තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගයක් ඇති බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 12 ක්

health tips

සිරුරට අවශ්‍ය තයිරොයිඩ් හෝමෝනය  නිෂ්පාදනය කරන ග්‍රන්ථිය ලෙස තයිරොයිඩ් ග්‍රන්ථිය පෙන්වා දිය හැකිය. පරිවෘත්තිය ක්‍රියාවලිය සඳහා ප්‍රධාන දායකත්වය සපයන ග්‍රන්ථිය ද මෙය වන අතර සමනල හැඩයට බෙල්ලෙ මධ්‍යයේ පිහිටා තිබේ. 

ශරීරයේ ප්‍රධාන බොහෝ අවයව වල නිසි ක්‍රියාකාරිත්වයක් පත්වාගෙන යාමට තයිරොයිඩ් ග්‍රන්ථිය උපකාරී වේ. විශේෂයෙන් මොලය, වකුගඩු, සම හා අක්මාව යන අවයව වල ක්‍රියාකාරීත්වයට මෙම ග්‍රන්ථිය උපකාරී වේ. 

ශරීරයේ මනා පැවැත්මට තයිරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගීතාවය අත්‍යවශ්‍ය වේ. එනමුත් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝගී තත්වයන් කිහිපයක්ම ඇති වේ. 

  • තයිරොයිඩ් වැඩි වීම.
  • තයිරොයිඩ් අඩුවීම.
  • තයිරොයිඩ් ගැටිති.
  • තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ප්‍රදාහ තත්ත්වයන්.
  • ගලගණ්ඩය.
  • තයිරොයිඩ් පිලිකා 
  • ආදී රෝග තත්ත්වයන් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් ලෙස පෙන්වා දිය හැකිය. 

මෙම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග ඇතැම්විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝගියාට තයිරොයිඩ් රෝග පවතින්නේදැයි  ඇතැම්විට නොදනී. රෝග ලක්ෂණ පහළ වුවත් ඒවා නොසලකා හැරීම මත රෝගය පිළිබඳ නොදැනුවත් භාවයක් ඇතිවේ. අනෙක් අතට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග වලදී පහළවන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන රෝග ලක්ෂණ වේ. කෙසේ නමුත් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව යම් රෝගී තත්ත්වයක් ඇතිවන්නේ නම් රෝගියාගෙන් පහත ආකාරයේ රෝග ලක්ෂණ හඳුනාගත හැකිය. 

සිරුරට අධික ලෙස වෙහෙස මහන්සියක් දැනීම. පුද්ගලයින් තමන්ගේ දෛනික ජීවිතයේ වැඩ රාජකාරි කරගෙන යාමේදී වෙහෙසක් මහන්සියක් දැනීම සාමාන්‍ය තත්ත්වයකි. එනමුත් සුළු වැඩ කටයුත්තක දී පවා අධික ලෙස ශරීරයට වෙහෙසක් මහන්සියක් දැනෙන්නේ නම් එය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගයක් නිසා ඇතිවන ගැටළුවක් ලෙස හඳුනාගත හැකිය. 

සුවබර නින්දක් ලබා ගැනීමට නොහැකිවීම. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝගී තත්ත්වයක් පවතින්නේ නම් එය රාත්‍රී නින්දට බාධාවක් වේ. ඒ අනුව සුවපහසු නින්දක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් දිවා කාලයේදී අධික නිදිමතක් මෙන්ම ශරීරයට වෙහෙසක් මහන්සියක් දැනීම සිදුවේ. 

ශරීර ස්කන්ධය වෙනස් වීම. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝගී තත්ත්වයක් පවතින විට ඉතා කෙටි කාලයක් තුළදී ශරීර ස්කන්ධය වෙනස් වීම සිදුවේ. එය දෙයාකාරයකට සිදුවිය හැකි අතර ඇතැම්විට ශරීර ස්කන්ධය වැඩිවීම හෝ අඩු වීම සිදුවේ. 

ආහාර පාලනය හා නිසි ව්‍යායාම වල යෙදීමෙන් අනතුරුව වුවද ශරීරයේ බර වේගයෙන් ඉහළ යන්නේ නම් එය තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන ස්‍රාවය වීමේ අඩුවක ප්‍රතිඵලයක් විය හැකිය. ඒ වාගේම කෙටි කාලයක් තුළදී ශරීර බර අසාමාන්‍ය ලෙස අඩු වන්නේ නම් එය තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන පමණට වඩා ස්‍රාවය වීමේ ප්‍රතිඵලයක් ද විය හැකිය. ඒ අනුව ශරීර ස්කන්ධය කෙටි කාලයක් තුළදී වෙනස්කම් වලට ලක් වීම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලුවක ප්‍රධාන ලක්ෂණයක් වේ. 

මානසික රෝග තත්ත්වයන්ට ගොදුරු වීම. විශේෂයෙන් මානසික වශයෙන් ඇතිවන කාංසාව හා විශාදය වැනි තත්ත්වයන් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගයක ලක්ෂණයක් වේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු මොළයේ සෙරොටොනින් මට්ටමට සෘජු බලපෑමක් ඇති කරනු ලබන අතර එය පුද්ගලයාගේ මානසික ව්‍යාකූලතාවයන් ඇතිවීමට බලපානු ලබයි. 

මාසික ඔසප් චක්‍රයේ ගැටළු තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු පවතින කාන්තාවන්ගේ මාසික ඔසප් ඔසප් වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. ඒ අනුව ප්‍රමාද වී වැඩිවිය පැමිණීම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, වැඩියෙන් හෝ අඩුවෙන් රුධිර වහනය සිදුවීම, ඔසප් වීමේදී වේදනාවක් ඇතිවීම, ඇතැම්විට වද භාවයට පත්වීම ආදී ගැටලු වලට මුහුණ පෑමට සිදුවේ. 

හිසකෙස් ආශ්‍රිත ගැටලු ඇති වීම. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් වලදී හිසකෙස් ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් ඇතිවේ. ඒවා පහත පරිදි පෙන්වා දිය හැකිය. 

  • අකලට හිසකෙස් හැලීයාම.
  • ශරීරයේ සෙසු රෝම කොටස් ගැලවී යාම.
  • හිසකෙස් වල වියලි බව වැඩිවීම.
  • හිසකෙස් අධික ගොරෝසු බවින් යුක්ත වීම හා කැඩීයාම.
  • හිස් කබලේ වියළි බව ඇතිවීම.
  • හිසකෙස් තුනී වීම. ආදී හිසකෙස් ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලදී හඳුනාගත හැකිය. 

ශරීරයට අධික ලෙස සීතල හෝ උණුසුම දැනීම. අධික සීතලට හෝ උණුසුමට බලපාන කිසිදු හේතු කාරණයක් නොමැතිව ශරීරයට අධික ලෙස සීතල හෝ උණුසුම දැනේ නම් එය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක පූර්ව ලක්ෂණයක් විය හැකිය. විශේෂයෙන් මන්ද තයිරොයිඩතාවය තුළ අධික උණුසුමේ වුවද සීතල ඇතිවිය හැකිය. එමෙන්ම අධි තයිරොයිඩතාවය තුළ අධික සීතලක වුවද උණුසුම දැනිය හැකිය. 

බෙල්ලෙ අපහසුතාවයන් ඇතිවීම.තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝගී තත්ත්වයන් වලදී බෙල්ලෙ අපහසුතාවයන් ඇතිවීම සුලබ තත්ත්වයකි. විශේෂයෙන් කටහඬ ගොරෝසු වීම, වායු ගෙඩි ඇතිවීම, නින්දෙන් ගෙරවීම, බෙල්ල ඉදිමීම වැනි තත්ත්වයන් මෙහිදී ඇති වේ. 

ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටලු ඇතිවීම. විශේෂයෙන් පාචනය හෝ මළ බද්ධය රෝගය පවතින්නේ නම් එය තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගී තත්ත්වයක පූර්ව ලක්ෂණයක් විය හැකිය. මෙම තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන හෝමෝන වල වෙනස්කම් මත ආහාර ජීර්ණ ක්‍රියාවලියට බලපෑම් ඇති කරයි. තන්තු අධික ආහාර පාන බහුලව ආහාරයට ගත්තා වුවද මලබද්ධය එලෙස ම පවතින්නේ නම් සුදුසු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම යෝග්‍යවේ. 

සම ආශ්‍රිතව ගැටළු ඇති වීම. 

තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ඇති වූ පසු එය සමට සෘජුවම බලපෑම් සිදුකරයි. එම බලපෑම පහත පරිදි විස්තර කළ හැකිය. 

  • සමේ අධික වියළි බවක් ඇතිවීම.
  • සම සුදුමැලි වීම.
  • සම රැලි වැටීම.
  • කොරල වැනි ස්වරූපයක් දැක ගත හැකි වීම.
  • සමේ පැහැය වෙනස් වීම.
  • අධික ලෙස දහදිය දැමීම හෝ අඩුවෙන් දහඩිය දැමීම.
  • දාඩිය බිබිලි ඇති වීම.
  • සම මතුපිට දද වැනි තත්වයන් ඇතිවීම.
  • ඝන හෝ තුනී නිය පෙළක් ඇතිවීම.
  • සමේ කැසීම් ඇතිවීම.
  • සම ඉදිමීම. වැනි තත්ත්වයන් තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන ශ්‍රාවය වීම අඩු වැඩි වීම මත සිදු වේ. 

මාංශ පේශි සහ සන්ධි වේදනාව. විශේෂයන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ඇති වූ පසු අත් පා වල වේදනාව ඇතිවීම සිදුවේ. කිසිදු හේතුවකින් තොරව වුවද මෙසේ අත් පා වේදනාව ඇති වේ. තවද මෙහිදී අත් පා පණ නැති ගතියක් දැනීම ද අවධානය යොමු කළ යුතු කරුණකි. විශේෂයෙන් අතපය වෙහෙසා සිදුකරන සුළු ක්‍රියාකාරකම්වල දී පවා අධික ලෙස වේදනාවක් දැනෙන්නේ නම් වෛද්‍ය උපදෙස් උපදෙස් වෙත යොමුවීම අතිශයින්ම වැදගත් වේ. 

ඉහතින් දක්වා ඇත්තේ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් වලට පමණක් ආවේණික වූ රෝග ලක්ෂණ නොවේ. මෙම රෝග ලක්ෂණ වෙනයම් ශරීරයේ ඇතිවන රෝගී තත්ත්වයන් වලදී ද ඇතිවිය හැකිය. ඒ අනුව ඉහතින් දක්වා ඇති රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් යම් පුද්ගලයෙක් ට පවතින්නේ නම් සුදුසු වෛද්‍යවරයකු මුණගැසී පූර්ව රෝග විනිශ්චයකට එළඹ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අතිශයින්ම වැදගත් වේ.