සන්ධි රෝග සුව කරන තෝර ශාකය

health tips

නිවර්තන කලාපීය රටවල් තුල ඉතා පහසුවෙන් වැඩෙන ශාක විශේෂයක් ලෙස තෝර ශාකය පෙන්වා දිය හැකිය. මෙය ඖෂධීය ශාකයක් වන අතරම මැල්ලුමක් ලෙස සකසා බොහෝ දෙනෙකු ආහාරයට එක්කර ගනී.  ඒ අනුව අතීතයේ මුළුතැන් ගෙයෙහි තෝර කොළ මැල්ලුමට ඉහළ පිළිගැනීමක් පැවත තිබේ. 

තෝර ශාකය පැළ කිරීමකින් තොරව වුවද ව්‍යාප්ත වන ශාකයක් වන අතර සාත්තු කිරීමක් නොමැතිව හොඳින් වැඩේ. දීප්තිමත් කහ පැහැයෙන් යුක්ත මල් තෝර ශාකයේ හට ගනී. 

තෝර ශාකය ගත්විට එහි ප්‍රභේද කීපයක්ම පවතී. 

  • පෙති තෝර 
  • ඇත් තෝර 
  • පැණි තෝර 
  • බූ තෝර
  • ඌරු තෝර 
  • ආදී වශයෙන් පෙන්වා දිය හැකිය. 

මෙම තෝර ශාකය මගින් ශරීරයට ලබාදෙන ගුණ රාශියක් පවතී. 

පණු රෝග සුව කරයි. පණු රෝග සුව කිරීම සඳහා තෝර භාවිතා කළ හැකි බව අතීතයේ සිටම පැවත එන්නකි. ඒ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ තෝර කොළ මැල්ලුමයි. මෙම මැල්ලුම සකසා ගනු ලබන්නේ සාමාන්‍ය පලා මැල්ලුමක් මලවා ගන්නා ආකාරයටය. 

මැල්ලුමක් ආකාරයට සකසා ආහාරයට එක් කර ගන්නවා වෙනුවට සම්පූර්ණ තෝර ශාකයම කසාය කර පානය කිරීමෙන් ද පණු රෝග සුව කර ගත හැකිය. 

ආහාර දිරවීම පහසු කරමින් මල බද්ධය වැනි රෝගී තත්ත්වයන් වළකාලයි. අප ගන්නා ආහාර හොදින් ජීර්ණය නොවන විට මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් ඇතිවේ. තෝර කොළ මලවා එම මැල්ලුම දෛනික ආහාර වේලකට එක් කරගැනීමෙන් පෝෂණ අවශ්‍යතාවයක් සපුරා ගැනීමට හැකි වන අතරම ආහාර ජීර්ණය වීම ද හොඳින් සිදු කරගත හැකිය. 

තවද ආහාර ජීර්ණය හොඳින් සිදුවී මලබද්ධය තත්ත්වය වැළකී ගිය පසු බඩවැල්වල තැන්පත්ව පවතින විෂ කොටස් ද ශරීරයෙන් පහසුවෙන් ඉවත් කරගත හැකිය. මේ නිසාවෙන් අන්ත්‍රවල පිළිකා රෝගී තත්වයන් ඇතිවීම වළකා ගැනීමට ද හැකියාව ලැබේ. තවද මල බද්ධය රෝගය නිසාවෙන් ඇතිවන අර්ශස් තත්ත්වයන් ද සුවකර ගැනීමට තෝර කොළ මැල්ලුම ඉවහල් වෙයි. 

චර්ම රෝග සුව කරයි. සම මතුපිට ඇතිවන විවිධ ආසාදන නිසාවෙන් චර්ම රෝග ඇති වේ. මේ සඳහා කදිම ඔසුවක් ලෙස තෝර ශාකය පෙන්වා දිය හැකිය. සම පිරිසිදු කර ගැනීම සඳහා ඇත්තෝර කොළ හා අමු කහ තම්බාගත් ඡලයෙන් සේදීම සිදු කළ හැකිය. ඊට අමතරව තෝර ඇට ලිපේ තබා බැද කුඩු කර ගත යුතු අතර ඒවා සමේ තුවාල පවතින ස්ථානවල ආලේප කිරීමෙන් සුවයක් සලසා ගත හැකිය. 

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන චර්ම රෝගයක් ලෙස අළුහම් ඇති වීම පෙන්වා දිය හැකිය. මේ සඳහා ඇත්තෝර කොල දෙහි ඇඹුලෙන් ගලගා අලුහම් මත ආලේප කිරීමෙන් සුවකර ගත හැකිය. 

තවද සමේ ඇති වන දද හා කුෂ්ට නැසීමේ සුවිශේෂී ගුණයක් ද තෝර වලට පවතී. විශේෂයෙන් දදයක් ඇති වූ විට තෝර බීජ රාබු අලවල යුෂ වලින් අඹරා ඒ මත ආලේප කල යුතුය. ඊට අමතරව කුෂ්ඨයක් ඇති වූ අවස්ථාවක තෝර කොළ විනාකිරෙන් අඹරා ආලේප කිරීම සුදුසු වේ. 

සතියකට වරක්වත් තෝර කොළ තැම්බූ ජලයෙන් ශරීරය පිරිසිදු කර ගැනීම සෑම චර්ම රෝගයකම සුවයට හේතුවේ. 

ඉක්කාව සුව කරයි. නොනවත්වා ඉක්කාව ඇති වූ විට එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා තෝර භාවිතා කළ හැකිය. ඒ සඳහා පෙති තෝර කොල හොඳින් කොටා යුෂ වෙන්කර එම යුෂ පානය කිරීමෙන් ඉක්කාව පාලනය කරගත හැකිය. 

දියවැඩියාව පාලනය කරයි. තෝර කොළ මැල්ලුම දියවැඩියාව ඇතුළු අනෙකුත් ප්‍රමේහ රෝග සඳහා කදිම ඔසුවකි. මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ පැණිතෝර වන අතර කවලම් පලා මැල්ලුම් සකස් කිරීමේදී පැණි තෝර කොළ මිටක් පමණ එක් කර ගැනීමෙන් රසවත් මැල්ලුමක් සකසා ගත හැකිය. එය රසවත් වනවා පමණක් නොව දියවැඩියා රෝග පාලනයට ද යෝග්‍යවේ. 

ශරීරයේ විෂ නසයි. ශරීරයේ විෂ කොටස් අන්තර්ගතව පැවතීමෙන් රුධිරය නිරන්තරයෙන් අපිරිසිදු වේ. ඒ අනුව අපිරිසිදු රුධිරය පිරිසිදු කිරීමට තෝර කොල ආහාරයට එක්කර ගැනීම යෝග්‍යවේ. පිරිසුදු රුධිරය ශරීරය තුල පරිවහනය වන විට චර්ම රෝග ඇතිවීම ද පාලනය වේ. තවද සර්ප දෂ්ට කිරීම් වලදී ශරීරයෙන් එම විෂ ඉවත් කිරීමට ද තෝර කොල භාවිත කළ හැකිය. 

ප්‍රතිශක්තිකරණය වඩවයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා තෝර වඩාත් යෝග්‍ය වේ. මේ අනුව ලෙඩ රෝග වලට රෝගවලට පහසුවෙන් ගොදුරු වීම වැළකෙන අතර ඒවාට මුහුණදීමට අවශ්‍ය තරම් ශක්තිය තෝර ආහාරයට එක්කර ගැනීමෙන් ලබාගත හැකිය. විශේෂයෙන් බැක්ටීරියා හා වෛරස් ආසාදනය වීම නිසාවෙන් ඇතිවන රෝගාබාධ මෙහිදී පහසුවෙන් සුව කරගත හැකිය. 

සන්ධි රෝග සුවයට යෝග්‍ය වේ. සන්ධි හා ස්නායු ආබාධ වර්තමානයේ බොහෝ දෙනෙකුට ඇතිවන රෝගී තත්ත්වයන් වේ. මේවා සඳහා බටහිර ඖෂධ බහුලව පානය කිරීමට වෛද්‍යවරු නියම කරයි. එනමුත් මෙම රෝග නිසාවෙන් ඇතිවන වේදනාව සමනය කර ගැනීම සඳහා පෙතිතෝර කොළ අඹරා අලේප කිරීමද සුදුසු වේ. 

රක්තහීනතාවය සුව කරයි. ශරීරයේ රතු රුධිරාණු නිෂ්පාදනය අඩාල වීම හේතුවෙන් රක්තහීනතාව ඇති වේ. මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පැණි තෝර කොළ ආහාරයට එක්කර ගැනීම යෝග්‍යවේ. එවිට රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිකර ගත හැකිය. 

මුඛ රෝග සුව කරයි. මුඛයේ ඇතිවන දත් මුල් දියවී යාම, විදුරුමසින් ලේ ගැලීම, අකලට දත් සෙලවීම හා දත් කැක්කුම ඇති වූ විට තෝර කොළ හා මුල් තැම්බූ ජලයෙන් මුඛය සේදීම වඩාත් යෝග්‍ය වේ. මීට අමතරව පහත අවස්ථාවන් සඳහා ද තෝර ශාකය භාවිත කළ හැකිය. 

  • අධි රුධිර පීඩනය පාලනය කරයි.
  • කොලෙස්ට්‍රෝල් පාළනයට යෝග්‍ය වේ.
  • කුරුලෑ ඇති වීම සුවකර සම පැහැපත් කරයි.
  • පෙනහලු හා අක්මා රෝග සුව කරයි.
  • කක්කල් කැස්ස සුවයට යෝග්‍ය වේ.
  • ශරීරයේ තරබාරු බව පාලනය කරයි.
  • මව්කිරි වර්ධනය කරයි. 

ආදී වශයෙන් ශරීරයට ගුණදායක ඖෂධීය ශාක විශේෂයක් ලෙස තෝර ශාකය හඳුනාගත හැකිය. කෙසේ නමුත් ගර්භනී කාන්තාවන්ට මෙම ආහාරය සුදුසු නොවේ. 

තෝර කොල මැල්ලුම් ආකාරයට සැකසීම, තෝර කොල තෙල් දැමීම, වැලි කොස් ඇට පිසීමේදී ඊට එක් කිරීම, කවලම් පලා මැල්ලුම් සකස් කිරීමේදී භාවිත කිරීම ආදී වශයෙන් තෝර කොළ ආහාරයට ගත හැකි ආකාර කිහිපයක්ම පවතී. 

ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල බහුලව දැකගත හැකි අතර සෙසු ප්‍රදේශවල ද මෙම තෝර ශාක පවතී. සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර දෙන මෙම ශාකය කිසිවිටෙකත් විනාශ නොකළ යුතුය.