ඇස වගේම කනත් අපේ ශරීරයේ පවතින ඉතාම සංවේදී ඉන්ද්‍රියක්. ජීවිත කාලය පුරාවටම බාහිර සමාජය සමඟ සන්නිවේදනය මගින් සම්බන්ධතා ගොඩනගා ගන්නටත් ශරීරයේ සමතුලිතතාවය පවත්වා ගැනීමටත් කන ඉතා වැදගත් වන ඉන්ද්‍රියක්. කනේ විවිධ ආබාධ තත්ත්වයන් කන් ඇසීම දුර්වල කරන්නට හේතු වෙනවා. සාමාන්‍යයෙන් කන් ඇසීමට අදාළ වෙන කොටස් සියල්ලේ විකාසනය ආරම්භ වෙන්නේ මව්කුස පිළිසිද ගත් දිනයේ පටන් නිසාවෙන් ගර්භනී මවක් කායික මානසික වශයෙන් සුවයෙන් සිටීම අවශ්‍ය කරනවා.
ඇතැම්විට දරුවා බිහි කිරීමට සිටිනා කාලයේදී මවට රුබෙල්ලා විෂබීජ ශරීරගත වුණොත් එය දරුවාගේ කනට ඍජුවම බලපානවා. ඒ හැරුණාම අඩු බර උපත්, උපතේදී විවිධ හේතු මත ළදරු ඒකකවල ප්‍රතිකාර ලැබීම ,මෙනිජයිටිස් රෝගය ආදියත් පසුකාලීනව කනේ ආබාධ ඇති කරන්නට හේතු සාධක වෙනවා. නිතර සෙම් රෝගවලට ගොදුරු වීම, මැද කනේ සෙම එකතුවීම, කන් කලාදුරු ආදියත්, කන් බෙරය සිදුරු වීම ,වයස්ගත වීම පසුකාලිනව ඇසීම දුර්වල කරන්නට බලපෑ හැකි අනෙක් හේතුන් වෙනවා.
උපතේදී ඇතිවන තත්ත්වයන් හෝ විවිධ රෝග තත්ත්වයන් නිසාවෙන් ඇතිවන කන් ආබාධ හැරුණාම අපේ කන් ඇසීම දුර්වල කරන හේතු අපි විසින්ම සාදා ගන්නා අවස්ථා ඕනෑ තරම් පවතිනවා. අපි සිදුකරන එවැනි වැරදි පුරුදු කන් ඇසීම දුර්වල වෙන්නට වගේම සදාකාලික බිහිරි බව ඇති කරන්නත් බොහෝවිට හේතු වෙනවා. ඒ නිසාවෙන් ඇස් දෙක වගේම දෙසවන් රැක ගන්නත් අපි මනා ලෙස දැනුවත්ව සිටීම අත්‍යවශ්‍යයි. ඒ නිසාවෙන් අද අපි කතා කරමු කන් ඇසීම දුර්වල කරන අපේ වැරදි පුරුදු පිළිබඳව.

- ඉයර් ෆෝන් භාවිතය අද පොදු ප්‍රවාහනයේ ගමන් කරද්දි වගේම නිවාඩු පාඩුවේ යම් ස්ථානයක සිටිද්දිත් ඉයර් ෆෝන් එක කියන මේ පුංචි උපාංගය සැම අයෙකුගේම අතේ පවතිනවා ඔබත් දැක ඇති. ප්‍රමාණයෙන් කුඩා නිසා ඕනෑම ස්ථානයකට ගෙන යන්නට ඇති හැකියාවත් මෙය බොහෝදෙනා අතර නැතිවම බැරි උපකරණයක් බවට පත් වෙන්නට හේතු වෙලා තියෙනවා. සංගීතයට ප්‍රිය කරන අයෙකුට ගීතයක් රස විදින්නට, නිහඬ බවට කැමති අයෙකුට බාහිර ශබ්දවලින් ඈත්වී සිටින්නටත් මේ ඉයර් ෆෝන් එක උපකාරී වෙනවා. නමුත් ඉයර් ෆෝන් එක කුඩාවීම නිසාම ස්පීකරය කනට ඉතාම සමීපව පවතින නිසාත් සාමාන්‍ය ලෙස ශබ්දයක් ඇසෙනවාට වඩා කනට ශබ්ද තරංග එද්දි වාතයේ පවතින කම්පන ප්‍රමාණය ඉහළයි. විශේෂයෙන් අද බොහෝදෙනෙක් භාවිතා කරන in ear හෙවත් කන්වල ඇතුළට එබිය හැකි ඉයර්ෆෝන්වල තත්ත්වය තවත් හානිදායකයි. මේ නිසා ඉයර් ෆෝන් එක සහ කන් බෙරය අතර පවතින වාත ප්‍රමාණය ඉයර් ෆෝන් එක ගලවන තුරුම සිරවෙලා තියෙන නිසා ඒ වගේ අවස්ථාවක කම්පන ඍජුවම කන් බෙරය මතට පහරදීම සිදුවෙනවා. නමුත් එයින් බාහිර ශබ්ද ඇසීම අවම කරන නිසා අඩු ශබ්දයකින් මෙය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.කොහොමනමුත් අධික ශබ්දයක් සහිතව ඉයර් ෆෝන් භාවිතයත් නිතර ඉයර් ෆෝන් භාවිතයත් කන් ඇසීම දුර්වල කරන්නත් කනේ වෙනත් ආබාධ ඇති කරන්නත් හේතු වෙනවා. ඒ නිසා වඩා සුදුසු වෙන්නේ ඔබ ඉයර් ෆෝන් භාවිතා කරද්දි එහි උපරිම ශබ්ද මට්ටම 60% ක මට්ටමේ පවත්වා ගැනීමත් පැයකට වරක් කනට විවේකය ලබාදීමත් යන කරුණු පිළිපැදීමයි.
- කොට්න් බඩ්ස් බොහෝදෙනෙක් කන් කලාදුරු ඉවත් කිරීම සඳහා කොට්න් බඩ්ස්, කොණ්ඩා කටු, කන් හැදි ආදී මෙකී නොකී බොහෝදේවල් භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි කෘමියෙක් කනට ඇතුළු වුණු අවස්ථාවක ඒ සතාව අඩපණ කිරීමට විවිධ දේවල් කනට වත් කරනු ලබනවා.මේ ක්‍රියාවන් සියල්ලේම ප්‍රතිඵලයක් විදියට ක්‍රමයෙන් ඔබේ කන් ඇසීම දුර්වල වී කන් ඇසීම නැතිවී යාමට වුණත් හේතු වන්නට පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවකදී වෛද්‍යවරයෙකු හමුවට යාම වැදගත්.
- අධික ශබ්දය ඉයර් ෆෝන් භාවිතයේදී වගේම වෙනත් අධික ශබ්දයක් ඇති ස්ථානයක් සිටින විට එය කනට දරාගන්නට නොහැකි වෙනවා. විශේෂයෙන්ම රතිඤ්ඤා හඬ, ඒ වගේම මංගල උත්සව හෝ සංගීත සන්දර්ශනවලදී ඇසෙන අධික ශබ්දය කන් බෙරය සිදුරු කරන්නත් කන් ඇසීම දුර්වල කරන්නත් හේතු වෙනවා. ඒ නිසා මෙවැනි අධික ශබ්දය සහිත පරිසරයක ඔබට සිටින්නට සිදුවුණොත් එය කනට හානිදායක වෙනවා. එවැනි අවස්ථාවක ඒ ශබ්දය අඩු මට්ටමෙන් ඇසෙන ප්‍රදේශයකට ගොස් විවේකයක් ලබා ගැනීම වැදගත් වෙනවා.
- නිතර ජලයේ සිටීම සාමාන්‍යයෙන් කන ආශ්‍රිතව ආසාදන තත්ත්වයන් ඇතිවීම නිසා කන් බෙරය සිදුරුවෙන්නටත් කන් ඇසීම දුර්වල වෙන්නත් හේතු වෙනවා. ඒ නිසා ස්විමින් කරන අය වගේම ජලාශවල නිතර ස්නානය සඳහා යන අයත් හදිසි අනතුරු හෝ අධික ශබ්දයන් නිසාවෙන් කන් බෙරය සිදුරු වුණු අය ආදීන් නිසැකයෙන්ම තමන්ගේ කන විශබීජවලින් ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහා කන තුළට ජලය ඇතුල් වීම වළකා ගත යුතුයි. එය කන් ආසාදන බරපතල නොකර පාලනයටත්, කන් පැසවීම වළක්වා ගන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා. ඒ සඳහා ear plug භාවිතා කිරීම බොහෝසෙයින් වැදගත් වේවි.

- දියවැඩියාව හොඳින් පාලනය නොකිරීම කනේ ආබාධ ඇති කරන්නට දියවැඩියාව පාලනය නොකිරීම හේතුවක්.මෙහිදී කර්ණ ශංකයේ සහ ශ්‍රවන ස්නායුවේ කුඩා සෛලවලට හානි සිදු වෙන්නට පුළුවන්. මේ තත්ත්වය වැඩිහිටියන් අතර බහුලයි.එය කල්ගත වෙත්ම කන් ඇසීම දුර්වල කරන්නට හේතුවක් වෙනවා.
අපි එතරම් නොසිතුවත් කන කියන්නෙත් අපි බොහෝසෙයින් ප්‍රවේශම් කරගත යුතු ඉන්ද්‍රියක්. ඒ වගේම කන් ඇසෙන්නේ නැතිකම කථනය සඳහාත් බාධා ඇති කරන්නට හේතුවන බවයි පර්යේෂණවලින් අනාවරණය කරගෙන තියෙන්නේ. ඒ නිසා කන කියන්නේ අපේ ශරීරයේ ක්‍රියාකාරකම් බොහොමයකට දායක වෙන ඉන්ද්‍රියන් බොහොමයට බලපෑම් ඇති කළ හැකි ඉන්ද්‍රියක් බව අපිට පිළිගන්නට සිදු වෙනවා.