උදේ නැගිට්ට ගමන් හිස්බඩ කවදාවත් නොකළ යුතු දේවල් 7ක්

health tips

අප  කන බොන කරන කියන හැම දෙයක්ම අපේ ශරීර සෞඛ්‍යයට බලපෑම් කරනවා. ඇතැම් වෙලාවට අපි ඇබ්බැහි වෙලා ඉන්න ඇතැම් පුරුදුවලින් අපිට මිදෙන්නට තරමක් අසීරුයි. නමුත්  නිරෝගීව ඉන්නට නම් ජීවිතය සාර්ථක කරගන්නට ඕන නම් අපිට සිද්ධ වෙනවා ඒ පුරුදු කොතරම් අපේ ජීවිතයට සමීප වුණත් ඒවායින් මිදෙන්නට. ඉතින් අපි අද ඔයාට කියන්න සූදානම් වෙන්නේ කවදාවත් උදෑසනට නොකළ යුතු දේවල් කීපයක් ගැන. දවස පටන් ගන්න කොට හිස්බඩම මේ දේවල් කරනවා නම් අදම මේවා නතර කරන්න.

කෝපි පානය ඇතැම් අය උදෑසන අවදි වූ විගසම කෝපි කෝප්පයක් පානයට පුරුදු වෙලා ඉන්නවා.  ආහාරයක් ගන්නේ නැතිව හිස්බඩම කෝපි පානය කරනවා  කියන්නේ අපේ ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකර බලපෑම් ඇති වෙනවා කියන එක. කෝපිවලින් ආමාශයේ ඇසිඩ් නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඒ විතරක්ම නෙවෙයි හිස්බඩ කෝපි පානය නිසා ශරීරයේ serotonin නිෂ්පාදනය අඩාල වෙලා දවස පුරාම මලානික සහ දුක්බර ස්වභාවයක් ඇතිවෙනවා. ඉතින් ඒ නිසා කෝපි පානයට ගන්නවා නම් කිරි එක්ක මිශ්‍ර කරලා පානයට ගන්න වග බලා ගන්න. 

මත්පැන් පානය මත්ද්‍රව්‍ය භාවිතා කරන එක කොහොමත් අපේ ශරීරයට හිතකර නැති පුරුද්දක් කියලා අපි හැමෝම දන්නවා. ඒත් මත්පැන් පානයට හුරුවුණු කෙනෙක් ඇතැම් වෙලාවට උදෑසන හිස්බඩ මත්පැන් පානය කළොත් එයින් ශරීරයට වන හානිකර බලපෑම ඉතාම වැඩියි. ඒ විෂ  අපේ ශරීරයට දෙගුණයකින් අවශෝෂණය වෙනවා. මේ නිසා අක්මාවට වගේම වකුගඩුවලටත් ඉතාම බරපතළ ලෙස හානි සිද්ධ වෙන්න පුළුවන්.

වේදනා නාශක භාවිතය උදෑසන හිස් බඩ කොතරම් අපහසුතා තිබුණත් වේදනා නාශක ලබා ගැනීම එතරම්  සුදුසු නැහැ.පොඩි අමාරුවකදී  වුණත් ඔබ භාවිතා කරන වේදනා නාශක හිස්බඩ ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා විතරක් නෙවෙයි ආමාශය ආශ්‍රිතව රුධිර වහනයක් පවා සිද්ධ වෙන්නට මේ වේදනානාශක හේතු වෙනවා .

චුයින්ගම් හැපීම යොවුන් වයසේ පසුවන බහුතරයක් දෙනා වෙලාවක් අවේලාවක් නැතිව චුයින්ගම් හපන්න පුරුද්දක් කරගෙන තියෙනවා. උදෑසන හිස්බඩ චුයින්ගම් හපද්දි වැඩි වශයෙන් ජීර්ණ යුෂ නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා. ඒත් ජීර්ණය කරන්න ආහාරයක් නැති නිසා  එය ආමාශයේ බිත්ති විනාශ වී අමිල පිත්ත රෝගයට ඔබ ගොදුරු වෙන්න  හේතුවක් වෙනවා.

පැඟිරි සහිත යුෂ වර්ග පානය අහිතකර මේදය නැති කර ගන්න ශරීරයේ බර අඩුකර ගන්න එක වතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් එකතු කරල පානය කිරීම ගැටළුවක් නැහැ. නමුත් හිස්බඩ ලෙමන් යුෂ හෝ දෙහි යුෂ වගේ  පැගිරි යුෂ වර්ගයක් පානය කරන එක අපේ ශරීරයට එතරම් හොඳ නැහැ. මේ නිසා උදරයේ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් වගේ අපහසුතා ඔබට ඇති වෙන්න පුළුවන්.

සීනි සහිත ආහාර ලබා ගැනීම උදෑසන හිස්බඩ සීනි අධික ආහාර ගැනීමට හුරු වීම අපේ ශරීර සෞඛ්‍යයට හිතකර නැහැ. විශේෂයෙන්ම  ඔබ සීරියල් වර්ග ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් සීනි සහිත කිරි සහ පළතුරු මිශ්‍ර කිරීම සුදුසු නැහැ. උදේ කාලයේදී සීනි අධිකව  ආහාරයට  ගැනීමෙන් අපේ රුධිරයට සීනි එකතු වන ප්‍රමාණය වැඩි වෙනවා.

 උදෑසනින් හිස්බඩ නොගත යුතු ආහාර ගැන විතරක් නෙවෙයි නොකළ යුතු වෙනත් පුරුදුත් කිහිපයක්ම තියෙනවා.

මුහුණ පමණක් සේදීම බොහෝ අය පුරුදු වෙලා ඉන්නේ උදෑසන අවදි  වුණාට පස්සේ මූණ විතරක් හෝදන්නයි. හැබැයි නැවුම්ව දවස ගත කරන්න යහපත් සිතුවිලිවලින් දවස ආරම්භ කරන්නට නම් මුහුණ පමණක්  සෝදනවට වඩා ඇඟ හෝදගන්න එක ශරීර සෞඛ්‍යයට වගේ මනසටත් ඉතා හොඳ සැහැල්ලුවක් ලබා දෙනවා .

නමුත් උණු ජලයෙන් ඇඟ සේදීම  නම් එතරම් හොඳ නැහැ . උණු වතුරෙන් ඇඟ සේදීමෙන් පසුව කම්මැලිකමක් දැනෙනවා. ඒ විතරක් නෙවෙයි සම වියළි වීමේ අවදානමකුත් තියෙනවා. නමුත් සිසිල් ජලයෙන්  ඇඟ සේදීමෙන් ප්‍රබෝධයෙන් දවස ගත කරන්න පුළුවන්. එය මොළය වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය උත්තේජනයටත් උදව්වක්. 

අන්තර්ජාලයේ සැරිසැරීම සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්නට නම් මේ පුරුද්දෙන් අත් මිදෙන්නට ඔබට සිද්ධ වෙනවා. උදේ නැගිට්ට ගමන්  අන්තර්ජාලයේ  සැරිසැරීම ඔබේ කාලය නාස්ති කිරීමක් වගේම ඔබේ මනසටත් එය හානියක්. ඒ වගේම උදෑසන ඊමේල්  චෙක් කිරීමත්  එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඔබ උදෑසනට කළ යුත්තේ මිහිරි  සංගීතයකට සවන්දීම, ව්‍යායාම්වල නිරත වීම සහ පවුලේ සාමාජිකයන් සමඟ ආදරයෙන් දවස ප්‍රබෝධමත්ව ආරම්භ කිරීම.  

 ඒ වගේම තමයි උදේට පත්තර කියවන එක ප්‍රවෘත්ති නරඹන එක ආදී හැම දෙයක්ම  සාර්ථක ජීවිතයක් ගත කරන්නට නම් විශාල බාධාවක්. අපි දවස පටන් ගනිද්දී අපේ ශරීර සෞඛ්‍යය ගැනත්  අපි මානසික සැහැල්ලුව ප්‍රබෝධය ගැනත්  වැඩිපුර හිතන්න ඕන. එතකොට තමයි දවසේ වැඩ කටයුතු සියල්ලක්ම හොඳින් කළමනාකරණය කරගෙන හොඳින් දවස ගත කරන්නට හැකියාව ලැබෙන්නේ.