දෙපාරක් නොහිතා වැඩිපුර ජලය පානය කළ යුතු අවස්ථා 8 ක්

health tips

අපේ සිරුරේ පැවැත්මට සඳහා ජලය අත්‍යවශ්‍ය බව ඔයා දන්නවා.ශරීරයේ මාංශ පේශින්,මොළයේ ක්‍රියාකාරීත්වය, වකුගඩුවල ක්‍රියාකාරීත්වය ඇතුළු ක්‍රියාකාරකම් සියල්ලම සඳහා ජලය ප්‍රමාණවත් ලෙස අවශ්‍ය වෙනවා. නමුත් අපි බොහෝ දෙනෙක් ජලය පානයට ගන්නේ පිපාසයක් ඇති වුණු අවස්ථාවක හෝ කුමන හෝ ආහාරයක් ලබාගත් අවස්ථාවකදී පමණයි . නමුත් දවස පුරාම සිරුරට ඕන කරන ජලය  ප්‍රමාණවත්  ලෙස ලබා ගත්තොත් පමණයි නිරෝගී සුවපත් දිවියක් ගත කරන්නට අවස්ථාව  ලැබෙන්නේ. 

සාමාන්‍යයෙන් උදෑසනට අවදි වුණු විගස පිරිසුදු වතුර වීදුරුවක් පානය කිරීම සෞඛ්‍ය සම්පන්නව දවස ගත කරන්නට අනිවාර්යෙන්ම උදව්වක් වෙනවා. මොකද රාත්‍රියේ නිදා ගන්නා කාලය තුළ ශරීරය යම් තරමකින් විජලනයට පත් වෙනවා. එය දුරු කරගන්නට උදෑසන හිස් බඩ වතුර වීදුරුවකින් දවස ආරම්භ කරන එක හරිම වැදගත්. ඒ  හැරුනහම වැඩිපුර වතුර පානය කළ යුතු අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ ගැන දැනුවත් වෙලා හිටියොත් ඔයාට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන එක අපහසුවක් වෙන එකක් නැහැ.

අපි බලමු ඔබ වැඩිපුර ජලය පානය කරන්න ඕන අවස්ථා කිහිපයක් ගැන. 

ව්‍යායාම්වල නිරත වීමෙන් පසුව-ව්‍යායාම් කිරීමෙන් පසුව එළඹෙන විනාඩි 15 ක පමණ කාලයේ දී ශරීරයෙන් දහදිය වැඩි වශයෙන් පිට වෙනවා. මෙසේ දහඩිය විදිහට  පිටවෙන ජලය නැවත වරක් ශරීරයට ලබා ගන්නට අපිට සිද්ධ වෙනවා. ඒ  සඳහා වැඩිපුර ජලය ප්‍රමාණයක් පානයට ගන්නට ඕන. එසේ නැති වුණොත් මස්පිඩු පෙරළීමේ තත්ත්වයක් ඔබට පහසුවෙන්ම ඇති වෙන්න පුළුවන්.

වායු සමනය කරන ලද කාර්යාලවල වැඩි පැය ගණනක් ගත කරනවා නම්-ඔබ රැකියාව කරන්නේ වායුසමීකරණය කරන ලද කාර්යාලයක් තුළ නම් ඔබට සිතාමතාම ටිකක් වැඩිපුර ජලය ප්‍රමාණයක් පානය කරන්නට සිද්ධ වෙනවා.  වායු සමීකරණ නිසා ශරීරයේ වියලීම වැඩි වෙනවා. සම මත ඇති සෛල ස්ථරය මගින් සිරුරෙන් තෙතමනය පිට වෙන නිසා වායු සමීකරණය කරන ලද ආයතනවල රාජකාරි කරන අයගේ සම නිතරම ඉරිතැළුණු ස්වභාවයක් ගන්නවා. ඉතින් ඒ නිසා එවැනි රැකියාවල නිරත වෙන කෙනෙක්  ටිකක් වැඩිපුර ජලය පානයට යොමු විය යුතුමයි.

වැඩි වේලාවක් හිරුඑළියට නිරාවරණය වීමට සිදුවෙනවා නම්-වැඩි කාලයක් හිරු එළියට නිරාවරණය වෙන්නට සිද්ධ වෙනවා නම් අපේ ශරීරයෙන් දහදිය විදිහට පිටවෙන ජලය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා අපේ ශරීරයට අවශ්‍ය කරන ජලය නැවත ලැබෙන්නට නම් අපි වැඩිපුර ජලය පානය කරන්නට ඕන.

මුහුදේ නාන්නට යන්නට පෙර සහ පසු-මුහුදේ ස්නානය කරන්නට යන්නට කලින් වගේම ස්නානය කිරීමෙන් පසුවත් ඔබේ ශරීරයේ ජල මට්ටම ගැන ටිකක් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මුහුදු ජලයේ ලුණු සහිත බව වැඩියි. ඒ නිසා වැඩි වේලාවක් මුහුදු ජලයේ බැහැලා ඉද්දි අපේ ශරීරය විජලනයට ලක්වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ස්නානයට කලින් වගේම නාලා ආවට පස්සෙත් ටිකක් වැඩිපුර ජලය පානය කරන්නට පුරුදු වෙන්න.

වැඩිපුර තෙල් සහ මිරිස් දැමූ ආහාර ලබා ගැනීමෙන් පසු-සාමාන්‍යයෙන් ආහාර ගැනීමේදී ජලය පානය කරන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයා පුද්ගලයාට වෙනස්. ඇතැම් පුද්ගලයන්ට ආහාර ගන්නා අතරතුර ජලය පානය කරන්නට අවශ්‍ය වෙනවා. නමුත් එය නම් එතරම් හොඳ දෙයක් නෙවෙයි. ආහාර ගෙන අවසන් වුණාට පස්සේ ආහාර ගත් සැණින්ම ජලය පානය කිරීමත් එතරම්ම හිතකර නැහැ. ඒ නිසා ආහාර ගැනීමෙන් පසු විනාඩි කිහිපයකට පසුව ජලය තරමක ප්‍රමාණයක් පානයට ගැනීම ප්‍රමාණවත්.  ඒ වගේම ආහාර අරගෙන විනාඩි 45 කට විතර පස්සේ වතුර ටිකක් වැඩිපුර පානය කරන එක තමයි  ශරීරයට හිතකර වෙන්නේ.

 ඉතින් කොහොමවුණත් ඔබ වැඩිපුර තෙල් සහ මිරිස් එකතු කරපු ආහාරයක් ගත්තට පස්සේ වතුර ටිකක් වැඩිපුර බොන එක කොහොමත් ශරීරයට හිතකරයි. තෙල් ආහාර වැඩිපුර අනුභව කිරීමෙන් ආමාශයේ ආම්ලිකතාවය වැඩි වෙනවා. එය සමනය කරගන්න ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි.

මුත්‍රාවල වර්ණය තද නම්-අපි පානය කරන ජලය  ප්‍රමාණවත් ද නැද්ද යන්න දැන කියාගන්නට මුත්‍රාවල පැහැය ගැන අපිට සැලකිලිමත් වෙන්නට සිද්ධ වෙනවා.  මුත්‍රාවල පැහැය තද වර්ණයක්  ගන්නවා නම් කහ පැහැයට හුරුයි නම් එයින් හැඟවෙන්නේ අපේ ශරීරයට ජලය ප්‍රමාණවත් ලෙස නොලැබෙන බව. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මුත්‍රා හොඳින් පෙරී යන්නට ජලය වීදුරු අටක්වත්  පානයට ගන්නට ඕන.

රෝගී අවස්ථාවල-විශේෂයෙන්ම වමනය, පාචනය ඇතුළු විවිධ රෝග අවස්ථාවලදී වැඩිපුර ජලය පානය කිරීම රෝගියාව විජලනයට පත් නොවී තියා ගන්නට සහ රෝග තත්ත්වය උත්සන්න නොවෙන ආකරයට පාලනය කරගන්නත් උදව් වෙනවා. ඒ නිසා රෝගී අවස්ථාවකදී අනිවාර්යෙන්ම ටිකක් වැඩිපුර ජලය පානය කරන්නට ඕන.

ගර්භනී අවස්ථාවේදී සහ මවුකිරි ලබාදෙන අවස්ථාවේදී-සාමාන්‍යයෙන් ගර්භනී අවස්ථාවේ මුල් කාලයේ දී උදෑසන වමනය යාම වගේ තත්ත්වයන් ඇතිවෙනවා. මේ නිසා වැඩිපුර ජලය පානය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. මෙහිදී සෘජුවම ජලය පානය කිරීම වෙනුවට  නිවසේ සකසා ගත් පලතුරු යුෂ හෝ සුප් වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. 

 ඉතින් ඔබ ජලය පානය කිරීමේදී ඉහත  සඳහන් කළ අවස්ථා ගැන වැඩි සැලකිල්ලක් දක්වලා වැඩිපුර ජලය පානයට යොමු වෙන්නට ඕන.  නමුත් රාත්‍රියේ නින්දට පෙර ජලය පානය කිරීම සීමා කළ යුතුයි. ඒ වගේම වකුගඩු රෝගියෙක් නම් ඔබ  සීමා සහිතව වෛද්‍ය උපදෙස් අනුවයි ජලය පානය කළ යුත්තේ.  ඒ හැරුණාම සාමාන්‍ය පුද්ගලයෙක් තමන්ගේ  ශරීරයට අවශ්‍ය තරම් ප්‍රමාණාත්මකව ජලය ලබා ගැනීම අවශ්‍ය බව මතකයේ තබා ගන්න.