උගුර නාසයේ පිළිකා හඳුනා ගන්න ලක්ෂණ 16 ක්

health tips

නිදුක් නීරෝගී සුවපත් ජීවිතයක් උදෙසා වෙහෙස වෙන උනන්දු වෙන ඔබ අපි සියලුදෙනාට මීට වසර ගණනාවකට පෙර අපේ මුතුන් මිත්තන්ගේ කාලයේදී කතාබහ කළාට වඩා වැඩියෙන් නොයෙකුත් ලෙඩ රෝග පිළිබඳව කතා කරන්නට සිදුවෙලා. වර්තමානයේ අපි ගන්නා ආහාරපාන, චාර්යාමය පුරුදු ආදිය නිසාම නිරන්තරයෙන් අපි නොයෙකුත් බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගය අද මුළු ලෝකයේම ජනතාව ලොකු කුඩා භේදයකින් තොරව බිලිගනිමින් යනවා. එවන් කාලයක අපිට මේ පිළිකා රෝගයෙන් දිවි ගලවා ගන්නට එය මූලික අවස්ථාවේදී හඳුනා ගන්නට අවශ්‍ය කරන පූර්ව ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයක් අප සතුවිය යුතු වෙනවා. ඉතින් නීරෝගිමත් ජීවිතයක් උදෙසා අද අපි ඔබ සමඟ කතා කරන්නේ උගුර නාසය සම්බන්ධ පිළිකාවක් කල්තියා හඳුනා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි.

හිස වගේම ගෙල ආශ්‍රිතව පිළිකා අනෙක් පිළිකා හා ගත්විට ඉතා වේගයෙන් වර්ධනය වන පිළිකා ලෙසයි සඳහන් කළ හැකි වන්නේ.ඒ වගේම මේ පිළිකාවන් බහුලවම කාන්තාවන්ට වඩා පිරිමින් අතර දකින්නට පුළුවන්.හිස සහ ගෙල ආශ්‍රිතව දැක ගන්නට හැකි පිළිකා අතුරින් මුඛ පිළිකාව ප්‍රධාන තැනක් ගනු ලබනවා.ඒ හැරුණාම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා තත්ත්වයන්, නාස් කුහරය ආශ්‍රිත පිළිකා, හිස් කබල තුළ ඇති වායු කෝටරක ආශ්‍රිත පිළිකා, ග්‍රසනිකාව ස්වරාලය සහ ඛේට ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා තත්ත්වයන්  මේ ප්‍රදේශය ආශ්‍රිත වර්ධනය වීම දකින්නට පුළුවන්. මේ පිළිකා තත්ත්වයන් ඇතිවන්නේ බොහෝවිට අපි ගනු ලබන ආහාර පාන හේතු කරගෙන වගේම ස්වසනය සිදු කරන දේවල් මූලික කරගෙනයි. 

උගුර, නාසය ආශ්‍රිත පිළිකාවක් ඇතිවීමට බලපෑ හැකි හේතු සාධක 

  • මත්ද්‍රව්‍ය භාවිතය මේ  පිළිකා ඇතිවීමේ අවදානම පානය කරන මත්පැන් ප්‍රමාණය අනුවත් මත්පැන් සමඟ දුම්පානය කරන්නේ නම් ඒ අනුවත් අවදානම ඉහළ යන්නට හැකියි.
  • දුම්පානය 
  • දුම්කුඩු නාසයට ඉරීම 
  • විවිධ රසායනික ද්‍රව්‍යවලින් 
  • දූෂිත වායුව ආඝ්‍රාණය කිරීම 
  • සම්, ලී, ස්ප්‍රීතු ආශ්‍රිත රැකියා 
  • විකිරණවලට නිරන්තරයෙන් නිරාවරණය වීම 
  • විටමින් A ඌණතාවය 
  • විටමින් B ඌණතාවය 
  • දිගුකල්  පවතින හියුමන් පැපිලෝමා වෛරසය වැනි ඇතැම් ආසාදන 

නාස් කුහරය ආශ්‍රිත පිළිකාවක ලක්ෂණ 

  • නාසය ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් බහුලව දැක ගන්නට නොලැබෙන පිළිකා විශේෂයක්.
  • නාසයේ වේදනාව 
  • නාස් කුහරය තුළට වර්ධකය නෙරා ඒම 
  • නාසය ඉදිමීම 
  • හුස්ම ගැනීම අපහසුවීම 
  • නාසයෙන් ලේ ගැලීම 
  • ගඳ සුවඳ දැනීමේ අපහසුතා ඒ හැරුණාම උගුර හා නාසය ආශ්‍රිත පිළිකා තත්ත්වයකදී පහත සඳහන්  රෝග ලක්ෂණ ද දැකගන්නට පුළුවන්.
  • උගුරේ වේදනාව 
  • සෙම හෝ සොටු සමඟ රුධිරය පිටවීම 
  • කටහඩ වෙනස්වීම (මෙවැනි තත්ත්වයක් ස්වරාලය ආශ්‍රිත පිළිකාවක් වර්ධනයේදී ඇති වෙන්නට පුළුවන් )
  • ගිලීමේ අපහසුතාව (මේ තත්ත්වය ග්‍රසනිකාව ආශ්‍රිතව පිළිකාවක් ඇතිවිටෙක හට ගන්නට පුළුවන්.)

තයිරොයිඩ් ග්‍රන්ථියේ හටගන්නා පිළිකා 

විශේෂයෙන්ම ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන පිළිකා අතර මූලික වෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා. ඒ හැරුණාම ඛේට ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ද ඇතිවෙන්නට පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඇතිවෙන්නට බලපාන හේතු.

• ජානමය සාධක 

• විකිරණවලට ඍජුවම නිරාවරණය වීම 

• ලුණු (අයඩීන් ) ප්‍රමාණයට වඩා හෝ අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම 

• සීනි සහ පිෂ්ඨය අධික ලෙස ලබා ගැනීම 

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවක ලක්ෂණ 

  • බෙල්ලේ ගැටිත්තක් ඇතිවීම

• බෙල්ල දෙපස ඇති කුද්දැටි විශාල වීම

• බෙල්ලේ කටු අනිනවා සේ දැනෙන වේදනාව 

• තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම නිසා බෙල්ල ඉදිමුණු ස්වභාවයක් දැක ගන්නට ලැබීම.මේ ඉදිමීම වේදනාවකින් තොරයි. 

• නිතර ඇතිවන කැස්ස 

• පිළිකාව අභ්‍යන්තරයට වර්ධනය වීමකදී ක්ෂණිකව කටහඩ වෙනස්වීමක් ඇතිවීම

• ගිලීමේ අපහසුතාවය බෙල්ලේ තද ගතිය 

• හුස්ම ගැනීමේ අපහසුතාවය  

• උදෑසන උගුර පාදන විට රුධිරය ස්වල්පයක් පැමිණීම  

මෙවැනි පිළිකාවක් සඳහා වැඩි වශයෙන් බිය විය යුතු නැහැ.මුල්කාලීනව මෙවැනි පිළිකා තත්ත්වයක් මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව හඳුනා ගතහොත් ඒ ග්‍රන්ථිය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය මගින් ග්‍රන්ථිය ඉවත් කර සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට පුළුවන්.

පරීක්ෂාවන්-ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇතිවිටෙකදී අනිවාර්යෙන්ම එය පිළිකා තත්ත්වයක පෙර නිමිත්තක් ද යන වග පරීක්ෂණ මගින් දැන කියා ගන්නට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම මුඛයේ ඇතිවන පිළිකා තත්ත්වයන් ඉතා පහසුවෙන් නිවසේ අයෙකුට හෝ තමන්ට වුවත් හඳුනා ගන්නට පහසුයි.එය මුඛයේ ඇතිවන වෙනස්කම් මගින් හඳුනා ගැනීම පහසු වුණත් ස්වරාලය ග්‍රසනිකාව ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් හඳුනා ගන්නට ඉතා අපහසුයි. යම්විටෙක මේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට වුණත් එවැනි තත්ත්වයන් හඳුනා ගැනීම අපහසු වන්නට පුළුවන්. ඒ නිසා යම් යම් අසාමාන්‍ය ලක්ෂණයන් ඔබ අත්විදින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි. එහිදි වෛද්‍යවරයා විසින් කැමරාවක් නහය මගින් හෝ උගුර හරහා යවමින් පිළිකා තත්ත්වයක් වර්ධනය වන්නේ ද නැද්ද යන්න පරීක්ෂා කරනු ලබනවා.ඉතින් මේ උගුර ආශ්‍රිතව, නාසය ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් ඇතිවෙන්නට බලපාන හේතු සාධකවලින් වැළකීම මගින් වගේම අසාමාන්‍ය  රෝග ලක්ෂණයන් කෙරෙහි අවධානයෙන් පසුවුණොත් මේ අවයව ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන්ගෙන් සිය ජීවිතය ආරක්ෂා කරගන්නට පුළුවන්.නමුත් පිළිකාවක් ඇති නොවන්නට වගබලා ගැනීම බොහෝසෙයින් වැදගත් බව ඔබ හොඳින්ම දන්නා කාරණයක්. මොකද පිළිකා තත්ත්වයක් හඳුනා ගැනීමේ අපහසුතාවය මත ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන අවස්ථා බහුල නිසාවෙන්. ඉතින් නීරෝගී ජීවිතයක් උදෙසා ඔබට මේ කරුණු කාරණා බෙහෙවින් වැදගත් වනු ඇතැයි සිතමි.