දවසට පැය කිහිපයක් නිරාහරව සිටීමෙන් දවස් 30 න් බර අඩු කරගත හැකි ක්‍රමයක්

health tips

බර අඩුකරගන්න උත්සහ කරන බොහෝ අය ඒ සඳහා විවිධ ක්‍රම උත්සහ කරනවා. ඇතැම් අය ආහාර පාලන ක්‍රම (ඩයට්) ,ව්‍යායාම කිරීම හෝ ජිම් යාම වැනි ක්‍රම අනුගමනය කරද්දි තවත් සමහරක් අය දිනක් හෝ දින කිහිපයක් නිරාහාරව සිටීම නැත්නම් උපවාස කිරීම වැනි ක්‍රම වල ද යෙදෙනවා.සාමාන්‍යයෙන් පැය 12-24ක් අතර කාලයක් උපවාසයේ යෙදෙනවා වෙන්න පුළුවන්. සමහර අය දින කිහිපයක් හෝ සති කිහිපයක් පවා එක දිගට මේ ක්‍රමය අනුගමනය කරනවා.මේ විදියට අවුරුද්දක් විතර දිගු කාලයක් උපවාස කළොත් ඔබේ සිරුරට මොනවා වේවිද? ඇත්තෙන්ම එය මනුස්සයෙක්ට කරන්න පුළුවන් දෙයක් ද?

එතරම් කාලයක් එක දිගට උපවාස කිරීම ඔබ කිසිසේත්ම උත්සහ නොකළ යුතු දෙයක් කියා මුළින්ම අප මතක් කරනවා. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වෙන්නේ එතරම් කාලයක් නිරාහාරව සිටියොත් අපේ සිරුරට කුමන ආකාරයේ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ද කියා සාකච්ඡා කිරීමටයි. බර අඩුකරගන්න උපවාස කිරීමට පටන්ගන්නවා නම්, එය් කෙටි කාලීන හෝ දිගු කාලීන හෝ වේවා, නිසි වෛද්‍ය උපදෙස් යටතේ එය සිදුකිරීමට වගබලාගන්න.

මුළින්ම උපවාස කිරීම (fasting) යනු කුමක් ද කියා බලමු!යම් කාල සීමාවක් තුළ සිතාමතාම ආහාර ගැනීමෙන් වැළකී සිටීම මේ නමින් හඳුන්වයි.ඇතැම් අය දවස පුරාම නිරාහාරව ඉද්දි තවත් සමහරු යම් කාල සීමාවකදී පමණක් ආහාර  ගනිති.එය intermittent fasting ලෙස හඳුන්වයි. කිසිඳු ආහාරයක් නොගන්නා නිසා ඔබ කැමති ඕනෑම දෙයක් පානය කළ හැකි බව සිතන්න එපා.උපවාස කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ශරීරගත වන දෛනික කැලරි ප්‍රමාණය අවම කරගැනීමයි. ඒ නිසා සීනි අධික යුෂ,සෝඩා හා සිසිල් බීම වර්ග පානය නොකරන්න.බොහෝ අය උපවාස කාලයේදී වතුර,තේ හෝ කලු කෝපි වැනි කැලරි අගය අඩු පාන වර්ග පානය කරති.මෙම පාන වර්ග මේද දහනයට ද සහය දේ.

නිරාහාරව සිටීමෙන් ඇත්තටම ප්‍රතිඵලයක් ලැබෙනවාද?

මේ සම්බන්ධව විවිධ මතිමතාන්තර බිහිවෙලා තිබෙනවා.කෙසේවෙතත් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබීම පදනම් වන්නේ ඔබේ ශරීර ස්වභාවය (body type) පදනම්ව බවයි පෙන්වාදෙන්නේ.පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රතිඵල වෙනස්වේ.මෙහිදි පුද්ගලයාගේ වයස,ශරීර බර ,ශරීරයේ ස්වභාවය හා ජාන වගේ සාධක බෙහෙවින් බලපානවා.නමුත් ඔබ හොඳ උත්සහයක් දරමින් යම් කාල සීමාවක් තුළ නිරාහාරව සිටීමට උත්සක කළොත් ඉන් ඔබට හිතකර ප්‍රතිඵල ලබාගන්නට හැකි ඉඩකඩ වැඩියි.intermittent fasting ක්‍රමය මෙහිදී හොඳ උදාහරණයක්.මෙම ක්‍රමය බර අඩුකරගැනීමට හොඳ සහයක් ලබාදෙන බව අධ්‍යයන වාර්තා 40කට අධික සංඛ්‍යාවක් මඟින් පෙන්වාදී තිබෙන බව සඳහන්. හොඳ ප්‍රතිඵල සඳහා නීරෝගි සෞඛ්‍ය සම්පන්න ආහාර පාන පමණක් ‍තෝරාගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි.එවගේම ඔබේ අරමුණ අත්නොහැරිය යුතුයි. මෙම ක්‍රමයේදී ඇතැම් විට ඔබේ ප්‍රියතම රසකැවිලි සහ ස්නැක් වර්ග අත්හැරීමට ඔබට සිදුවෙයි.සිරුරට විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන් සහ තන්තු පෝෂණය ලැබෙන ආහාර පාන වලට මූලිකත්වය දීමට සිදුවෙයි.පලතුරු,එළවළු,ධාන්‍ය,නට් වර්ග,පලා වර්ග,මාලු වගේ ආහාර වඩාත් ගුණදායීය. බර අඩුකරගැනීමේදි තන්තු බහුල ආහාර පාන ලබාගැනීම ඉතා වැදගත්.තන්තු මඟින් වැඩි වෙලාවක් බඩ පිරී තිබෙන නිසා බඩගිනි ඇතිවීම ද අවම වේ.

intermittent fasting ක්‍රමය අනුගමනය කිරීමට සුදුසුම කාලය කුමක්ද?මේ සම්බන්ධ නිශ්චිත වේලාවක් ගැන තවමත් අවසන් නිගමනයක් නැහැ.කෙසේවෙතත් ඔබ තවමත් සිටින්නේ ආරම්භක අවදියේ නම් උදෑසන 10- සවස 6 අතර කාල රාමුව මේ සඳහා වඩාත් සුදුසුයි.ඔබ දිනපතා ආහාරයට ගන්නේ සිරුරට හිතකර පෝෂ්‍යදායි ආහාර පාන පමණක් නම් දවසේ මෙම පැය කිහිපය ගෙවා දැමීම ඔබට අපහසු නොවේවි.

යම් කාලයකට සම්පූර්ණයෙන්ම ආහාර ගැනීම නතර කළොත් ඔබේ සිරුරට මොනවා වේවිද?

මේ ආකාරයේ උපවාසයකට යන්න කළින් ඔබ විසින් සැලකිලිමත් විය යුතු දේවල් බොහෝ තිබෙනවා.වෛද්‍ය උපදෙසක් යටතේ සිදුකිරීමකදී හැර කිසිඳු ආහාරයක් නොගෙන සිටීම ඔබේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් නම් එතරම් හොඳ තීරණයක් නොවේ.ක්‍රමවත්ව උපවාසය නොකළොත් ඉන් ඔබේ ආතති මට්ටම් පවා වැඩිවීමට බලපායි.හිස්බඩ සිටින නිසා ක්‍රියාශීලීව එදිනෙදා වැඩකටයුතු කිරීම අපහසු වෙන්න පුළුවන්.දින ගෙවෙද්දී ඔබේ සිරුරේ අධික තෙහෙට්‍ටුවක් හා මන්දෝත්සාහීබවක් (අලසබවක්) වර්ධනය විය හැකියි.අහිතකර උපවාස ක්‍රම නිසා ඔබේ නින්දට පවා බාධා ඇතිවිය හැකියි.

ඇන්ගස් බාර්බියේරි (Angus Barbieri) නම් පුද්ගලයා දින 382ක් නිරාහාරව සිටිමින් තමන්ගේ බර අඩුකරගන්නට සමත් වී තිබෙනවා.දීර්ඝතම උපවාස කාලයට හිමි ගිනස් වාර්තාවේ හිමිකරු වන්නේ ද ඔහුයි.වර්ෂ 1965දි ඔහුගේ බර රාත්තල් 456ක් වී තිබුණා.ස්ථූලතාව නිසා පීඩාවෙන් ජීවත් වුණු ඔහු අවසානයේ වෛද්‍ය සහය ඇතිව තමන්ගේ බර අඩුකරගැනීමට ආහාර වලින් වැළකී උපවාස කිරීමට පටන්ගත්තා.මුල් කාලයේදී ඔහු කෙටිකාලීන උපවාස වල යෙදී තිබුණා. ඔහු පානය කර තිබුණේ තේ,කෝපි සහ සෝඩා වතුර පමණයි.සිරුරට ආහාර නොලැබෙන නිසා ඊට අවශ්‍ය විටමින් වර්ග බාහිරව ලබාදී තිබුණා.ඔහු යීස්ට් ද ආහාරයට ගෙන තිබුණා.සති කිහිපයක් ගත වෙද්දි ඔහුගේ සිරුරේ පැහැදිලි වෙනස්කම් දක්නට ලැබුණා.

කෙසේවෙතත් ඔහු උත්සහය අත්නොහැර දිගටම උපවාසයේ යෙදී තිබුණා.ඔහුගේ ඉලක්කය වී තිබුණේ රාත්තල් 180ක් දක්වා බර අඩුකරගැනීමයි.ඒ සඳහා ඔහුට බර රාත්තල් 276ක් අඩුකරගැනීමට මහන්සි වීමට සිදුවුණා.ඇතැම් දින වල රෝහල් ගත වී සිටීමටත් රුධිර පරික්ෂාවන්ට භාජනය වීමටත් ඔහුට සිදුවුණා. ඔහු වැසිකිළි ගොස් තිබුණේ දින 40-50කට එක් වතාවක් බැගින් පමණයි.අවුරුද්දක් සහ දින 17කින් පසු ඔහුගේ බර රාත්තල් 180ක් දක්වා අඩුකරගැනීමට ඔහු සමත් වී තිබුණා. රුධිර ග්ලූකෝස් මට්ටම් නිසි ලෙස නියාමනය කරගැනීමට සමත් වූ නිසා මේ කාලයේදි සෞඛ්‍ය ගැටලු වලට ඔහු ගොදුරු වී තිබුණේ නැහැ.

දිගු කාලයක් ආහාර නොගැනීම නිසා ආමාශය ආහාර ප්‍රතික්ෂේප කිරීමේ ඉඩකඩ වැඩි නිසා ආහාර ගැනීම සෙමින් සෙමින් පියවරින් පියවර කිරීමට ඔහුට සිදුවුණා.ඔහුගේ පළමු උදෑසන ආහාරයට ඔහුට ලබාදී තිබුණේ තැම්බූ බිත්තරයක් සහ බටර් ගෑ පාන් පෙත්තකි.බිත්තරය ආහාරයට ගැනීමෙන් පමණක්ම ඔහුගේ බඩ පිරුණු බව ඔහු පවසා තිබුණා.එවැනි උදාහරණ තවත් තිබෙන බව වෛද්‍ය වාර්තා වල සඳහන් වෙනවා.

ඇත්තටම ඔහුට මෙය කරන්නට පුළුවන් වුණේ කොහොමද?ඔහුගේ සිරුරේ තිබූ මේද ප්‍රමාණය අධික නිසා, ඔහුගේ සිරුරේ පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට ඔහුගේ සිරුරට අපහසු වූයේ නැහැ.දින කිහිපයක් නිරාහාරව ඉද්දී සිරුරේ ගබඩා වූ එවැනි මේද දහනය වී සිරුරට අවශ්‍ය ශක්තිය නිපදවීමට පටන්ගැනෙනවා.ඔබේ සිරුර අධික ලෙස මහත නොමැතිනම් අවුරුද්දක් තරම් කාලයක් උපවාස කිරීම ඔබේ සිරුරට දරාගත නොහැකියි. ඒ නිසා නිසි උපදෙස් ලබානොගෙන මෙවැනි දේවල් උත්සහ කිරීමට යාමෙන් වළකින්න.

ඇන්ගස් ගේ ගිනස් ලෝක වාර්තාව බොහෝ අවදානම් එකක් නිසාම පසු කාලයකදී බලධාරීන් එම වාර්තා සටහන ඉවත් කිරීමට ද කටයුතු කර තිබුණා.ඇතැම් අය ඇන්ගස් ගේ වාර්තාව අභිබවා ගොස් එය බිඳ හෙළීමට සිතා මෙවැනි අවදානම් ක්‍රියා උත්සහ කිරීමට ඉඩ තිබේ යැයි බියෙන් එසේ කළ බවයි තොරතුරු වල සඳහන් වෙන්නේ.