හිතන්නවත් බැරි දේවල් කරන්න පුළුවන් තෙවන ඇස

health tips

සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට තියෙන්නේ ඇස් දෙකයි නෙ. මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට ඉතා පහසුවෙන් දකින්නටත් අවබෝධ කරගන්නටත්  හැකියාව එයින් ලැබෙනවා. ඒත් පියවි ඇසට නොපෙනෙන බොහෝ දේවල් තියෙනවා. විදුලිය අපට පේන්නේ නැති වුණත් සිරුරට ස්පර්ශ වුණාම දැනෙනවා. ඒ වගේමයි සුළඟත්. සාමාන්‍ය මිනිසුන්ට අනිත් අයගේ සිතුවිලි දකින්නට බැහැ නේ.ඒත් අපේ පියවි ඇසට හසු වෙන්නේ නැති ඒ වගේ ද්‍රව්‍ය  වගේම ජීවීනුත් ඉන්නවා. ඒත් ඇස ඉක්මවා ලෝකය දැකීමේ හැකියාවක් මිනිසා සතු වෙනවා. ඒත් ඒ ශක්තිය සියලුම මිනිසුන්ට ලෙහෙසියෙන් පහසුවෙන් නම් ලබා ගන්නට බැහැ. ඒත් මේ ඇස භෞතික ඇසක් නම් නෙවෙයි. ඉතින් ඔය නළලේ ඇති තුන්වන ඇස ටෙලිකතා චිත්‍රපටිවල නම් හැමෝම වගේ දැකලා ඇති. ඒත් සැබෑවටම නළල මැද කපලා බැලුවට නම් ඇසක් දකින්නට නැහැ. ඒ වගේමයි මේ තෙවනි ඇස විවෘත කරගන්නටත් නිවැරදි ක්‍රමවේද තියෙනවා. 

බොහෝ අය ශිව දෙවියන් ගැන අහල ඇති .මරණයේ සහ විනාශයේ දෙවියන් විදියට සලකන්නේ ශිව දෙවියෝ.ශිව දෙවියන් සම්බන්ධ සියලුම ආගමික ග්‍රන්ථවල  ශිව දෙවියන් ඇස් තුනක් ඇති දෙවියෙක් බව සඳහන් වෙනවා. ඒත් ඒ තුන්වන ඇස පිටුපස තියෙන කතා නම් බොහෝමයි. ශිව දෙවියන් තෙවන ඇස විවර කරන සැම විටම හදිසි කරදරයක් ඇති කරන බවට සඳහන් වෙනවා. තවත් කතාවක් නම් පාර්වතී දේවතාවිය වරක් විනෝදයට ශිව දෙවියන්ගේ දෑස් වසා ගත්විට මුළු විශ්වයම අඳුරු වුණු නිසා විශ්වයට විදුලි පහන් ගෙන එන්නට ශිව දෙවියන්ට තෙවැනි ඇස විවෘත කරන්නට සිදුවුණ බව.

ඉතින් මේ ලෝකයේ අපිට පෙනෙන අහන දේට වඩා නොපෙනෙන සියුම් දේවල් බොහෝමයක් තියෙනවා. මිනිසාට වගේම දෙවියන්ට ඇතැයි කියන දිව්‍ය කන දිව්‍ය ඇස මිනිසාට ලබා ගන්නට හැකියි.එය උත්සාහයෙන් භාවනා කර ලබාගත යුතු දෙයක්. මිනිසාට උත්පත්තියේදී ම මේ දිව්‍ය  ඇස ලැබුණත් බොහෝ උත්සාහයෙන් කැපවීමෙන් භාවනා දියුණු කිරීම් ඔස්සේ වැසුම් ඉවත්කර පාදා ගත යුත්තක්. මිනිස් ඇසින් දකින්න නොහැකි දේ දිව ඇසින් දකින්නට හැකියාව තියෙනවා.මනුස්ස ලෝකයේත් මේ හැකියාව තියෙන අය ඉන්නවා. මෙවැනි හැකියාවන් තියෙන ඍෂිවරු බොහෝ දෙනෙක් පසු ගිය ශතවර්ෂවල මේ ලෝකයේ ජීවත්වෙලා තියෙනවා.

මිනිස් ශරීරයේ විශ්ව ශක්තිය ගලායන මාර්ග තියෙනවා.ශරීරයේ හැඩයටම සකස්වෙලා තියෙන ශක්ති මාර්ග තියෙනවා. ඒ වගේ ශක්තිය රැස්වෙන ස්ථාන හතක් තියෙනවා.ඍෂිවරු මේ ස්ථාන කුණ්ඩලනි චක්‍ර කියලා. මේ ශක්තිය භාවිතා කරන්න පුළුවන් තත්ත්වයට පත්කර ගන්නට යෝගාසන ප්‍රණයාම හා යෝග භාවනා වඩන්නට ඕන.මේ කුණ්ඩලනී ශක්ති චක්‍රවලින් නළල මැද තියෙන චක්‍රයට කියන්නේ ආඥා චක්‍රය කියලා.ඒ චක්‍රය තමයි තෙවනි ඇස වෙන්නේ.ඍෂි ඇස කියන්නෙත් තෙවනි ඇසටමයි. ඒක පිහිටලා තියෙන්නේ නළල මැද සිරස් අතට නළල් අස්ථියත් මොළයත් අතර. බොහෝ විද්වතුන් කියන විදියට තෙවනි ඇස කියන්නේ මනුෂ්‍යයන් ඇති වුණ මුල්ම කාලයේ සිටි මිනිසුන්ට ස්වාභාවිකව තිබිලා අද වෙනකොට නෂ්ටවෙලා ගිහින් තියෙන හැකියාවක්.

තෙවැනි ඇස අවධිවීමේදී දෙවියන්ට සමාන බලයක් ශක්තියක් ලැබෙනවා. තෙවනි ඇස විවෘත කර ගැනීමෙන් ලැබෙන අධි මානසික හැකියාවන් අතර රාත්‍රියේ දී දහවල් කාලයේදී වගේම පරිසරය පෙනීම, දුර තියෙන දේවල් දැකීම, සෛල තරම් කුඩා දේවල් දැකිම,පෙර ආත්ම අනාගත ආත්ම දැකීම,අමුනුෂ්‍යයන් දෙවියන් හා ඔවුන්ගේ ලෝක දැකීම, එක් තැනකින් අතුරුදහන්වෙලා තවත් තැනකින් මතුවීම, මනුෂ්‍යයන් සහ සතුන් මෝහනය කිරීම,ශරීරයෙන් සිත වෙන්කර ගැනීම, ශරීරය පොළවෙන් ඉහළට එසවීම ඉන් කිහිපයක්.

දෙවියන්ට දිව්‍ය ඇස ඕපපාතිකව පහළ වෙන්නේ පින නිසා වුවත් මනුෂ්‍යයන්ට ඒ සඳහා භාවනාව යොදා ගත හැකියි.එවිට මිනිස් ඇසින් දකින්නට නොහැකි බොහෝ දේ දකින්නටත්, මිනිස් කනින් අසන්නට නොහැකි බොහෝ දෑ අසන්නටත් හැකියාව ලැබෙනවා. 

සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වය ඉක්මවා යන දිව්‍යමය ස්වභාවයකට පත්වෙන්න හැකියාව ලැබෙන නළලේ ඇස විවර කරගන්නට නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන. බොහෝ ඍෂිවරු කියන විදියට මේ සඳහා නිවැරදිම ක්‍රමය භාවනා ක්‍රමයයි. ඒ සඳහා යෝගාසනප්‍රනයාම, යෝගා ආදී භාවනා ක්‍රම ප්‍රගුණ කරන්න ඕන.ඉතින් මේ තෙවනි ඇස පටල 7කින් වැසී තියෙන බවයි කියවෙන්නේ.ඒ පටල 7 ඉවත් වුණාම  සිදුරක් ඇතිවෙලා විශාල ආලෝක ධාරාවක් හිස මධ්‍යයේ ඉඳල දෙබැම මැදින් ඉදිරිපසට ගමන් කරන බව සඳහන්.

 එහිදී ඒ ආලෝක ධාරාව දස දිශාවන්ට පැතිරිලා ශරීරයේ වගේම බාහිර ලෝකයේත් ඇති නොපෙනෙන පෙනෙන සැමදේම පෙනෙන්න ගන්නවා. කඳුවැටි හරහා ආලෝකය ගමන් කරමින් සියලුම දේ දර්ශනය වෙමින් සාමාන්‍ය ඇසකින් දකින්නට නොහැකි දෑ විනිවිදව දකින්නට ලැබෙනවා. අන් අය සිතන පතන දේ පවා දැක ගන්නට මේ තෙවනි ඇසට හැකිවෙන බවයි සඳහන් වෙන්නේ.ඉතින් මේ තෙවනි ඇස පෙති දහසකින් යුක්ත නෙළුම් මලකට උපමා කර ඇත්තේ ඒ නිසාවෙන් බව සිතන්නට වෙනවා.

මේ ලෝකයේ මිනිසුන්ට දකින්නට නොහැකි බොහෝ දේ දකින්නට මනස දියුණු කරන්නට බුදුන් වහන්සේ දේශනා කර තියෙන්නේත් මෙවැනි ක්‍රමවේදයක්මයි. බුද්ධකාලීන භාරතයේ සිටි රහතන් වහන්සේලාට මේ අද කියන තෙවන ඇස පිහිටි බව අපිට පිළිගන්නම වෙනවා. පර සිත් දකින්නට, පෙර ආත්මභාවයන් දකින්නට, අහසින් ගමන් කරන්නට තිබූ හැකියාවත් මෙවැනිම වූ භාවනාවෙන් මනස දියුණු කර ගැනීමක්. 

ඉතින් මේ තෙවන ඇස විවර කරගන්නටත් අවශ්‍ය  වෙන්නේ පින නොව උත්සාහයයි. මානසික ඒකාග්‍රතාවයයි. පෘතග්ජන මිනිසුන්ට සතු නොවන එක් දෙයක් තමයි සිහි ඇති බව.ඒත් එදිනෙදා ජීවිතයේ කටයුතු කරගෙන යාමේදී අප තුළ තිබිය යුත්තේ සවිඥානික බව නැත්නම් මනා සිහිය. අපේ බොහෝ අයට නැත්තෙත් ඒකමයි. ඒත් ඒ යෝගාවචරයන් අතර මැනවින් පවතින පිරිසිදු සිහියක් පවතිනවා.භාවනාවෙන් උපරිමය කරා යද්දී මේ සිහිය ඇතිවෙන බව සඳහන් වෙනවා.එවිට කරන කියන සෑම දෙයක්ම කරන්නේ ප්‍රකෘති සිහියෙන්.මනා සිහිය පවත්වා ගැනීමේ වැදගත්කම බුදුන් වහන්සේ පවා පෙන්වා දී තියෙනවා. 

ඉතින් සිහියේ මැනවින් පිහිටා සිටීම භෞතික ඇස ඉක්මවා යමක් දකින්නට, කන ඉක්මවා යමක් අසන්නට ලැබීම තෙවන ඇස විවර වීමක්. ඉතින් මේ දිව්‍යමය ඇස නැත්නම් තෙවන ඇස උත්සාහයෙන් යුක්තව භාවනාවෙන් ලබාගත යුතු දෙයකි.