ඕනෑම ලෙඩ දුකට කිසිම අගුණයක් නොවන ගුණයෙන් රසයෙන් අනූන පානයක් තමයි තැම්බුම් හොද්ද. අද අපේ උදවියට තැම්බුම් හොද්දේ රස අමතක වුණාට එදා මුතුන් මිත්තන්ගේ ආහාරවේලට නිතර එකතු වුණු ගුණවත් ආහාරයක්. වර්තමානයේ පවතින වසංගත තත්ත්වයත් සමඟ අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ආහාර පාන ලබාගත යුතු බව නිතර අපිව සෞඛ්‍ය අංශ විසින් දැනුවත් කරනවා. ඉතින් මේ සඳහා හොඳම විසදුම තමයි තැම්බුම් හොද්ද. එක් එක් පලාත්වල මේ තැම්බුම් හොද්ද මිරිස් හොද්ද විදියටත් දෙමල සහ මුස්ලිම් ජනතාව රසම් පානය විදියටත් හඳුන්වනවා. කුමන නමින් හැඳින්වුණත් රසයෙන් ගුණයෙන් අනර්ඝ ස්ථානයක් හිමිකරගන්නා අපේ මුතුන් මිත්තන්ගේ ජනප්‍රිය ආහාරයක් වුණු තැම්බුම් හොද්ද ගැනයි මේ ලිපිය.
මේ රසවත් ගුණවත් හොද්ද සකසා ගන්නේ මුළුතැන්ගෙයි සුලබ කුළු බඩුවල එකතුවකින්. මුලින්ම මේ රසවත් ගුණවත් තැම්බුම් හොද්ද සකසා ගන්නා විදිය බලමු.
1. ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය
- ගම්මිරිස් ඇට තේ හැදි 2 ක්
- උළුහාල් තේ හැදි 2 ක්
- කොත්තමල්ලි ඇට මේස හැදි 2 ක්
- සූදුරු ඇට තේ හැදි 2 ක්
- මහදුරු ඇට තේ හැදි 2 ක්
- සුදුළූණු ගෙඩි දෙකක් (බික් 16 ක් පමණ )
- ලොකු නෙල්ලි ගෙඩි 2 ක් තරමේ සියඹලා ගුලියක්. මෙය ඇට සහ පොතු ඉවත් කරගෙන පේස්ට් එකක් ලෙස සකසා ගත යුතුයි.
- කරපිංචා මිටක්
- සිහින්ව ලියාගත් රතු ළූණු ගෙඩි 5 ක්
- කුරුඳු පොතු කෑල්ලක්
- මුරුංගා පොතු කෑල්ලක්
- ලුණු ස්වල්පයක්
සකසා ගන්නා ආකාරය සෝදාගත් කොත්තමල්ලි ,සූදුරු, මහදුරු කෑලි සිටින සේ කොටා ගන්න. පසුව පිරිසිදු රෙදි කෑල්ලකට ඒ කුඩු ටික දමා පොට්ටනියක් ලෙසට සකසා ගන්න. පසුව මැටි ඇතිලියක් ගෙන අනෙක් සියලුම දේවල් සෝදා එයට දමන්න. පොට්ටනියත් ඇතිලියට දමා වතුර කෝප්ප 7 ක් එකතු කරන්න.පසුව මද ගින්දරේ කෝප්ප දෙකක් පමණ වනතුරු හින්දවා ගන්න. පොට්ටනිය ඉවත් කර පානය කරන්න.
2. ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය
- කොත්තමල්ලි
- සූදුරු
- උළුහාල්
- මහදුරු
- ගොරකා හෝ සියඹලා
- ගම්මිරිස්
- ඉඟුරු කැබැල්ලක්
- කුරුඳු කැබැල්ලක්
- මුරුංගා පොත්තක්
- අවශ්‍ය පමණට ලුණු
සකසා ගන්නා ආකාරය සෝදාගත් කොත්තමල්ලි, සූදුරු, මහදුරු, ගම්මිරිස්, කරපිංචා මුරුංගා පොතු හා කුරුඳු පොතු ආදිය අවශ්‍ය ප්‍රමාණවලින් ගෙන අඹරා ගෙන මැටි ඇතිලියකට දමා ගන්න. උළුහාල් හා ලුණු ටිකකුත් මේ මුට්ටියට දමා වතුර දමා සියල්ල දියකර ගන්න. පසුව ගොරකා හෝ සියඹලා අවශ්‍ය ප්‍රමාණයට පේස්ට් එකක් ලෙස හෝ සකස් කරගෙන එය ඇතිලියට දමා වතුර එකතු කර මද ගින්නේ පිස ගන්න. මද වෙලාවකින් ලිපෙන් ඉවත් කර මද රස්නයෙන් ආහාරයට ගන්න.
දිවට දැනෙන උණුසුම් ගතියත් එක්ක ප්‍රණීත රසයකින් සහ ගුණයකින් සුවඳකින් යුත් තැම්බුම් හොද්ද එදා වගේම අදත් බොහෝ අය ආහාරයට එකතු කරගනු ලබනවා. රසය වගේම ඖෂධීය වශයෙන් එහි අන්තර්ගත ඉහළ පෝෂණීය ගුණයන් ශරීරයේ බොහෝ ලෙඩ රෝග අපහසුතාවලට සුව ගෙනදෙනවා. විශේෂයෙන්ම දරුවන් ප්‍රසූත කළ පසුව ආහාරය පිණිසත් සකසා දෙන්නේ මේ තැම්බුම් හොද්ද. ඒ විතරක් නෙවෙයි එකල පණු රෝගවලින් ආරක්ෂා වෙන්නට වරකට වරක් අපේ ඇත්තන් කරන බඩ විරේකයේදී පවා ආහාරයට ලබා දෙන්නේ තැම්බුම් හොදි.
තැම්බුම් හොද්දේ ගුණ

- ආහාර ජීර්ණය පහසු කරයි.
- බඩේ අජීර්ණ සමනය කරයි.
- කටට දැනෙන අමිහිරි රසයන් දුරලයි.
- ආහාර රුචිය වඩවයි.
- කෑම අරුචිය ඔක්කාරය දුරු කරයි.
- කුස පිබිදෙයි. සිරුරට නව ජීවයක් ලබාදෙයි.
- වමනය නසයි.
- බැක්ටීරියා හා වෛරස්වලට ඔරොත්තු දිමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
- වේදනානාශක ගුණයෙන් සමන්විතයි.
- උදරයේ කැක්කුම් නසයි. බඩ පිපුමට ගුණදායකයි.
- දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
- සියඹලා සතුව මල බද්ධය ඇති අයෙක්ගේ මල බුරුල් කරන්නටත්,දියර සහිත මල ඝන කරන්නට ඇති අපූරු හැකියාව නිසා මල බද්ධය දුරු කරයි. හොඳින්ම මල පිට කිරීමට උදව් කරයි.
- ආහාර විෂවීම සඳහා ගුණදායකයි.
- පිත අඩු කරයි .වාතය නසයි
- ගැඹුරු ශිරාවල රුධිරය කැටි ගැසීම වළක්වයි.
- කොලෙස්ටරෝල් රෝගීන්ට ගුණදායකයි.

- ලවණ අධික මෙය පානයෙන් විජලනය වළක්වනු ලබයි.
- උණ රෝගීන්ගේ ආහාර අරුචිය දුරුකර කටේ අමිහිරි රසය දුරු කරයි.
- මුත්‍ර පිටවීම නිසිලෙස සිදු කරයි.
- දුර ගමනක් යාමේදී වගේම එකතැන ඉදගැනීමෙන් ඇතිවෙන දෙපාවල රුධිරය කැටි ගැසීම දුරු කරයි. ගමන් වෙහෙස නිවාලයි.
- සිරුරේ ඕනෑම තැනක සිදු කරන ලද ශල්‍ය කර්මයකට වගේම ඇට බිදිමෙන් ඇතිවන වේදනාවන් සමනයටත් තැම්බුම් හොද්ද උදව් වෙනවා.
- දරු උපතින් පසුව ඒ මවට මුලින්ම ලබාදෙන්නේ තැම්බුම් හොද්දයි. එයින් ප්‍රසූතියේදී ඇති වූ ශාරීරික වේදනා මගහරියි. වෙහෙස නසයි. තුවාල සුවවීම ඉක්මන් කරයි. ගර්භාෂයේ ඇති දරු උපතට සම්බන්ධ පටක ඉවත් කරනු ලබයි.
- මල්වර වූ යුවතියකට ලබාදෙන පළමු ආහාරය වෙන්නෙත් මේ තැම්බුම් හොද්ද. එයින් උදරයේ ඇතිවන වේදනාවන් පහසුතාවයන් සමනය කරයි. ඔසප්වීම පහසු කරයි.
සැලකිය යුතුයි.
අමිල පිත්ත රෝගීන් හා ලේ අර්ශස් රෝගීන්ට නිතර නිතර තැම්බුම් හොදි ආහාරයට ගැනීම අහිතකරයි.