දවල් ආහාරය ගන්න විට කිසිදා සිදු නොකර යුතු දේවල් 11 ක්

health tips

වාහනයකට ඉන්ධන අවශ්‍ය වෙනවා වගේම අපේ දේහයට ශක්තිය සහ පෝෂණය ලැබෙන්නේ අපි ගන්නා ආහාරවලින්. දිනකට ප්‍රධාන වේල් තුනක් අපි ආහාර ගන්නවා අමතර ආහාරවේල් හැරුණාම. නමුත් අපි අපේ ප්‍රධාන ආහාරවේල් ලබා ගනිද්දි ඒසඳහා තෝරා  ගන්නා දේවල් නම් අපේ සෞඛ්‍යට එතරම් හිතකර නොවෙන අවස්ථා තියෙනවා.  මොකද බොහෝවෙලාවට අපිට උදේ ආහාරය  මගහැරෙනවා. දවල් ආහාරය කාර්යාලය හෝ වෙනත් නිවසින් පිට ස්ථානයකදී ලබා ගන්නවා. රාත්‍රී ආහාරය තමයි බොහෝවෙලාවට නිවසේ ආදරණීයන් එක්ක ගන්නට ලැබෙන්නේ. ඒ නිසාම උදේට හිගන්නෙක් වගේ ආහාර ගන්නා අපි රාත්‍රී ආහාරය රජෙක් ලබා ගන්නවා. නමුත් නීරෝගීව ජීවත් වෙන්නට නම් අපි උදෑසන ආහාරවේල රජෙක් වගේ ලබාගෙන දිවා ආහාරය සිටුවරයෙක් ලෙස  ලබාගෙන රාත්‍රී ආහාරය හිගන්නෙක් ආකාරයටයි ලබාගත යුත්තේ.

 අවාසනාවට අද පාසල් යන දරුවා පවා කාර්යබහුල ජීවිතයකට නැඹුරු වෙලා සිටින නිසා මේ ක්‍රමවේදයට අනුව අපට ආහාර ලබා ගන්නට ඉඩකඩ නැහැ. කුසගින්න ඇතත් නැතත්  ගුණයෙන් හීන වුණත්  ආහාරයක් බඩට අවශ්‍ය නිසා ගන්නා නිසාම අපි බොහෝ ලෙඩවලට නොදැනීම ගොදුරු වෙනවා. නමුත් අපේ දේහයට ගන්නා ආහාරවේල ගැන සුළුවෙන් සිතන්නට එපා.  ඒ නිසාමයි අපි නොදැනුවත්වම  ආහාර ගන්නා විට කරන වැරදි කිහිපයක් පිළිබඳව  ඔබ සමඟ කතා කරන්නට කල්පනා කළේ.

උදෑසන ආහාරය වගේම දිවා ආහාරයත් අපේ දේහයට අතිශයින්ම වැදගත්. සාමාන්‍යයෙන් දිවා ආහාරය අපිට බොහෝ වෙලාවට ලබා ගන්නට සිදු වෙන්නේ නිවසෙන් පිටදී. ඒ නිසාම දිවා ආහාරය ගැනීමේදී  දේහයේ නිරෝගි බවට බාධා ඇති කරන  වැරදි කිහිපයක්ම අපෙන් සිදු වෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.

දිනපතාම පිටතින් ආහාර ගැනීම මුලින් සඳහන් කළා වගේම දිවා ආහාරය නිවසින් පිටතදී ලබා ගන්නට සිදු වෙන නිසා එය ගුණාත්මක ආහාරවේලක් වෙන්නේ ඉතාම කලාතුරකින්. බොහෝදෙනෙක් දිවා ආහාරය නිවසේදී සකස් කරගෙන රැකියාවට ගියත් තවත් අය දිනපතාම දිවා ආහාරය ආපනශාලාවකින් ලබා ගන්නවා.  පර්යේෂණවලින් සොයාගෙන තියෙන ආකාරයට මේ ආපනශාලාවල ඇති ආහාරවල අපි නිවසේදී පිළියෙල කර ගන්නා ආහාරවලට වඩා එකතු කරන තෙල් ප්‍රමාණය සහ ලුණු ප්‍රමාණය අධිකයි. ඒ වගේම වරක් භාවිතා කරන ලද තෙල් නැවත ආහාර පිසීමේදී භාවිතා කරන නිසා එය පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ නංවන්නත් හේතුවක් වෙනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම නිවසේ පිළියෙල කරන ලද ආහාර ලබා ගන්නට කටයුතු කරන්න.

ආහාර ගන්නා අතරේ දුරකතනය භාවිතා කිරීම ආහාර ගන්නා අතරේ දුරකථනය භාවිතා කිරීම අද සුලබ දසුනක්. නමුත් එය අපි ගන්නා ආහාරය ගැන ඇති අවධානය අඩුකරන්නට හේතුවෙන නිසා අපි ලබා ගන්නා ආහාර ප්‍රමාණය ගැනත්  අවධානයක් යොමු වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අපේ බඩට කෑම අධික ප්‍රමාණයක් ඇතුල් වෙනවා. ඒ වගේම සැහැල්ලුවෙන් ආහාර ලබා ගන්නට ඉඩක් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා ආහාර ලබා ගන්නා අවස්ථාවේදී හෝ දුරකථනය භාවිතයෙන් ඈත් කර තබා ගන්න.

මේසයක සිට ආහාර ලබා නොගැනීම විශේෂයෙන්ම ඔබ කාර්යාලයේදී ආහාර ගන්නා මේසයේ හිද ආහාර නොගෙන වැඩ කරන මේසයේදීම ආහාර ලබා ගන්නා අයෙක් නම් ඔබට වැඩිපුර ආහාර ලබා ගන්නට එය හේතුවක් වෙනවා.මේ බව පර්යේෂණවලින් ද සොයාගෙන තියෙනවා. ඒ නිසා ආහාර ලබා ගන්නා විට මේසයක වාඩිවී වේලාව අරගෙන එය ලබා ගන්නා එක තමයි වඩාත් සුදුසු.

කොළ පැහැ එළවලු  නොගැනීම දිවා  ආහාරය සඳහා කොළ පැහැ එළවලු  පලා වර්ගයක් එකතු නොවීම කියන්නේ අපි ගන්නා ආහාරවේලේ විශාල පෝෂණ පරතරයක් නිර්මාණය වීමයි. අපේ ශරීරයට අවශ්‍ය පෝශය පදාර්ථ ලබාදෙන කොළ පැහැ එළවලු ආදිය මගහැරීම කියන්නේ පෝෂණ බොහොමයක් අපේ දේහයට අහිමි වී යාම. ඒ නිසා දිවා ආහාරය සඳහා කොළ පැහැ එළවලු එකතු කර  ගැනීම ඔබ මගහරින්නට නම් එපා.

කෝපි පානය කිරීම දිවා ආහාරයෙන් පසුව කෝපි පානය කරන්නට පුරුදුවෙලා සිටීමත් එතරම් හිතකර පුරුද්දක් නම් නෙවෙයි.එය ඔබේ රාත්‍රී  නින්දට බාධා ඇති කරන්නට සමත් වෙන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙන නිසා ඒ පිළිබඳව  ඔබ සැලකිලිමත් වෙන්න.

දිවා ආහාරය පමා වී හෝ වේලාසනින් ලබා ගැනීම ලබා ගන්නා ආහාර වගේම ආහාර ගන්නා වේලාවත් අතිශයින්ම වැදගත්. ආහාරවේලෙන් දේහයට නිසි පෝෂණයක් ලබාගන්නට නම් දිවා ආහාරය ඇතුළු සෑම ප්‍රධාන ආහාර වේලක්ම සුදුසු වේලාවට ලබාගත යුතු වෙනවා. අපේ වැඩ කටයුතු එක්ක මෙය මගහැරී යන නමුත් උදෑසන ආහාරයෙන් පැය 6 ක් ගත වීමෙන් කුසගිනි ඇතිවූ විට ආහාර ලබා  ගැනීම තමයි වඩාත් සුදුසු.

සලාද කොළ දේහ බර අඩුකර ගන්නට සලාද කොළ පමණක් දිවා ආහාරය සඳහා ගන්නා අයත් අප අතරේ ඕනෑ තරම් ඉන්නවා .කැලරි  අඩු ආහාරයක් වන සලාද කොළවලින් අපේ දේහයට ලැබෙන්නේ අඩු පෝෂණයක්. ඒ නිසා කෙට්ටු වීමට  සලාද කොළ විතරක් ආහාරයට නොගෙන එයට තක්කාලි, කුකුල් මස් හෝ කඩල වගේ ධානය වර්ගයකුත් එකතු කර ගන්නට ඔබට පුළුවන්.  

පෙති පාන් බොහෝදෙනෙක් ලෙහෙසියට පහසුවට පෙති පාන් වැඩි වශයෙන් ආහාරයට ගන්නවා. එය උදේ ආහාරය දිවා ආහාරය ද යන්නත් ඔවුන් කල්පනා කරන්නේ නැහැ. පෙති පාන් සලාද සමඟ ආහාරයට ගන්නවා වගේම සැන්විච් සකස් කරන්නටත් භාවිතා කරනවා. මෙය අපේ දේහයට ඉතා අහිතකර වන පුරුද්දක් බව මතක තබා ගන්න. ඒ වගේම ප්‍රධාන ආහාරවේලට පෙති පාන් හෝ වෙනත් සීනි සහ මේද අධික රසකැවිලි ආහාරයට ගැනීම නම් කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ.

සෝඩා වර්ග පානය අද බොහෝදෙනෙක් ආහාර ගැනීමත්  සමඟ  සෝඩා  වර්ගයක් පානය කරන්නට පුරුදු වෙලා ඉන්නවා. නමුත් සෝඩාවල අඩංගු වෙන සීනි ප්‍රමාණය දෛනිකව දේහයට  ලැබිය යුතු සීනි ප්‍රමාණයට වඩා ඉහළ අගයක පවතිනවා. ඒ වගේම මේ සෝඩාවල ශරීරයේ බර වැඩි කරන්නත් පිළිකා රෝග ඇති කරන්නත් හේතුවෙන කෘතීම රසකාරකත් අඩංගු වෙනවා. ඒ නිසා එවැනි පුරුදුවලින් ඈත්වීම වඩාත් සුදුසු වෙනවා.

ප්ලාස්ටික් බදුන්වල මයික්‍රොවේව් කර ආහාර රැගෙන යාම මෙය බොහෝවිට රැකියාවට යන අය සිදු කරන වැරැද්දක්. ප්ලාස්ටික් බදුන්වල ආහාර මයික්‍රොවේව් කිරීමෙන් ඒ භාජනවල තියෙන රළු  රසායනික ද්‍රව්‍ය ආහාරවලට එකතු වෙන නිසා එය ඒ ශරීර සෞඛ්‍යයට විශාල අහිතකර බලපෑමක් වන්නට පුළුවන්.

දිවා ආහාරය මගහැරීම මග නොහැරිය යුතු ආහාර වේල් අතරින් එකක්  තමයි දිවා ආහාරය. මොනතරම් කාර්යබහුල වුණත් ඔබ ඔබේ දිවා ආහාරය ලබා ගන්නා  එක අමතක කරන්නට එපා.

ඉතින් දිවා  ආහාරවේලේදී වගේම අනෙකුත් ආහාරවේල් ගැනීමේදීත් ඔබ අතින් මේ වැරදි සිදු වෙනවා නම් ඒවා අද පටන් හෝ නතර කරන්නට ඔබ වගබලා ගන්න. මොකද සෑම ආහාර වේලක්ම  අපේ ශරීරයේ පැවැත්මට අතිශයින්ම වැදගත් වන නිසා  අපි ගන්නා ආහාරවේල සමබල සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලෙස ලබා ගන්නට ඔබ නිරන්තරයෙන් උනන්දු වෙන්න.