රුධිරයේ සීනි වැඩි බව හඳුනා ගත හැකි ලක්ෂණ 6 ක්

health tips

දියවැඩියාව කියන්නේ අද ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරිලා යන රෝගී තත්ත්වයක්. මේ රෝගයට වයස් භේදයක් නැහැ.කුඩා වයසේ වගේම  මහලු වියේ සිටිනා අයෙකුට වුණත් ඇති වෙන්නට  පුළුවන්.ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝක ජනගහනයෙන් මිලියන 415 ක් ප්‍රමාණයක් මේ දියවැඩියා රෝගයෙන් පීඩා විදිනවා. ඒ අනුව පැහැදිලි වෙන්නේ සෑම 10 කෙනෙකුගෙන් එක් අයෙක් මේ දියවැඩියා රෝගයට ගොදුරු වෙලා සිටින බව. මේ රෝගය වැළදුණු විට සුව කරන්නට නොහැකියි. කළ හැකි වෙන්නේ එය පාලනය කිරීමක් පමණයි.නමුත් දියවැඩියාව පූර්ව දියවැඩියාව අවස්ථාවේදී හඳුනා ගත්තොත් එය නිට්ටාවටම සුවකර ගන්නට හැකියාව පවතිනවා. ඒ නිසාවෙන් දියවැඩියාවට පෙර ඇතිවන පූර්ව දියවැඩියා රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීමෙන් ඔබටත් දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වෙන්නට හැකියාව පවතිනවා.

පූර්ව දියවැඩියා තත්ත්වයේදී අපේ ශරීරයේ විශේෂයෙන්ම රුධිරයේ පැවතිය යුතු සීනි මට්ටම ඉහළ යාමක් සිදු වෙනවා. ඒ තත්ත්වයේදී එය නිශ්චිතව හඳුනා ගන්නට හැකි වුණොත් එය ඒ අවස්ථාවේදීම සුවකර ගන්නට හැකියාව ලැබෙනවා. නමුත් බොහොදෙනා මේ ලක්ෂණ නොදන්නාකම නිසාම දියවැඩියා රෝගයට ගොදුරු වීම අවාසනාවක්. ඒ  නිසාම  පූර්ව දියවැඩියා තත්ත්වයක් ඔබට ඇති ද යන්න දැන කියා ගන්නට මේ ලක්ෂණ ඔබටත් බෙහෙවින්ම උපකාරී වේවි.

  • අධික පිපාසය සහ මුත්‍රා  පිටවන වාර ගණන වැඩිවීම පූර්ව දියවැඩියා තත්ත්වය හඳුනා  ගත හැකි මූලිකම ලක්ෂණය වන්නේ නොසන්සිදෙන පිපාසය.සාමාන්‍ය වැඩ කටයුතුවලදී දැනෙන පිපාසයට වඩා මේ පිපාසය තරමක් වෙනස්. ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම, සිරුරේ උෂ්ණත්වය පාලනය ඇතුළු ශාරීරික කෘත්යන් රාශියකටම ජලය අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා අවම අපි දිනකට ජලය වීදුරු 8 ක් වත් පානය කළ යුතු වෙනවා. නමුත් පූර්ව දියවැඩියා තත්ත්වයේ දී දැනෙන පිපාසය ප්‍රමාණවත් තරම්  ජලය පානයෙන් කිරීමෙන් පවා සන්සිදෙන්නේ නැහැ. නිතර මුව වියළීම හා ඉතාම තදින් දැනෙන පිපාසයත් ඇත්නම් එය පූර්ව දියවැඩියා රෝගයේ ලක්ෂණයක් වන්නට පුළුවන්.මෙහිදී සිදු වෙන්නේ රුධිරයේ වෙනදාට වඩා වැඩිපුර සීනි අඩංගු වූ විට ඒවා අවශෝෂනය කරගෙන මුත්‍රා සමඟ  පිට කරන්නට වකුගඩු වෙනදාට වඩා වෙහෙසක් දරනු ලබනවා. රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි නිසා වකුගඩුවලට ඒවා ඉවත් කරන්නට වැඩිපුර මුත්‍රා  ප්‍රමාණයක් නිපදවන්නට සිදු වෙනවා. ඒ නිසා ශරීරයේ ඇති සියලුම ජලය  වකුගඩු  විසින් භාවිතා කරනවා. ඒ නිසා වැඩිපුර ජලය පානය කිරීමේ අවශ්‍යතාවය වගේම නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයත් ඇති වෙනවා.
  • අධික තෙහෙට්ටුව අපි ආහාර සරල සීනි බවට පත්වෙලා රුධිරයට එකතු වීම සිදු වෙනවා. පසුව  අග්න්‍යාශය නිපදවන ඉන්සියුලින්  හෝර්මෝනය මගින්  රුධිරයේ පවතින ග්ලූකෝස්  ශක්තිය නිෂ්පාදනයට ශරීරයේ සියලු සෛල වෙත  ප්‍රවාහනය කරදෙනවා.මේ නිසා දවසේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය  ශක්තිය අපිට නිසි පරිදි ලබාදෙනවා. නමුත් රුධිරයේ සීනි මට්ටම වැඩි අවස්ථාවකදී ඉන්සියුලින් හෝර්මෝනය නිසිපරිදි  ක්‍රියා කරන්නේ නෑ. මේ නිසා ආහාර මගින් රුධිරයට එකතු වෙන සීනි ශක්තිය නිපදවීම සඳහා සෛල කරා ගමන් කිරීම සිදු වෙන්නේ නැහැ. මේ නිසා ශරීරයේ කටයුතු සඳහා ශක්තිය ප්‍රමාණවත් නොවීමෙන්  ශරීරයට නිතරම අධික ලෙස තෙහෙට්ටුවක් දැනෙනවා.
  • අසාමාන්‍ය ලෙස සිරුරේ බර අඩුවීම ශරීරයේ බර එකවර අඩුවන්නේ බර අඩු කරගැනීම ආහාර පාලනය කිරීමක් හෝ ව්‍යායාම්වල නිරතවීමක් හෝ  හේතුවෙන් . එවැනි කාරණා  කිසිවක්  නොමැතිව එක්වර සිරුරේ බර අඩු වන්නේ නම් ශරීරයේ යම් රෝගී තත්ත්වයක් නිසාවෙන්.එයින් එක් රෝගයක් වන්නේ මේ දියවැඩියා රෝගයයි. සෛලවලට ශක්තිය නිපදවීම සඳහා ග්ලූකෝස්  නොලැබෙන විට  සෛල විසින් අපේ  ශරීරයේ  එකතුවෙලා ඇති මේදය සහ  මස්පිඩු දහනය කර  ශක්තියන් නිපදවන්නට පටන් ගන්නවා. මේ නිසා මේ ආකාරයේ බර අඩුවීමක් එකවරම සිදු වන්නට පුළුවන්.
  • පෙනීම බොදවීම රුධිරයේ සීනි මට්ටම වැඩිවීම නිසා ඉන්සියුලින් හෝර්මෝනය නිසි පරිදි ක්‍රියා  කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙසට ශරීරයේ සියලුම කොටස්වලට ග්ලුකෝස්  ශක්තිය නිපදවීම සඳහා ගමන් නොකරන නිසා ඇස්වල කාචයට දියර ගලාඒමෙන් කාචය ඉදිමී එහි හැඩය වෙනස් වී පෙනීමේ බොදවීමක් ඇති වෙනවා. 
  • නිතර කුසගිනි ඇතිවීම දියවැඩියා රෝගී තත්ත්වයේදී රුධිරයේ පවතින ග්ලූකෝස් සෛලවලට ඉතා  අඩුවෙන් ලැබෙන නිසා  සෛලවලට අවශ්‍ය  ශක්තිය  නිසිපරිදි  නිෂ්පාදනය වෙන්නේ නැහැ. මේ නිසා නිතර  කුසගිනි ඇතිවෙනවා.  ඒ නිසාවෙන් ඉහත ලක්ෂණ කිහිපයක්  සමඟ නිතර කුසගිනි ඇති වන්නේ නම් එය ඔබේ  රුධිරයේ සීනි මට්ටම ඉහළ බව හඟවන පූර්ව ලක්ෂණයක් වන්නට හැකියාව තියෙනවා.
  • තුවාල සුවවීම පමාවීම  රුධිරයේ සීනි මට්ටම වැඩිවූ විට තුවාලය අවට ප්‍රදේශයට නිසිපරිදි රුධිර සංසරණය සිදු කරන්නට සිරුරට නොහැකිවීම නිසා  තුවාල  සුවවීම පමා වෙනවා. ඒ නිසා සුළු තුවාලයක් වුණත් සුවවීමට මාස ගණන් ගත වන්නේ නම් එය දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකියි.
  • කාන්තාවන්ට නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වීම 
  • හිසේ කැක්කුම 

බොහෝ රෝගයන්වල ලක්ෂණයක් ලෙස ඇතිවන හිස කැක්කුම රුධිරයේ සීනි මට්ටම වැඩිවූ විටත් ඇති වන්නට පුළුවන්.මේ  ලක්ෂණවලින් කිහිපයක් ඇත්නම් ඔබේ ආහාර පිළිබඳව වගේම ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳවත්  ව්‍යායාම්වල නිරතවීම පිළිබඳවත් වඩාත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම වෛද්‍යවරයෙකු හමුවී එය තහවුරු කරගෙන ප්‍රතිකාර ලබා ගන්නත් අමතක කරන්නට එපා.