෙන් මෙලොවට ජනිත වන දරුවන්ට සෘජුවම බලපානු ලබයි. ඒ අනුව විවාහ පොරොන්දම හා සමාන වටිනාකමක් මේ සම්බන්ධයෙන් ද ලබාදීම අතිශයින්ම වැදගත් වේ. 

තැලසීමියා රෝගය උපතේදීම ඇතිවිය හැකි රෝගී තත්ත්වයකි. ඒ කෙසේද යත් වර්ණදේහයක ජානයක විකෘති වීමක් හේතුවෙන් එහි හිමොග්ලොබින් නිෂ්පාදනය සිදු නොවීම නිසාවෙන් මෙම රෝගය ඇතිවේ. 

ඇල්ෆා සහ බීටා දාම දෙකක එකතුවෙන් රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනය සිදු වේ. එනමුත් මෙම රෝගයේ දී මෙම ඇල්ෆා සහ බීටා දාම අසමතුලිත වෙයි. එවිට රතු රුධිරාණු නිසි පරිදි නිෂ්පාදනය නොවන අතර එම රුධිර සෛල ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගනී. එමෙන්ම රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වන විට රුධිරයේ පැහැය ද ක්‍රමයෙන් අඩුවෙයි. මෙම තත්ත්වය නිරක්තිය ලෙසද හඳුන්වනු ලබයි. මෙසේ නිරක්තියෙන් පෙළෙන විට ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවේ. 

ශ්‍රී ලංකාවේ ද මෙම රෝගය බහුලව වාර්තා වේ. වසරකට මෙවනි රෝගි දරුවන් අසූවක් පමණ බිහි වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බහුලව ම මෙවැනි රෝගීන් වාර්තා වන අතර ඔවුන් වෙනුවෙන් වසරකට විශාල සෞඛ්‍ය පිරිවැයක් දැරීමට ද සිදු වේ. 

ප්‍රධාන වශයෙන් තැලසීමියා රෝගය කොටස් දෙකක් යටතේ හදුනාගත හැකි ය. එනම්, 

  • මහා තැලසිමියාව 
  • සුලු තැලසිමියාව ආදී වශයෙනි. මෙහිදී සුලු තැලසිමියාව එතරම් භයානක නොවේ. එනමුත් එවනි දෙදෙනකු විවාහ වීම සුදුසු නොවේ. මන්ද ඔවුන්ට දාව උපදින දරුවන් මහා තැලසීමියා රෝගියෙකු වියහැකි නිසාවෙනි. ඊට අමතරව තැලසීමියා රෝගයේ තවත්  ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය. එනම්, 
  • බීටා තැලසිමියාව 
  • ඊ බීටා තැලසීමියාව 
  • සිකල් තැලසීමියාව 
  • ඇල්ෆා තැලසීමියාව 
  • ආදී වශයෙන් පෙන්වාදිය හැකි ය. 

බීටා තැලසීමියාව මහ තැලසීමියාව ලෙසද හඳුන්වයි. තැලසීමියා රෝගයේ භයානකම අවස්ථාව ලෙස මෙය පෙන්වා දිය හැකිය. මෙය සුළු රෝග ලක්ෂණ පෙන්වමින් ආරම්භ වුවත් පසු කාලීනව වර්ධනය වේ. කුඩා දරුවකු වර්ධනය වීමත් සමග රෝග ලක්ෂණ මතු වීමට පටන් ගනී. දරුවකු ඇතිවීම සදහා බලපාන වර්ණදේහ යුගල් 23න් එකොළොස්වැනි වර්ණදේහයේ බීටා ග්ලොබින් ප්‍රෝටීනය නිෂ්පාදනය කරවන අතර මෙම තත්ත්වයේ තැලසීමියාව රෝගය පවතින අයෙකුගේ මෙම නිෂ්පාදනය අඩාල කරවනු ලබයි. ඇතැම් විට සම්පූර්ණ වශයෙන්ම නිෂ්පාදනය සිදු නොකරයි. එය බීටා තැලසීමියා රෝගයේ සාමාන්‍ය ස්වරූපය වේ. 

ඊ බීටා තැලසිමියාව රෝගී තත්ත්වය තුළ ද ඉහත දැක් වූ ආකාරයේ බීටා ග්ලොබින් දාම සැකසීම අඩාල කිරීම සිදු කරන අතරම එහි ගති ලක්ෂණ පවා වෙනස් කරනු ලබයි. මෙවැනි රෝගීන්ගේ ශරීරයේ ඔක්සිජන් පරිවහනය හොදින් සිදුවන අතර රුධිරය ලබාදීමට තරම් අවශ්‍යතාවයක් ඇති නොවේ. 

සිකල් තැලසිමියා ප්‍රභේදයේදී රුධිර ප්‍රෝටීන් සෑදීම අඩපණ කරයි. එහි වෙනස්කම් ද සිදු වේ. රතු රුධිරාණු තුළින් ඔක්සිජන් ඉවත්ව යන අතරම එම රුධිර සෛල දෑකැති හැඩයක් ගනු ලබයි. 

ඇල්ෆා තැලසිමියා ප්‍රභේදය තුළ ඇල්ෆා ග්ලොබින් දාම සාදන්නේ වර්ණදේහ 23න් 16 වැනි වර්ණදේහ යුගලය  තුළයි. මේ තුළ ජාන හතරක් පවතින අතර එහි ජාන එකක් හෝ දෙකක් විකෘති වීමෙන් රෝග ලක්ෂණ මතු නොවේ. ජාන සියල්ලම විකෘති වී නැති වී ගිය පසු කලලය මිය යනු ලබයි. 

මවු පිය දෙදෙනාම හෝ එක් අයෙකු තැලමීසියා තත්ත්වයේ සිටින විට ඔවුන්ගෙන් ජනිත වන දරුවන්ට රෝගය ඇති වේ. දෙමාපියන් දෙදෙනාටම රෝගය ඇත්නම් දරුවන්ට රෝගය ඇතිවීම සදහා 100% අවස්ථාවක් පවතී. එක් අයෙකුට පමණක් රෝගය පවතී නම් දරුවා රෝගියෙකු වීමේ සම්භාවිතාව 50% කි. රෝග වාහකයන් බවට පත් වීම ද මේ හා සමාන මට්ටමින් සිදු වේ. 

මෙම තැලමීසියා  රෝගීන් තුළින් හදුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් පවතී. 

  • මෙවනි දරුවන්ගේ වර්ධනයේ ප්‍රමාදයක් ඇත. 
  • දරුවන් කිරි බීම ප්‍රතික්ෂේප කරයි. 
  • බඩ පිපුම වැනි තත්ත්වය ඇති වන අතර උදරය ඉදිරියට නෙරා ඒම සිදු වේ. 
  • ආසාත්මිකතා වලට පහසුවෙන් ගොදුරු වීම. 
  • හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හා හෘද ස්පන්දනය වේගවත් වීම. 
  • මස්පිඩු පෙරලීම. 
  • හිසේ කැක්කුම, උණ හා කැරකිල්ල ඇතිවීම. 
  • සම පඩු පැහැයක් හෝ අදුරු පැහැයෙන් යුක්ත වේ. 
  • මුත්‍රා අදුරු පැහැයෙන් යුක්ත වේ. 
  • ඉක්මනින් වෙහෙසට පත් වන අතර මුහුණේ අස්ථි වල අසාමාන්‍ය බවක් දැකගත හැකි ය. යනාදී වශයෙන් පොදු රෝග ලක්ෂණ කිහිපයක් පෙන්වාදිය හැකිය. එනමුත් සෑම තැලසීමියා රෝගියෙකු තුළින් ම මෙම ලක්ෂණ දෘශ්‍යමාන නොවේ. 
  • තැලසීමියා රෝගය සදහා පවතින ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ම හදුනාගත හැකි ය. එනම්, 
  • රුධිර පාරවිලයනය රෝගියාට ගැලපෙන පරිදි සිදු කිරීම. 
  • ශරීරයේ යකඩ ඉවත් කිරීමේ ප්‍රතිකාරය සිදු කිරීම. 
  • ඇට මිදුළු බද්ධය සිදු කිරීම. 
  • ආදී ප්‍රතිකාර වෙත යොමු කරයි. මීට අමතරව, 
  • පෝෂ්‍යදායි සමබර ආහාර වේල් ලබා ගැනීම. 
  • යකඩ අවශෝෂණය අඩු කරන හා අස්ථි වර්ධනය කරන ආහාර පාන වැඩි වශයෙන් පරිභෝජනය කිරීම. 
  • සරල ක්‍රියාකාරකම් හා ව්‍යායාම වල නිරතවීම. 

යනාදිය වෙත අවධානය යොමු කරමින් කටයුතු කිරීමෙන් රෝග පාලනය සිදු කරගත හැකි ය. මෙය ජිවිත කාලයටම පවතින රෝගයක් වන අතර නිට්ටාවට සුව කරගත නොහැක. එය වලක්වා ගැනිම සදහා රෝග වාහකයින් විවාහ නොවී සිටිය යුතුය. 

මෙම රෝගීන්ට නිරෝගී පුද්ගලයෙකු මෙන් සාමාන්‍ය ආහාර වේලක් ගැනීමට හැකියි. එහිදී යකඩ අවශෝෂණය අඩු කරන හා අස්ථි වර්ධනයට වැදගත්වන ආහාර ගැනීමට ද වගබලා ගත යුතුය. ප්‍රතිකාර සමඟ මොවුන්ටද එදිනෙදා වැඩපල වල, ගමන් බිමන් වලද නිරත වීම මෙන්ම සුදුසු ක්‍රීඩාවන් වල නිරත වීමට හැකියාව තිබේ.