සෙම් රෝග සුව කරන තිබ්බටු

health tips

බටු විශේෂයන් අතුරින් තරමක තිත්ත රසයෙන් යුක්ත තිබ්බටු අපගේ ආහාර වේල් සඳහා එක්කර ගැනීමෙන් ආහාර වේලට වෙනස්ම රසයක් ලබාගත හැකිය. ඖෂධීය ගුණ රැසක් අඩංගු තිබ්බටු අපගේ ආහාර වේල රසවත් කරනවා මෙන්ම සිරුරේ පවතින ලෙඩ රෝග වලට එරෙහිව ද ක්‍රියා කිරීමට සමත් කම් දක්වයි. 

තිබ්බටු ශාකයේ ගෙඩි ආහාර ලෙස භාවිතා කරන අතරම ශාකයේ සෙසු කොටස් සියල්ලම පාහේ ඖෂධ ලෙස දේශීය වෛද්‍ය ක්‍රම ශිල්ප වල දී භාවිතයට ගනියි. අඩි 4ක් හෝ 5ක් පමණ උසට වැඩෙන තිබ්බටු ශාකයේ නිල් හා සුදු පැහැය යන දෙයාකාරයෙන්ම මල් පිපෙනු ඇත. 

තිබ්බටු වල පෝෂ පදාර්ථ රැසක් අන්තර්ගත වන අතර යකඩ, කැල්සියම්, ප්‍රෝටීන්, ආහාරමය තන්තු, කාබෝහයිඩ්‍රේට්, සින්ක්, පොස්පරස්, විටමින් ඒ, සී, බී, සැපොනින් ඇල්කලොයිඩ යනාදී වශයෙන් පෝෂ්‍ය සංඝටක අන්තර්ගත වේ. 

තිබ්බටු වල පවතින ඖෂධිය භාවිතයන් 

සෙම් රෝග වලට එරෙහිව ක්‍රියා කරයි. විශේෂයෙන් මෙහිදී නරක් වූ සෙම ඉවත් කිරීමටත්, හුස්ම ගැනීමේ අපහසුතාවයන් දුරු කිරීමටත්, කැස්ස, සෙම්ප්‍රතික්ෂාව, උගුර බැරැන්ඩි වීම ආදී වශයෙන් ඇතිවන සියලු සෙම් රෝග සඳහා තිබ්බටු ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මේ සඳහා තිබ්බටු ගෙඩි ගෙන හොඳින් වියළා කුඩුකර එම කුඩු මිශ්‍රණය තේ මෙන් සකසා පානය කිරීම මගින් සෙම් රෝග දුරු කරගත හැකිය. 

දියවැඩියාව රෝගී තත්ත්වය පාලනය කරයි.රුධිරයේ අහිතකර ව වර්ධනය වන සීනි මට්ටම පාලනය කිරීම සඳහා තිබ්බටු වඩාත් යෝග්‍ය වෙයි. මෙහිදී තිබ්බටු කොළ හොඳින් වේලා කුඩුකර දිනකට එක් වරක් පමණ එම කුඩු ස්වල්පයක් තේ මෙන් සකසා පානය කිරීම දියවැඩියාව පාලනය සඳහා යෝග්‍ය වේ. 

හිසකෙස් ආශ්‍රිත රෝග සුව කරයි. විශේෂයෙන් හිසකෙස් උඳුගොව්වන් විසින් කන ලද අවස්ථාවලදී ඉදුණු තිබ්බටු ගෙඩි හොඳින් කොටා තල තෙල් සමඟ මිශ්‍රකර ආලේප කිරීම වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම හිසෙහි ඉස්සොරි බහුලව පවතින විට තිබ්බටු තලා හිසෙහි ආලේප කර මද වේලාවක් තබා සෝදා හැරීම මගින් හිස්සොරි මර්ධනය කරගත හැකිය. 

දත් කැක්කුම සුව කරයි.ලෝකයේ පවතින දරුණුම වේදනාවන් අතුරින් එකක් ලෙස දත් කැක්කුම පෙන්වා දිය හැකිය. එම වේදනාව සමනය කර ගැනීම සඳහා තිබ්බටු ගෙඩි පුළුස්සා එම අළු ආලේප කිරීම සුදුසුයි. මෙමගින් දත්වල ඇතිවන හිරිවැටීම පවා නතර වනු ඇත. 

ඇදුම රෝගය සුව කරයි. තිබ්බටු ශාකය කපා හොඳින් වියළා කොත්තමල්ලි සමග මිශ්‍රකර තම්බා එම ජලය පානය කිරීම මගින් ඇදුම රෝගය සුවපත් කරගත හැකිය. 

සමේ රෝග සුව කරයි. විශේෂයෙන් උෂ්ණාධික කාලයේ දී සමේ ඇතිවන ආසාදන තත්ත්වයන් වලදී වෙනිවැල්ගැට කැබැල්ලක් සමඟ තිබ්බටු ශාකයේ කොටස් වෙලාගෙන තම්බා එම ජලයෙන් ඇඟ සේදීම සුවපත්භාවයට පත් වීමට මගකි. 

ඔසප් වේදනා දුරු කරයි. මාසිකව ඇතිවන ඔසප් වේදනාවන් වල දී තිබ්බටු තම්බා එම යුෂ පානය කිරීම මඟින් එම වේදනාව සමනය කරගත හැකිය. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කිරීමේ හැකියාව පවතී. එබැවින් මාස් ශුද්ධියේ දී රුධිර වහනය අඩු නම් එම කාලයේ දී තිබ්බටු ආහාරයට එක්කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. කෙසේ නමුත් දරුවන් ලැබූ මුල් කාලය තුළ ආහාරයට ගැනීම සුදුසු වුවත් රුධිරය පිටවීම වැඩි අය තිබ්බටු අහාරයට නොගත යුතු ය. ඉහත රෝගවලට අමතරව. 

  • පණු රෝග දුරු කරයි.
  • හදවත උත්තේජනය කරයි.
  • රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්ත වේ.
  • අස්ථි ශක්තිමත් කිරීමට සමත් වේ.
  • ඉදිමුම් වේදනාවන් සමනය කරයි.
  • ආහාර රුචිය වඩවයි.
  • ආමාශගත රෝග සඳහා යෝග්‍ය වේ.
  • මුත්‍රා ගල් දිය කරයි.
  • මාන්දම සඳහා යෝග්‍ය වෙයි.
  • අක්ෂි නිරෝගීමත් කරයි. ආදී වශයෙන් ශරීරයේ ඇති වන්නාවූ බොහෝ ලෙඩ රෝග සඳහා තිබ්බටු ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. 

තිබ්බටු ශරීරයට ගුණදායක ආහාරයක් වන නිසාවෙන් විවිධාකාරයට සකසනු ලබයි. සාමාන්‍ය පරිදි ව්‍යංජනයක් ආකාරයට, බැදුමක් ආකාරයට හෝ මැල්ලුමක් ආකාරයට ආහාර පාන රසවත් කර ගැනීම සඳහා භාවිතා කළ හැකිය. ඊට අමතරව තිබ්බටු සාම්බාරු හොද්දක් මෙන්,කූනි සම්බල් ආකාරයට, සෝස් ලෙස, සුප් ආදී වශයෙන් තිබ්බටු ආහාරයට එක්කර ගත හැකිය. 

මේ අනුව පැහැදිලි වන්නේ තිබ්බටු යනු ඖෂධීය ගුණ රැසක් අඩංගු ආහාරයක් බවයි. වගා කිරීමකින් තොරව වුවද ඉතා පහසුවෙන් වැවෙන මෙම ශාකය වියලි කලාපය තුල බහුලව දැකගත හැකිය. මෙහි පවතින ගුණ නිසාවෙන්ම වර්තමානය වන විට තිබ්බටු වල වාණිජ වටිනාකම ද ඉහළින් ම පවතී.