ලෙඩ රෝගවලින් පීඩා විඳින අය දන්නවා නිරෝගීකම කොතරම් උතුම් සැපතක් ද කියලා. ඉතින් ලෙඩක් දුකක් ඇති වුණාම එයින් මිදෙන්නට අපි බොහෝ දේවල් කරනවා. ඇතැම් අය ඖෂධ ප්‍රතිකාරවලට අමතරව වෛද්‍ය නිර්දේශයකින් තොරව විවිධ දේවල් භාවිතයට ගන්නවා. නමුත් ඒවා පිළිබඳව නිසි අවබෝධයක් අප තුළ නැති වුණොත් එයින් පීඩා විඳි රෝගයට වඩා බරපතල වෙනත් ගැටළු මතු වෙන්නත් පුළුවන්. දියවැඩියා රෝගය බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් බව ඔබ දන්නවා. ඒ වගේම දියවැඩියා රෝගය බරපතල සංකූලතා ඇති කරන ඉතාම බරපතළ තත්ත්වයක්. මේ රෝගයෙන් මිදෙන්නට අනවබෝධයෙන් බොහෝ දෙනෙක් ආහාරයට එකතු කරගන්නා පැලෑටියක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ තමයි තෙඹු.
ගම්බදව වගේම නාගරික ජනතාවත් දියවැඩියාවෙන් මිදෙන්න ප්‍රත්‍යක්ෂ ඔසුවක් විදියට මේ තෙඹු භාවිතයට ගන්නවා. දියවැඩියා රෝගී තත්ත්වය නිසාම ගම්බදව වැවෙන මේ ශාකය අද නාගරිකයන් අතර වඩාත් ප්‍රසිද්ධ ශාකයක් බවට පත්වෙලා තියෙනවා. නමුත් දියවැඩියා රෝගීන් මේ ශාකය ආහාරයට ගත් පමණින් ඒ රෝගයෙන් මිදෙන්නට හැකියාවක් නැති බව ඔබ දැන සිටිය යුතුයි. ඒ වගේම මේ ශාකය අනවශ්‍ය විදිහට භාවිතයට ගත්තොත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට වුණත් සිද්ධ වෙන්න පුළුවන්.
ඉතා ඈත අතීතයේ සිටම අපේ ගැමියන් ආහාරය සඳහා එකතු කරගත්තු මේ ශාකය ඖෂධීය වටිනාකමින් ඉතාම ඉහළයි. මෙය අලංකාර සුදු ලොකු මල් පිපෙන ශාකයක්. ඒ නිසා සෑම ගෙවත්තකම වගේම මේ ශාකය වගා කරගන්නත් අපහසු නැහැ. පහතරට තෙත් කලාපය ඇතුළු ලංකාවේ බොහෝ ප්‍රදේශවල කිසිම සාත්තුවක් නැතුව මේ ශාකය වර්ධනය වෙනවා.

පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට තෙඹු පත්‍රයක කෝබෝහයිඩ්‍රේට් 44, ලිපිඩ 4, ප්‍රෝටීන 19 තන්තු සංයුතිය 12 ලෙසත් සඳහන් වෙනවා . ඒවාට අමතරව සෝඩියම්, මැග්නීසියම් සහ බොහෝ විටමින් වර්ගත් මෙහි අන්තර්ගත වෙනවා. ඒ නිසාම ආසියානු රටවල්වල මේ තෙබු පත්‍ර විවිධ ආහාර වර්ග පිසීමේදීත් භාවිතයට ගැනෙනවා.
තෙබු ශාකයේ ඖෂධීය ගුණාංග
කුසගින්න වර්ධනය කරනවා.
සෙම් රෝග සහ කැස්ස ආදි තත්ත්වයන් පාලනය කරනවා.
ඉරුවාරදයට ගුණදායකයි.
ශරීරයේ අධික උෂ්ණය නැති කරයි.
ශරීරය සිසිල් කරයි.
චර්ම රෝග සඳහා ගුණදායකයි.
සම නිරෝගී කරයි.
අක්මාව නිරෝගී කරයි.
හදවතේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි.
මල බද්ධය දුරු කරයි.
මානසික ආතතිය අවම කරයි.
අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි..
ලාදුරු රෝගයට ගුණදායකයි.
ශරීරයේ විෂහරණය කරයි.
අම්ලපිත්ත රෝගීන්ට ගුණදායකයි.
රක්තහීනතාවය දුරු කරයි .
ශරීරයේ විඩාව නැති කරයි.
සෙම් රෝගවලට ගුණදායකයි.
බ්‍රොන්කයිටිස් හෙවත් ස්වාස නාල ප්‍රදාහය සුවපත් කිරීමට දායක වෙයි.
පණු රෝග සඳහා ඉතාම ගුණදායකයි.
ලිංගික ශක්තිය වර්ධනය සඳහා උපකාරී වෙයි.
උණ රෝගය සහ ඇදුම රෝගයට සඳහා ගුණදායකයි.
රුධිරයේ සීනි මට්ටම අඩු කරයි.
කොහොම වුණත් රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමේ ප්‍රායෝගික හැකියාවක් තෙබු සතු වුණත් එය අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට බලපාන ආකාරය පිළිබඳව මෙතෙක් විද්‍යාත්මක පරීක්ෂණ සිදු නොවීම නිසා බටහිර වෛද්‍යවරුන්ටත් දියවැඩියාව සඳහා තෙබු නිර්දේශ කරන්නට හැකියාවක් ලැබී නැහැ. ඒ වගේම රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය සඳහා තෙබු ආහාරයට ගත යුතු රටාව සහ ප්‍රමාණ ගැනත් සඳහන් වෙන්නේ නැහැ .
මේ තෙබු කලවම් පලාව සඳහාත් සලාදයක් ලෙසත් මැල්ලුමක් ලෙසත් සකසා ගන්නට පුළුවන්. සීනි ක්ෂණිකව අඩුවෙන්නට හැකියාව ඇති නිසා තෙබු බොහෝ ගෘහණියන් සකසා ගන්නේ කලවම් පලාවට එකතු කොට මැල්ලුමක් ලෙසයි.
තෙඹු කොල මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
තෙඹු කොල මිටවල් දෙකක්
රතු ළූණු ගෙඩි කීපයක්
ගා ගත් පොල්
අමු මිරිස් කරල්
කරපිංචා
කහ කුඩු
අබ ඇට
ගම්මිරිස් ඇට
උම්බලකඩ කුඩු ස්වල්පයක්
දෙහි ස්වල්පයක්
රස අනුව ලුණු
තෙල් ස්වල්පයක්
මුලින්ම තෙඹු කොළ හොඳින් සෝදා දිය බේරාගෙන ඉතා සිහින්ව ලියා ගන්න. පසුව පොල්වලට කහ, ගම්මිරිස් උම්බලකඩ, රතු ලූනු, අමු මිරිස්, ලුණු ආදිය එකතු කර හොඳින් ගලේ අඹරා ගන්න. පසුව ලියාගත් තෙබු කොළවලට අඹරා ගත් පොල් මිශ්‍රණය දමා හොඳින් කලවම් කරන්න. මැටි ඇතිලියකට තෙල් ටිකක් දමා ලිප තබා තෙල් රත් වෙද්දි කරපිංචා එකතු කරන්න. ඉන්පසු අබ ටික දමා ගන්න. ඉන්පසුව සාදාගත් කොළ මිශ්‍රණය දමා කොළ පැහැය ඉවත්ව යාමට පෙර කූරු ගාමින් මලවා ගන්න. ලිපෙන් ඉවත් කර මදක් නිවුණු පසු දෙහි යුෂ එකතු කර ආහාරයට ගන්න.

දියවැඩියා රෝගීන්ට වගේම අනෙකුත් පුද්ගලයන්ටත් දිනපතාම මේ පලාව ආහාරයට ගැනීම සුදුසු නැහැ. ඒ නිසා සතියකට වරක් පමණ මෙය ආහාරයට එකතු කර ගත්තට ගැටළුවක් නැහැ. ඒ වාගේම දියවැඩියා රෝගියෙක් නම් ඔබ මේ පලාව ආහාරයට ගැනීමට පෙර ඔබේ ඖෂධ භාවිතය ගැන වෛද්‍යව උපදෙස් අනිවාර්යෙන්ම පිළිපදින්න. මොකද අසාමාන්‍ය ලෙස සීනි පහත බැසීම නිසා යම් විටෙක ඔබට බරපතළ තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වේවි. ඒ වගේම නිතරම බඩ විරේක වන රෝගීන්ටත් මේ ආහාරය එතරම් සුදුසු නොවන බවත් මතක තියාගන්න.