සමේ නීරෝගි බව රඳා පවතින්නේ යම් යම් සාධක මතයි. ක්‍රමවත් රුධිර සංසරණයක් පැවතීම,හොඳ පෝෂණයක් ලැබීම, රසායනික ප්‍රතික්‍රියා,හෝර්මෝන අසමතුලිතතා සහ සමේ තෙතමනය ඒ අතරින් කිහිපයක්. වයසට යන විට කාලයත් සමඟ සමේ ඇති නම්‍යශීලී බව (ඇදෙනසුලු බව) නැතිවී ගොස් සම එල්ලාවැටීමට පටන්ගනියි.විශේෂයෙන්ම මේ බලපෑමින් කම්මුල්,උගුර,නිකට, නළල ,ඇහිබැමි ප්‍රදේශ වල සමේ සවිමත් බව අඩුවී සම හැකිළී තුනී ස්වභාවයකට පත්විය හැකියි.ඇතැම් වැරදි ආහාර පාන පුරුදු, අධික ලෙස හිරු එළියට නිරාවරණය වීම, සමට හොඳ රැකවරණයක් ලබානොදීම, ආතතිය වගේ හේතු සම අකලට වියපත් කරවයි.
මුහුණේ සම එල්ලාවැටීම පාලනය කරගැනීමට උපකාරී වන ස්වභාවික පිළියම් කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ.

ගොටුකොළ වලින් ෆේස් මාස්ක් එකක්-ආයුර්වේදයට අනුව ගොටුකොළ යනු බ්රහ්මී කාණ්ඩයේ එන ඖෂධීය ශාකයක්.ගොටුකොළ පලා වර්ගයක් විදියට තමයි අපි බහුල්ව පරිභෝජනය කරන්නේ.ගොටුකොළ කැඳ ද ඉතාමත් රසවත් හා ගුණවත් පානයක් විදියට සැලකෙනවා.ගොටුකොළ වල ඇති ඖෂධීය ගුණ පුද්ගලයා කායිකව හා මානසිකව වියපත් වීම ප්‍රමාද කිරීමට ගුණ දෙන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.සමේ ආරක්ෂාව හා නීරෝගි පැවැත්මට වැදගත් කොලැජන් නිෂ්පාදනය වීමට ද මේවා ගුණදායකයි.ගොටුකොළ වලින් ෆේස් මාස්ක් එකක් සාදාගන්නේ මෙහෙමයි:
ගොටුකොළ පිරිසිදු කර පේස්ට් එකක් ලෙස අඹරාගන්න.ඉන් මේස හැඳි 1ක් බඳුනකට දමන්න්. මේ සඳහා වියළි ගොටුකොළ වලින් සාදාගත් කුඩු ද භාවිත කළ හැකියි.ඊට මී පැණි මේස හැඳි 1/2ක් එක්කරන්න.එයටම රෝස වතුර මේස හැඳි 1/2ක් ද දමන්න.පිරිසිදු කරගත් මුහුණේ මෙය ආලේප කර මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හරින්න.සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදන්න. සතියකට වාර 2ක් පමණ මෙය භාවිත කරන්න.
ගොටුකොළ සම්බෝලය ද සමට ඉතා ගුණදායි ආහාරයක්:පිරිසිදු කරගත් ගොටු කොළ කෝප්පයක් පමණ කුඩාවට කපාගන්න.තක්කාලි ගෙඩියක් සහ ලූනු ගෙඩියක් කුඩා කැබලි වලට කපා එයට එක්කරන්න.ගාගත් පොල් කෝප්ප 1/2ක් පමණ එක්කරන්න. ලුණු සහ දෙහි හෝ ලෙමන් ගෙඩි බාගයක යුෂ එක්කර හොඳින් අනන්න. ගුණය එලෙසින්ම සිරුරට ලබාගන්න නැවුම් පිට ආහාරයට ගන්න.
සම සවිමත් කරවන කෝමාරිකා සත්කාරය කෝමාරිකා සම සුවපත් කරමින් සමේ සවිමත් බව නැවත වඩවයි.නැවුම් කෝමාරිකා මද හෝ ජෙල් වලින් මේස හැඳි 1/2ක් මී පැණි තේ හැඳි 1ක් සමඟ මිශ්‍රකරන්න. පිරිසිදු කරගත් මුහුණේ මෙය ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.මිනිත්තු 15-20ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.සතියකට වාර 3ක් පමණ මෙම සත්කාරය කරන්න.
මුල්තානි මිට්ටි මාස්ක් සත්කාරය-මුල්තානි මිට්ටි යනු රූපලාවන්‍ය භාවිතය සඳහා යොදාගැනෙන මැටි විශේෂයක්. මේවායේ සමට හිතකර ඛනිජ ලවණ බහුලයි. සමේ තෙල් ගතිය පාලනය කිරීම, සම පිරිසිදු කිරීම වැනි ප්රතිලාභ වලට අමතරව් සම සවිමත් කර එල්ලා වැටීම, රැළි වැටිම පාලනය කරයි.සමට හොඳ ප්රභාවක් ලබාදෙයි.
මුල්තානි මිට්ටි මේස හැඳි 1ක් බඳුනකට දමන්න. ඊට අමු එළකිරි මේස හැඳි 1ක් දමා හොඳින් කළවම් කරන්න.පිරිසිදු කරගත් මුහුණ හා බෙල්ල ප්‍රදේශයේ හොඳින් මෙය ආලේප කරගන්න.මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර වතුරෙන් මුහුණ සෝදාගන්න.සම තෙත මාත්තු කර හොඳ මොයිෂ්චරයිසර් එකක් සමට භාවිත කරන්න. ගිතෙල්, පිරිසිදු පොල් තෙල් වැනි ස්වභාවික මොයිෂ්චරයිසර් වර්ගයක් භාවිත කිරීම සමට වඩාත් ප්‍රතිඵල සහගත වේවි. සතියකට එක්වරක් මෙය භාවිත කරන්න.

සමට තෙල් සම්බාහනයක්-මෙම සත්කාරය මඟින් සමේ සවිමත්බව හා නම්‍යශීලි බව වැඩිදියුණු කරගත හැකියි.සම ප්‍රාණවත් වේ. සමට ස්වභාවික දීප්තියක් එක්වේ.
සමට හිතකර පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේ සඳහා භාවිත කළ හැකියි.මින් ඔබ කැමති තෙල් වර්ගයකින් මේස හැඳි 1ක් පමණ ගෙන මදක් රත්කරගන්න.මුහුණ හා බෙල්ල ප්‍රදේශයේ ආලේප කර, මිනිත්තු 5-10ක් පමණ මෘදුව හා කවාකාරව ඇඟිලි තුඬු වලින් සම සම්බාහනය කරන්න.පිරිසිදු කපු රෙදි කැබැල්ලක් හෝ තුවායක් මද උණුසුම් වතුරේ පොඟවා සෙමින් මුහුණ පිසදමන්න.සතියකට එක්වරක් මෙම සම්බාහනය කරන්න.
මීට අමතරව දිනපතා හොඳින් වතුර පානය කරන්න. සමබල ආහාර වේලක් ලබාගන්න. මනස නිරවුල්ව තබාගැනීමට උත්සහ කරන්න. ආතතිය දුරුකරගන්න. ධනාත්මක සිතිවිලි මනසේ ඇතිකරගන්න. භාවනා හා යෝගා ක්‍රම අනුගමනය කරන්න. ව්‍යායාම වල යෙදෙන්න.