ආහාර ගත යුතු නිවැරදි වෙලාවන් දැනගමු

health tips

අපි ආහාර ගන්නේ කුසගින්න සංසිදුවා ගන්නට පමණක් නෙවෙයි. අපේ ශරීරයේ කායික වගේම මානසික යහපැවැත්ම සඳහා හොඳ පෝෂණයක් අත්‍යවශ්‍ය වන නිසා. ඉතින් ඒ නිසා අපි හැමෝම වගේ ඉහළ පෝෂණයකින් සමන්විත ආහාරවේලක් ගන්නට නිතරම උනන්දු වෙනවා. නමුත් බොහෝදෙනෙක් ආහාරවේල ගැන සැලකිලිමත් වුණාට ආහාර ගන්නා වේලාව පිළිබඳව නම් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ නොදන්නවා වුණාට වැරදි වෙලාවට කන්නට ගියොත් සෞඛ්‍යසම්පන්න ආහාරවේලකින් වුණත් අපේ ශරීරයට සිද්ධ වෙන්නේ අයහපතක්. අද කුඩා දරුවන් තරගකාරී අධ්‍යාපන රටාව නිසා බොහෝසෙයින් කාර්යබහුල වෙලා. වැඩිහිටියන් නිවසේ කටයුතු රැකියාව හා දරුවන් නිසා කාර්යබහුල වෙලා.ඒ නිසා කුසගින්න නිවා ගන්නට හෝ ආහාරයක් ගත යුතු නිසා පොඩි ඉඩක් ලැබුණු විගස මොනවා හෝ ආහාරයක් ගිල දමනවා. එසේ නැත්නම් වැඩ කරන අතරේ සුළු ආහාරයක් ලබා ගන්නවා. ඉතින් නිවැරදි වේලාවකට ආහාර නොගෙන මේ විදියට ආහාර ගත්තොත් අපේ ශරීර සෞඛ්‍යයට මොකද වෙන්නේ. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නේ මේ වැදගත් කාරණාව පිළිබඳවයි.

සාමාන්‍යයෙන් පැය 24 ක කාලයක් තුළ අපි ආහාරවේල් තුනක් ලබා ගන්න පුරුද්දක් ඇතිකරගෙන තියෙනවා. තවත් අය මේ ආහාරවේල් 3 ගන්නේ නැතිව  පුංචි පුංචි ආහාරවේල්  කිහිපයක් ගන්නා නිසා ආහාර ජීර්ණයේදී ගැටළු ඇති කරගන්නවා වගේම පෝෂණ කොටස් ශරීරයට අවශෝෂණයේදී එය බාධාවක් වෙනවා. මේ විදියට නිතර නිතර ආහාර ගන්නා පුරුද්දක් ඇති කරගත් විට ආහාර ජීර්ණය කරන්නට විශේෂයෙන්ම  අපේ ආහාරයේ අඩංගු වෙලා තියෙන සීනි කාබෝහයිඩ්රේට් ජීර්ණය කරලා පරිවෘත්තිය ක්‍රියාවලට භාවිතා කරන්නට අවශ්‍ය කරන  ඉන්සියුලින් හෝර්මෝනය  නිතර අපේ රුධිරයේ ඉහළ මට්ටම්වලින් රැඳෙන්නට පටන් ගන්නවා. මේ තත්ත්වය පසුකාලීනව දියවැඩියාව ආදී රෝග තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙනවා.

තවත් අය නීරෝගීව සිටීමට බර අඩු කරගන්නට බොහෝවේලාවක් නිරාහාරව සිටින්නට උත්සාහ ගන්න්නා බවක් ද දකින්නට පුළුවන්. මෙවැනි ෆාස්ටින් ක්‍රමයක් එකදිගට අනුගමනයේදී අපිට ලැබෙන අතුරු ප්‍රතිඵලයක් තමයි  රුධිරයට ශ්‍රාවය වන ට්‍රොපොමයිසීන් කියන රසායනික සංඝටකය. මේ ට්‍රොපෝමයිසීන්වලට හැකියාව පවතිනවා  අපේ අස්ථි සමඟ සම්බන්ධ වී ඇති පේශී වගේම හෘදයේ ඇති මාංශපේශී  ඉතා හොඳින් සංකෝචනය වෙලා රුධිර පරිවහනය වේගවත් කිරීම. ඒ වගේම ආහාරයක්  ගත්විට එහි ජීර්ණයේ අවසන් භාගය වන විට ආහාරයේ රැඳී තිබෙන  අපද්‍රව්‍ය ඉවත් කිරීමේ  ක්‍රියාවලියක් සිදු කෙරෙනවා. නමුත් නිතර නිතර අපි ආහාර ගන්නා විට ආඅහාර මාර්ගය දිගේ ආහාර කොටස් යවන්නට පටන් ගත්විට ආහාර ජීර්ණයෙන් පසුව සිදුවෙන ක්‍රියාවලින් සියල්ල අඩපණ වෙනවා. ඒ නිසා නිතර නිතර ආහාර ගැනීම ආහාර ජීර්ණයට වගේම පෝෂක අවශෝෂණයටත් බාධා එල්ල කරනවා.ඒ නිසා හොඳම පුරුද්ද වන්නේ ආහාර වේල් අතර කාල පරතරයක් තබාගෙන ආහාර ගැනීම.

ආහාර ගත යුතු හොඳම වේලාවන් 

උදෑසන ආහාරයට සුදුසුම වේලාව  සාමාන්‍යයෙන් ආහාර ජීර්ණයෙන් ඉතිරි වූ ආහාර කොටස් එළියට යැවීම සිදුකරන මහ බඩැවැල ඉතා හොඳින් උදෑසන 6 වෙද්දි ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා. ඒ අනුව මළපහ පිට කිරීමට එය සුදුසුම වේලාව වෙද්දි ආහාර ගබඩා කර ගන්නා ආමාශය හොඳින් ක්‍රියාත්මක වෙන්නේ උදෑසන 8 පමණ වෙද්දි. ඒ නිසා උදෑසන ආහාරය ගත යුතු හොඳම වේලාව වන්නේ උදෑසන 8.ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට අප උදෑසන ආහාරය ගත යුතු වන්නේ අවදි වී මිනිත්තු 30 ක් ඇතුළත. ඒ අනුව සුදුසුම වේලාව උදෑසන 7. ඒ අනුව තමන් උදෑසන අවදිවන වේලාව  හා දෛනික වැඩ කටයුතු අනුව සලකා බලා සුදුසු වේලාවක් උදෑසන ආහාරය සඳහා වෙන්කර ගන්න. නමුත් එය උදෑසන 8 පසුවූ පසු ගැනීමෙන් සිරුරට හානිදායක වෙනවා.ඒ වගේම උදෑසන ආහාරයට අනිවාර්යෙන්ම ප්‍රෝටීන් අඩංගු වීමත් විශේෂ කාරණයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා.

දහවල් ආහාරය ගත යුතු සුදුසුම වේලාව  දහවල් 12 පමණ වන විට අපේ රුධිර සංසරණ පද්ධතිය සහ හෘදයේ මාංශපේශීන්  ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දිවා ආහාරය ගැනීමට හොඳම වේලාව දහවල් 12. ඒ හැරුණාම සවස 2 වෙද්දි ආහාර ජීර්ණයට උපකාරී වෙන කුඩා අන්ත්‍රවල ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. ඒ නිසා ඇතැම් කෙනෙක්ට උදෑසන 8 ට උදෑසන ආහාරය ගෙන දිවා ආහාරය සවස 2 ට ගත හැකියි. සාමාන්‍යයෙන් ආහාරවේල් දෙකක් අතර කාල පරතරය අවම පැය 6 ක් හෝ තබා ගැනීම වැදගත්. නමුත් සවස 3 -4 වනතුරු දිවා ආහාරය ගැනීම පමා කිරීම සුදුසු නැහැ.

රාත්‍රී  ආහාරය සඳහා සුදුසුම වේලාව පරීක්ෂණවලින් තහවුරු වන ආකාරයට සවස 6-7 අතර කාලයේදී රාත්‍රී ආහාරය ගත යුතුයි. නමුත් යම්විටෙක සවස 2 ට දහවල් ආහාරය ගත් අයෙක් නැවත ආහාරය ගත යුත්තේ රාත්‍රී 8 ට. නමුත් දහවල් කාලයේ ඉන්සියුලින් මට්ටම වැඩිවීමත් රාත්‍රී කාලයේදී ඉන්සියුලින් අඩුවීමත් නිසා බොහෝසෙයින් රෑ වුණාට පස්සේ ආහාර ගැනීම සුදුසු නැති බව මතකයේ තබා ගන්න. මෙය වැඩි වශයෙන් මැදි වයසේ හෝ මහලු වියේ අයට අහිතකර විදියට බලපාන්නට පුළුවන් නිසා එවැනි පුද්ගලයන්ට රාත්‍රී 6  හෝ 7 වෙද්දි රාත්‍රී ආහාරය ලබාදීම ඉතාම සුදුසුයි.ඒ වගේම රාත්‍රී  ආහාරය ඔබ නින්දට යාමට පැය 3 ට පෙර ගැනීම අතිශයින්ම වැදගත්.

මේ ආකාරයට ආහාර වේල් අතර නිවැරදි පරතරයක් තබා ගැනීම නීරෝගී ජීවිතයක් උදෙසා බෙහෙවින් වැදගත් වෙනවා. ඒ අතරතුර දැනෙන පිපාසය සඳහා ජලය පමණක් පානය කල යුතු වගේම පිපාසය සංසිදුවා ගන්නට වෙනත් පලතුරු යුෂ ආදී පානයන් ගන්නට එපා. එයින් ඔබේ ඉන්සියුලින් මට්ටම වෙනස් කරනු ලබනවා.ඒ නිසා ගන්නා ආහාරවල පෝෂ්‍යාදායි බව පිළිබඳව වගේම ආහාර නිසි වේලාවට ගැනීම පිළිබඳවත් සැලකිලිමත් වන්න.