අවුරුදු 100 වඩා කිසිම ලෙඩක් නැතුව ජීවත්විය හැකි තණහාල් කැඳ සතු ගුණ 16 ක්

health tips

ලාංකීය අපිට  කැද කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. මොකද ඈත අතීතයේ සිටම විවිධ අවස්ථාවලදී විශේෂයෙන්ම කුඩා දරුවන්ට, රෝගීන්ට, මහලු පුද්ගලයන්ටත් නිතර මේ කැඳ වර්ග පිළියෙල කර දුන්නා. නමුත් නූතනය වෙද්දි අපි වැඩිපුර ආහාරයට ගන්නේ කොළ කැඳ හෝ සව් කැඳ වගේ දේවල් පමනයි. නමුත්  පහසුවෙන් සකසා ගන්නට හැකි කැඳ වර්ග බොහොමයක්ම කියනවා. රෝගී අවස්ථාවකදී හැරුණාම අපිට නීරෝගීව ජීවත් වෙන්නටත් මේවා ඉතාම වැදගත් වෙනවා. ඒ නිසාවෙන් අපි අද ඔබට කියන්නට යන්නේ තණ හාල් කැද ඉතා අපේ ශරීරයට කොතරම් සෞඛ්‍ය සම්පන්න ද යන්න පිළිබඳවයි.

 හාල්වලින් පිස ගන්නට හැකි කැඳ වර්ග අතරින් ලුණු කැඳ, කිරි කැද, ඕලු කැද වගේම තණහාල් කැඳත් ගුණයෙන් ඉතාම ඉහළයි. ඉතා පහසුවෙන් ජීර්ණය වන මේ කැඳ වර්ග රෝගියෙකුට වගේම අඩු වයසේ දරුවෙකුට වුණත් ආහාරය පිණිස ලබා දෙන්නට පුළුවන්. ශරීරය දුර්වල අවස්ථාවකදී  ඒ දුර්වලතා නැති කරන්නටත්  ශරීරයට හොඳ ශක්තියක් ලබා ගන්නටත් මේ කැඳ වර්ග දායක වෙනවා. එමගින් ආහාර අරුචියත් නැති කරනවා. 

නමුත් මේ කැඳ වර්ග අසනීප අවස්ථාවක් සඳහා පමණක් භාවිතා කළ යුතු දේවල් නොවෙයි . එදිනෙදා ජීවිතයේදී සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නට පවුලේ හැමෝටම මේ වගේ ගුණදායි කැඳක් සතියකට දෙතුන් වරක් සකසාගෙන පානය කරන්නට හැකි නම් එය ඉතාම වැදගත්. අද බොහෝ දෙනෙකුට උදෑසන ආහාර වේල මගහැරෙනවා ඔවුන්ගේ කාර්‍යබහුලත්වයත් එක්ක. නැත්නම් උදේ ආහාරය පාන් පෙත්තකින් පිරිමසා ගන්නවා. නමුත් ඔබට මේ වගේ ගුණදායි කැඳක් පිළියෙල කරගෙන ආහරයට ගන්නට් හැකි නම් එය පවුලේ නිරෝගීභාවයට විශාල උදව්වක් .

අතීතයේ හේන් ගොවිතැනේ වැදගත් තැනක් ලැබුණු ධාන්‍ය වර්ග අතරින් අමු, මෙනේරි, කුරහන් වගේම තණහාල්වලටත් විශේෂ ස්ථානයක් හිමිවෙනවා. මේවා කුඩා ධාන්‍ය ගණයට අයත් වෙනත් ධාන්‍ය වර්ගයන්. ඒ වගේම වැපිරීමෙන් පසුව නඩත්තුවකින් තොරව නිසි කලට කරල් හටගන්නා ශාකයන්. කරල් පැසුණු පසු අව්වේ වියළා ගන්නා ධාන්‍ය වර්ගයක් වන තණහාල් යන්ත්‍රානුසාරයෙන් ඇට වෙන් කරගෙන සකසා ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා එතරම් ජනප්‍රිය බෝගයක් නොවන නමුත් අද වෙළෙඳ පොළෙන් අපිට ඒවා මිලට ගන්නට නම් හැකියාව තියෙනවා.

 කොහොම නමුත් මේ තණහාල් වංගෙඩියේ කොටා කුල්ලෙන් පොලා සකසා ගැනීම ගැමි කාන්තාවන් අතින්  සිදුවෙනවා. අබ ඇටවලටත් වඩා ඉතා කුඩා ධාන්‍ය වර්ගයක් වෙන තණහාල්  සහල් බවට පත්කර ගැනීම ඉතා අසීරු කර්තව්‍යයක්. මේවා බතක් විදිහටත්, කැඳ ලෙසත් රොටි ආහාරයට ගන්නට හැකියාව තියෙනවා. බොහෝ අයගේ විශ්වාසයට අනුව නම් කිරිදෙන මව්වරුන්ට තන කිරි අඩු වූ විට තන කිරි වෙනුවට තණහාල් කැඳ පිස පෙවිය හැකියි. ඒ කොහොම වුණත් තණහාල් නිරෝගී ජීවිතයක් ගත කරන්නට ලොකු පොඩි හැමෝටම ඉතාම ගුණදායී ආහාරයක් බව නොරහසක්. මේ තණහාල් ආහාරයට එකතු කර ගැනීමෙන් පහත සඳහන් ප්‍රතිලාභ ලබාගන්නට අපිට පුළුවන්.

  • දියවැඩියා රෝගීන්ට ඉතාම සුදුසු ආහාරයක්.
  • ගබ්සා සිදු වූ කාන්තාවන්ට ගුණදායකයි.
  • පුරුෂ ශක්තිය වඩවයි.
  • ආහාර රුචිය වර්ග වර්ධනය කරයි.
  • රුධිර පීඩනය පවත්වා ගන්නට උදව් කරයි. 
  • වකුගඩු රෝග සහ මුත්‍රා රෝගවලින් පෙලෙන අයට ඉතාම ගුණදායකයි.
  • සර්ප දෂ්ටනවලදී ඒ විෂ ශරීරයෙන් ඉවත් කිරීම සඳහා තණහාල් කැඳ ඉතාම ගුණදායකයි.
  • සෙම් රෝග  නැසීමේ විශේෂ හැකියාවකින් යුක්තයි.
  • ස්නායු පද්ධතිය ආශ්‍රිත ඇල්ෂයිමර් ආදී රෝග තත්ත්වයන් වර්ධනය වීම මන්දගාමී කරයි. ඒ සඳහා තණහාල්වල අඩංගු වන විටමින්  බී 1 උදව් වෙනවා.
  • අජීර්ණ තත්ත්වයන් සඳහා ගුණදායකයි.
  • ආහාර ජීරණය පහසු  කරයි.
  • ශරීර ශක්තිය වර්ධනය කරයි.
  • අස්ථි බිඳීම් සඳහා ප්‍රතිකාර කිරීමට වගේම පාචනය සුව කිරීම සඳහාත් භාවිතා කරයි.

 යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සහ දීර්ඝායුෂ ලැබීම සඳහා බොහෝ රටවල ආහාර වේලේ ප්‍රමුඛ ආහාරයක් විදියටයි තණහාල් භාවිතයට ගනු ලබන්නේ. 

තණහාල් කැද සාදාගන්නා ආකාරය

  •   තණහාල් කෝප්ප ½ 
  •   සහල් කෝප්ප ½ 
  •   ලුණු සහ පොල්කිරි
  • මුලින්ම මේ තණහාල්   හොඳින් ගරා වැලි ඉවත්කර සෝදා ගන්න. ඉන්පසු සෝදා ගත් සහල් ද එයට එකතු කර ජලය එකතු කර හොඳින් බෙරි වෙනතුරු තම්බා ගන්න
  • මෙය ඉතා ඉක්මනින් තම්බා ගන්නට හැකියාව තියෙනවා. හොඳින් තැම්බුනාට පසුව මිරිකාගත් මිටි කිරි එකතු කර අවශ්‍ය පමණට ලුනු දමා කලවම් කරගන්න. පසු සාමාන්‍ය ගින්දරේ මේ කිරි ටික පැසෙන්නට මද වේලාවක් තබා ලිපෙන් ඉවත් කරගන්න. පැණි රසයට කැමති අයට නම් මේ සඳහා සීනි හෝ හකුරු එකතු කරගන්නත්  පුළුවන්. 

සැලකිලිමත් වෙන්න

තණහාල් ඖෂධීය වටිනාකම අතින් ගත් විට ඉතාම ඉහළ තලයක තිබුණත් එය සංවේදී පුද්ගලයන්ට යම් ආසාත්මිකතා ඇති කරන්නට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අධික ලෙස පරිභෝජනය නොකර  සීමිත ප්‍රමාණයකින් ආහාරය සඳහා එකතු කර ගැනීම තුළින් එවැනි ආසාත්මිකතා  ඇතිවීම වලක්වා ගන්නට පුළුවන්.