තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි ආකාරව ක්‍රියාත්මක නොවන විට සිරුරේ සිදුවෙන වෙනස්කම් 10 ක්

health tips

අප ශරීරය තුළ වැදගත් කෘත්‍ය රැසක් ඉටු කරන ග්‍රන්ථි අතර තයිරොයිඩ් ග්‍රන්ථිය වඩාත් වැදගත් වේ. හදවත ,මොළය ,අක්මාව ,වකුගඩු ,සම ඇතුළු අවයව රැසක ක්‍රියාකාරිත්වය සදහා තයිරොයිඩ් ග්‍රන්ථිය වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබයි. සමස්ථ සිරුරේ නිරෝගී පැවැත්ම සදහා තයිරොයිඩ් ග්‍රන්ථිය නීරෝගීව පවත්වා ගැනීම හා එහි නිසි ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රධාන පරිවෘත්තීය ග්‍රන්ථිය වේ. මෙය බෙල්ල මධ්‍යයේ පිහිටා ඇති සමනල හැඩැති ග්‍රන්ථියක් වන අතර මන්දතයිරෝඩතාව

  • අධි තයිරෝඩතාව
  • ගලගණ්ඩය
  • තයිරොයිඩ් පිළිකා
  • තයිරොයිඩ් ගැටිති 

යනාදී රෝග තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතවන රෝග තත්ත්වයන්වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය නිසියාකාරව ක්‍රියාත්මක නොවේ නම් එය සමස්ථ සිරුරේ ක්‍රියාකාරිත්වය සදහා බලපෑම් එල්ල කරනු ලබයි. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව කිසියම් ගැටලු සහගත තත්වයක් නිර්මාණය වී ඇති විට එය හදුනා ගැනීමට පෙර පහලවන රෝග ලක්ෂණ රාශියක් පවතී. එනම් එම රෝග ලක්ෂණ පිළිබඳව අවබෝධයෙන් සිටීම සෑම දෙනාටම වැදගත් වේ.තයිරොයිඩ් ග්‍රන්ථිය සෞඛ්‍ය සම්පන්න නොවන බව පෙන්වන රෝග ලක්ෂණ.

මාංශපේශී හා සන්ධි වේදනාව.මෙම රෝග ලක්ෂණය හා අත් පා පණ නැති බවක් දැනීම බොහෝ විට ඔබ හදුනා නොගත් තයිරොයිඩ් ගැටලුවක් නිසා ඇති විය හැකි රෝග සංකූලතා වේ. තයිරොයිඩ් ග්‍රන්ථියෙහි අඩු ක්‍රියාකාරිත්වය නිසා කැක්කුම ,තද ගතිය,වේදනාව, මාංශපේශී දුර්වලතා ඇතුළු ගැටලු ඇති කරයි. මෙම තත්වය සාමාන්‍ය සන්ධි වේදනා ඇති කිරීමට හේතූ වේ. එමෙන්ම මාංශ පේශි දුර්වලතා හා තෙහෙට්ටුව සදහා අධිතයිරොඩතාවය හේතූ වේ. 

මානසික අවපීඩනය මානසික අවපීඩනය  තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා ගැටලුකාරී තත්වයක් පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් වේ. ඖෂධ සහ ප්‍රතිකාර සදහා ප්‍රතිචාර නොදක්වන කාංසාව, සංත්‍රාසය , මානසික අවපීඩනය වැනි රෝගී තත්වයන් ඔබටත් පවතී නම් ඒ පිළිබඳව සැළකිලිමත් වීම අවශ්‍ය වේ. මන්ද  එය අධිතයිරොඩතාව හෝ මන්දතයිරෝඩතාව වැනි තයිරොයිඩ් ආබාධ තත්වයක රෝග ලක්ෂණයක්  විය හැකිය. එනම් තයිරොයිඩ් හොර්මෝන නිෂ්පාදනය අඩු වීම මොළයේ සෙරොටොනින් මට්ටම සදහා සෘජුවම බලපානු ලැබේ. මේ නිසා පුද්ගල මනෝභාවයන් කිසිදු හේතුවක් නොමැතිව වෙනස් වීම සිදු වේ. 

සමේ අධික වියළි බව.සමේ ක්‍රියාකාරිත්වය තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිකුත් කරන හොර්මෝන මගින් පාලනය වන නිසා තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවන ගැටලු සමේ ගැටලුකාරී තත්වයන් ඇති කිරීමට හේතු වේ. තයිරොයිඩ් හොර්මෝන මට්ටම අඩු වීම සම වියළි සුදුමැලි වීම, සමෙහි රැලි වැටීම ,කොරපොතු ඇතිවීම ,සමේ වර්ණය වෙනස් වීම ,සම ඉදිමීම ,බිදෙනසුළු ගන නියපොතු සහ දද මතු වීම මන්දතයිරෝඩතාවයේ ලක්ෂණ වේ. එනිසා සම ආශ්‍රිතව ඇතිවන ගැටලු පිළිබඳවද විමසිල්ලෙන් සිටීම වැදගත් වේ. 

ඔසප් ගැටලු ඇති වීම. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ගැටලුකාරී තත්වයන් ප්‍රමාද වී වැඩි වියට පත්වීමට හේතුවක් වේ.  එමෙන්ම ඔසප් වීම ප්‍රමාද වන්නේ නම් එයද තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක් විය හැකිය. එනම් ඔසප්වීමේදී සිදුවන ඕනෑම අක්‍රමවත් බවක් කෙරෙහි තයිරොයිඩ් ග්‍රන්ථියෙහි වෙනස්වීම් බලපානු ලැබේ. මන්දතයිරෝඩතාව නිසා අධික රුධිර වහනය වීම දිගුකලක් තිස්සේ වේදනාකාරී ලෙස ඔසප් වීම සිදු වේ. හදුනා නොගන්නා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු නිසා වදභාවය වුවද ඇති විය හැකිය. ඔසප් චක්‍රය ආශ්‍රිතව නිතර නිතර අක්‍රමිකතා අත්දකින්නේ නම් නාරි වෛද්‍යවරයකු හමු වීම වඩාත් සුදුසුවේ. 

හදිසියේ හිසකෙස් හැලීයාම.තයිරොයිඩ් හොර්මෝන මට්ටම ඔබගේ හිසකෙස් වර්ධන ක්‍රියාවලිය සදහා බාධා කළ විට අධික ලෙස හිසකෙස් හැලී යාම සිදු වේ. අනෙකුත් ශරීර කොටස් වලින් ද හිසකෙස් සහ රෝම ගැලවී යාම මෙහිදී සිදු වේ. හිසකෙස් බිදෙන සුළු රළු ඒවා බවට පත් වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන අධිතයිරොඩතාව නිසා හිසකෙස් ආශ්‍රිතව මෙම ගැටලු ඇති වේ. මේ අනුව පැහැදිලි හේතූවක් නොමැතිව හිසකෙස් හැලී යාම බොහෝ විට තයිරොයිඩ් ගැටලු හා සම්බන්ධ වේ. 

තෙහෙට්ටුව ඇති විම.දිවා කාලයේ ශක්තියක් නොමැතිකම , වෙහෙස ,තෙහෙට්ටුව යනාදී රෝග ලක්ෂණ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව පවතින ගැටලුවක් නිසා හටගැනෙන රෝග  සංකූලතා විය හැකිය. සමහර පුද්ගලයන්ට දිවා කාලයේ නින්දක් හෝ කෙටි විවේකයක් නොමැතිව කටයුතු කළ නොහැකිය. එමෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියෙහි අධි ක්‍රියාකාරිත්වය නිසා රාත්‍රියේදී නින්ද නොයයි. ඒ නිසා දහවල් කාලය පුරා අධික වෙහෙසක් දැනේ. 

අධික සීතල හෝ උණුසුම් බවක් දැනීම.තයිරොයිඩ් හොර්මෝන මට්ටමේ සිදුවන වෙනස්කම් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමට බාධා  කරයි. මේ නිසා උණුසුම් කාමරයක සිටියදී පවා අත්පා සීතල වීම සිදු වේ. එනම් එය මන්දතයිරෝඩතාව නිසා ඇතිවන ගැටලුකාරී තත්වයක් වේ. අධිතයිරොඩතාව නිසා උණුසුම දරා ගැනීමට නොහැකිව අධික ලෙස දහඩිය දැමීම සිදු වේ. මේ අනූව පැහැදිලි හේතුවක් නොමැතිව ශරීරයේ උණුසුම හා සීතල වැඩි වේ නම් එය තයිරොයිඩ් ගැටලුවක් හා සම්බන්ධ වන බව කිව හැකිය. 

ගොරෝසු කටහඬ සහ බෙල්ලේ අපහසුතාව ඇතිවීම. බෙල්ල ආශ්‍රිතව සිදුවන ඕනෑම අපහසුතාවයක් තයිරොයිඩ් ගැටලුවක පෙර නිමිත්තක් විය හැකිය. තයිරොයිඩ් ග්‍රන්ථියෙහි සුළු ඉදීමීමක් හෝ නෙරා ඒමක් සිදු වූ විට නින්දෙන් ගෙරවීම, ගොරෝසු කටහඬ වැනි තත්වයන් ඇති වේ. බෙල්ලේ වේදනාව සහ අපහසුතාව වැනි ගැටලු ගලගණ්ඩය වැනි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග නිසා සිදු වේ. මන්දතයිරෝඩතාවයේ හා අධිතයිරොඩතාවයේ ප්‍රථිඵලයක් ලෙස ගලගණ්ඩය ඇති වේ. මෙවැනි ගැටලු ඔබටත් පවතී නම් වහාම වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුවේ. 

බඩවැල් ආශ්‍රිතව ඇතිවන ගැටලු.තයිරොයිඩ් හොර්මෝන මගින් ආහාර ජීර්ණයට සහ මල අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමට  බාධා ඇති කරයි. එනම් මේ නිසා මලබද්ධය ,පාචනය IBS වැනි ආහාර ජීර්ණ ගැටලු ඇති වේ. IBS හා පාචනය අධිතයිරොඩතාවයේ ලක්ෂණ වේ. 

ශරීරයේ බරෙහි හදිසි වෙනස්කම් සිදුවීම.ශරීරයේ බර අනපේක්ෂිත ලෙස වැඩි වීම හෝ අඩු වීම තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ගැටලුකාරී තත්වයක් නිසා ඇති විය හැකිය. තයිරොයිඩ් ග්‍රන්ථිය වැඩි වශයෙන් අනවශ්‍ය ප්‍රමාණයට හොර්මෝන නිපදවීම නිසා ශරීරයේ බර අඩු වීම සිදු වේ. පැහැදිලි හේතුවක් නොමැතිව ශරීරයේ බරෙහි හදිසි වෙනස්කම් සිදු වන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.