ඔබේ PH අගය අඩුව වුන විට පෙන්නුම් කරන රෝග ලක්ෂණ

health tips

මිනිස් ශරීරයේ නීරෝගී පැවැත්ම සඳහා අපේ ශරීරයේ සෑම ලොකු කුඩා කොටසකම ක්‍රියාකාරිත්වය නිසි පරිදි පැවතිය යුතු වෙනවා. අපේ ශරීරයේ අවයවයක කුඩා වෙනස්වීමක් වුණත් ශරීරයේ පැවැත්මට ඉතා විශාල හානිදායක තත්ත්වයක් ඇති කරන්නට පුළුවන් .ඒ නිසා ශරීරයේ නිසි පැවැත්ම වෙනුවෙන් ශරීරයේ උෂ්ණත්වය, PH අගය හා ඔක්සිජන් ප්‍රතිශතය ආදී සෑම දෙයක්ම ප්‍රශස්ත මට්ටමින් පැවතිය යුතු වෙනවා. මේ අගයන් පැවතිය යුතු මට්ටමට නොමැති වුණොත් ඒ බව ශරීරය විසින්ම විවිධ සංඥා මගින් අපිට දැන ගන්නට සලස්වනවා. ඉතින් ශරීරයේ PH අගය වෙනස්වීම නිසා අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට බෙහෙවින් හානිකර තත්ත්වයන් උදා වෙනවා. ඒ නිසා අද අපි කියන්නට සූදානම් වන්නේ PH අගය අඩුවීම නැත්නම් සිරුරේ ආම්ලික බව වැඩිවීම හඳුනා ගන්නට හැකි පූර්ව ලක්ෂණ කිහිපයක් පිළිබඳවයි.

ශරීරයේ නිසි පැවත්ම උදෙසා සාමාන්‍ය PH  අගය අතිශයින්ම වැදගත් වෙනවා. ස්වභාවිකව 7.35 සිට 7.45 අතර පැවතිය යුතු PH අගය මේ සීමාවෙන් එපිටට නොයා පැවතීම සිරුරේ නීරෝගී බවට හේතු වෙනවා. සිරුරේ PH  අගය පැවතිය යුතු මට්ටමින් නියාමනය කරගන්නට මිනිස් ශරීරය බොහෝ වෙහෙසක් දරනු ලබනවා.නමුත් PH අගය 7.35 ට වඩා අඩුවීම නැත්නම් ශරීරය ආම්ලිකවීම බොහෝ ලෙඩරෝගවලට සිරුර නිරාවරණය කරනු ලබනවා. 

ශරීරයට ආම්ලික බවක් ඇති කරන ප්‍රධාන ආහාර වන්නේ  මස් වර්ග ඇතුළු  සත්ත්ව ප්රෝටීන ඉහළ ආහාර වර්ග සහ කිරි ආහාර. ඒ හැරුණාම බොහෝ ධාන්‍ය වර්ග, පිටි ආහාර, කැෆේන් වර්ග  අඩංගු පාන වර්ග සහ  ඇල්කොහොල් සහිත බීම වර්ගත්, සෝඩා වර්ගත් ශරීරයේ ආම්ලික බව වැඩි කරන ආහාරපාන අතරට එකතු වෙනවා. ආම්ලික බව ඉවත් කර ගන්නට ශරීරයේ PH අගය නිසි පරිදි පවත්වා ගෙන යන්නට භාෂ්මික ආහාර වර්ග ලබා ගැනීමයි වැදගත් වන්නේ.ශරීරයේ ආම්ලික බව වැඩිවීම සිරුරේ ප්‍රතිශක්තිය බොහෝසෙයින් ඉහළ හෙලන්නට හේතු වෙනවා. ඒ නිසා අපේ ශරීරය ආම්ලික බවින් යුක්ත බව අපිටම හඳුනා ගන්නට හැකි මේ ලක්ෂණ පිළිබඳව ඔබත් සැලකිලිමත් වෙන්න.

කුරුලෑ ඇතුළු සමේ ගැටළු මතුවීම ශරීරයේ PH අගය පහත වැටීම නිසා විෂබිජවල ක්‍රියාකාරිත්වය ශරීරය අභ්‍යන්තරයේ පමණක් නොවෙයි සමටත් ඉතා හානිදායක ලෙස බලපානවා.සිරුර ආම්ලික වීමත් සමඟ පිටවන දහදියෙත් ක්ෂුද්‍ර ජීවීන්ට ඉතා පහසුවෙන් වැඩෙන්නට ඉඩලබා දෙනවා. ශරීරය අභ්‍යන්තරයේ ආරක්ෂා වෙනුවෙන් සිරුර කටයුතු කිරීම නිසා සම ආසාදනවලින් වළක්වා ගන්නට ලබාදෙන අවධානය අඩුවීමත් මේ සඳහා හේතු වෙනවා. මේ නිසා සම වියළී යාම වගේම සම අවපැහැ ගැන්වීමත් තුවාල සුවවීම පමාවීමත්  සිදු වෙන්නට පුළුවන්.

  • අධික ලෙස දහදිය දැමිම හා ඇදුම්  ඉතා ඉක්මනින් කිලුටු වීම
  • අසීමිතව වෙහෙස දැනීම 

PH අගය සුළු වශයෙන් අඩුවූ විට අපේ සිරුරට ඇතුළු වෙන්න නිරන්තරයෙන් උත්සාහ කරන විශබීජවලට වාසියක් වෙනවා. PH අගය ඉතා සුළු වශයෙන් වෙනස් වුණත් එවැනි අවස්ථාවක ශරීරයට ඇතුළු වන විෂබීජ ප්‍රමාණය අති විශාල නිසා ඒවා විනාශ කරන්නට අපේ ශරීරය නින්දේදී පවා සක්‍රීයව කටයුතු කරන්න පටන් ගන්නවා. විෂබීජ විනාශ කිරීමේ අවශ්‍යතාවය නිසා සුදු රුධිරාණු ප්‍රමාණය වැඩි වී රතු රුධිරාණු හරහා  සෛලවලට ඔක්සිජන්  ගෙන යාම මන්දගාමී වෙනවා. ආම්ලික බව පහව යනතුරු ශරීරය කරන මේ කාර්ය නිසා ශරීරයට වෙහෙසක් දැනෙනවා. සුව නින්දක් ලැබුණු පසුවත් ඒ තත්ත්වය මගහැරී නොයන්නේ ශරීරයේ ආම්ලික බව තවදුරටත් පවතින නිසා.

ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළුවලට නිතර මුහුණ දීමට සිදුවීම ශරීරයේ ආම්ලික  බව ඉහළ යාම නිසා ආමාශයේ සිටින අහිතකර බැක්ටීරියා වර්ග වැඩිවී  හිතකර බැක්ටීරියා විනාශ වී යන්නට ඇති ඉඩකඩ වැඩියි. ඒ වගේම ශරීරයේ ආම්ලික බව වැඩිවීම නිසා  ආහාර ජීර්ණ ක්‍රියාවලියට නිතර බාධා ඇති වෙනවා. ඇතැම්විට ඇතැම් ආහාර පමණ ඉක්මවා ජීර්ණය වීමත්  එයින් අවශ්‍ය පෝශක විනාශ වෙන්නත් ඇතැම් ආහාර නිසි ලෙස නොදිරවන්නත් මල ලෙස පිටවෙන්නටත් හේතු වෙනවා. ආම්ලික බව හේතුවෙන් ඇතිවන ඒ තත්ත්වයන් නිසා නිතරම වමනය, බඩ බුරුලෙන් යාම, බඩ පිපුම ආදී අපහසුතා ඇති වෙන්නට පුළුවන්.

සන්ධිවල කැක්කුම් නිරන්තරයෙන් ඇතිවීම -PH අගය අඩුවීම නිසා ඇතිවන ආම්ලික බව වැඩිවීම මුළු සිරුරටම ඉතා හානිදායක ලෙස බලපෑම් කරනු  ලබනවා. ඒ නිසාම ශරීරයේ වේදනාව අධිකව දැනීම සිදු වෙනවා. අත් පා හිරි වැටෙනවා නම් සන්ධි ආශ්‍රිත කැක්කුම් නිතර අහේතුකව දැනෙන්නේ නම් එය ශරීරයේ ආම්ලික බව වැඩිවීම නිසා ඇතිවන ලක්ෂණයක් විය හැකියි.

දත්වල හා හනු ආශ්‍රිත කැක්කුම් දත්වල ස්නායුවල සංවේදන ඉහළයාම නිසා  උණුසුම් හා සීතල ආහාරපාන  ගැනීමේදී දත්වල හා හනුවල වෙනදා නැති කැක්කුම් හට ගැනීමත් සිදු වෙන්නට පුළුවන්.

නිතර රෝගීවීම ශරීරයේ ආම්ලික බව යාමනයක් නොවී බොහෝ කාලයක් පැවතුණොත් කල්පවතින ගැටළු ඇතිවීම ආරම්භ වෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසාමාන්‍ය ලෙස භාවිතයට ගැනීම නිසා  නිතර රෝගී වීම සිදු වෙනවා.  සෙම්ප්‍රතිශ්‍යාව, විෂබීජ ආසාදන ආදී සුළු රෝග වගේම පිළිකා ආදී දරුණු රෝගවලට එරෙහි වීමේ හැකියාවත් අඩුවීමෙන් නිතර රෝග වැළදීම සිදු වෙනවා.

මුඛයේ අධික දුර්ගන්ධය ශරීරය ආම්ලිකවීමත් ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි නිසා ශරීරයෙන් පිටවන ශාරීරික තරල සියල්ලේම  ක්ෂුද්‍ර  ජීවින් මිශ්‍රවීම ඉහළයාම සිදු වෙනවා. මෙය වඩා පහසුවෙන් මුඛය තුළ සිදුවීම නිසා දත් අතර රැදෙන ආහාර කොටස් මත ඉතා ඉක්මනින් ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වීම නිසා කෙළවලින් සිදුවන විශබීජ නාශක ක්‍රියාවලිය ක්‍රමයෙන් අඩපණ වීමට පටන් ගන්නවා. මේ නිසා දත් මැදීමෙන් වැඩි වේලාවක් ගත වෙන්නට පෙර කටේ දැඩි දුගදක් ඇතිවෙන්නට පුළුවන්.

මලපහවල හා මුත්‍රාවල අසාමාන්‍ය දුර්ගන්ධය  මුත්‍රාශයේදී ක්ෂුද්‍ර  ජිවී  ක්‍රියාවලිය වේගවත් වීමෙන් ආමාශයේ අහිතකර බැක්ටීරියා සාන්ද්‍රණය ඉහළ නිසාත්  මුත්‍ර  සහ මලපහ පිටවීමටත් පෙර ඒවායේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය  ඉහළ යාමෙන් අසාමාන්‍ය  දුර්ගන්ධයක් ඇති වෙනවා. 

නිතර කේන්ති යාම ආදී මානසික ගැටළු ඇතිවීම ශරීරයේ ආම්ලික බව වැඩිවීම නිසා ශරීරයේ හෝර්මෝනවල විශාල වෙනසක් සිදුවෙනවා. හෝර්මෝන නිපදවන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයත් විකෘති වී ශ්‍රාවය වන හෝර්මෝන අනුපාතයන් වෙනස් වෙනවා. ඒ වෙනස්කම් නිසා හොර්මෝන මගින් කෙරෙන කාර්යන් පවා වෙනස් වෙනවා.ඒ නිසා නිතර පුද්ගලයාගේ මනෝභාවයන් වෙනස් වෙනවා. ඒ නිසා නිතර කේන්ති යාම  මනස නොසන්සුන්වීම ආදී ගැටළු ඇතිවෙනවා.

  • ඇස් දැවිල්ල 
  • සිරුරට උණුසුම් ස්වභාවයක් දැනීම 
  • නින්ද නොයාම  

ශරීරයේ ආම්ලිකභාවය පාලනය නොවුණහොත් එය පිළිකා අවදානම ඇති කරන්නටත් අස්ථිවල දුර්වලතා ඇති වෙන්නටත් මුළු ශරීරයේම රෝගී වෙන්නටත් හේතු වෙන බැවින් ඒ ලක්ෂණ කෙරෙහි සැලකිලිමත් වීම ඉතා වැදගත්.