දත් දෙපළ කියලා කියන්නේ පියකරු බව සංකේතවත් කරන අපූරු අංගයක්. යොවුන්විය බාලවිය කියලා වෙනසක් නැහැ. හැම වයසක පසුවෙන අපි හැමෝටම අපේ දත් දෙපල වටිනවා නේ. දත් දෙපළ නිරෝගිමත්ව තියාගන්න එක අපේ සිනහව සුන්දර කරගන්නට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක්. නිවැරදිව දත් මැදීම, යහපත් චර්යා රටාවක් අනුගමනය, ආහාර රටාව ක්‍රමවත් කර ගැනීම වගේම පුරුද්දක් වශයෙන් දන්ත වෛද්‍යවරයෙකු හමු වීමත් ඔබට නිරෝගී සහ සිත් ගන්නා සුළු සිනහවක් උරුම කරගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. කොහොම වුණත් අද වයස් භේදයකින් තොරව වැඩි දෙනෙක් දත් රෝගවලින් පීඩා විඳිනවා. ඉතින් මේ ගැටළුවලට හෙළ වෙදකමින් විසඳුම් ලබා දෙන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. දේශීය ඔසු භාවිතා කරලා බොහෝ පහසුවෙන් අපිට මුඛ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්.
දත් ඇදෙනවට
අවශ්‍ය ද්‍රව්‍ය
- කයිප්පු
- සීනක්කාරම්
- රත් හඳුන්
- කලන් 3 බැගින්,
- කටුකරඬු මුල්
- කරද මුල් පොතු
- සමන්පිච්ච කොළ
- කලං 6 බැගින්,
ආදී වශයෙන් ගෙන වතුර බෝතල් හතරක් දමා එය බෝතලයකට සිඳ තබාගෙන දිනපතාම හොඳින් කට සෝදන්න. මෙය මාස කිහිපයක් කිරීම මගින් දත් ඇදීම නතර කර ගන්නට පුළුවන්.
අකලට දත් සෙලවීමට

අවශ්‍ය ද්‍රව්‍ය
- කයිප්පු
- සහිඳ ලුණු
- තල තෙල්
කයිප්පු සහ සහිද ලුණු කලං 1 බැගින් ගෙන හොඳින් කොටා යකඩ තාච්චියක් ළිප තබා එයට මේ කුඩු දමා එයට පිරිසුදු තලතෙල් පතක් එකතු කරන්න. පසුව තුනෙන් කොටසක් පමණ වනතෙක් එය හැඳිගාන්න. හොඳින් නිවුණු පසුව පිරිසිදු කුප්පියකට දමා තබාගෙන දිනකට තුන්වරක් එයින් හොඳින් කට සෝදන්න. මෙය විනාඩි 5ක් පමණ කටේ තබාගෙන සේදිය යුතුයි. ඉන් පසුව මද රස්නය ඇති ජලයෙන් මුඛය සෝදා හරින්න.
දත් කැක්කුමට
අවශ්‍ය ද්‍රව්‍ය
- පුළුස්සා ගත් සීනක්කාරම් කුඩු
- වියළි මූණ මල් පොතු කුඩු
- මඳ උණුසුම් ජලය
පුළුස්සා ගත් සීනක්කාරම් කුඩු සහ වියළි මූණමල් පොතු කුඩු මද රස්නය සහිත වතුරට දමා දිනපතා මුඛය සෝදන්න.
මුඛ දුර්ගන්ධයට
අවශ්‍ය ද්‍රව්‍ය
- මූනමල් පොතු
- කරාබු නැටි
- කරදමුංගු
- පුවක් මුල්
මේ ද්‍රව්‍ය සියල්ලම කොටා තම්බා ගෙන යුෂ ලබා ගන්න. පසුව මෙය මුඛය සේදීම සඳහා භාවිතා කරන්න. එමගින් මුඛ දුර්ගන්ධය නසා මුඛ සෞඛ්‍ය රැක ගන්නට හැකියාව ලැබෙනවා.
දත් පණුවන් කනවාට

අවශ්‍ය ද්‍රව්‍ය
- පරණ ගොරකා කැබැල්ලක්
- ලුණු කැට කිහිපයක්
- ඉඟුරු
- සුදුලූනු
පරණ ගොරකා කැබැල්ලක් ලුණු කැට කිහිපයක් සමග කොටා කබලේ බැදගන්න. පසුව එය ඉගුරු සුදුලූනු ඉස්මෙන් අනා දත් කුහරවල තබා පුළුන් ස්වල්පයක් ඔබන්න.
දත් සෙලවීම, දත් මුල් දියවීම, පණුවන් කෑම, දත් කැක්කුම, අකලට දත් සෙලවීම ඇතුළු සියලුම දන්ත රෝගාබාධ සඳහා උදේ සහ රාත්‍රී නින්දට යාමට පෙර මේ ඖෂධීය කුඩු සාදාගෙන භාවිතා කරන්න. ඒ වගේම සෑම ආහාර වේලකින් පසුව හොඳින් කට සේදීමත් දන්ත ගැටලු බොහෝ දුරට අවම කර ගන්න උදව් වෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
- කබලේ බැද කුඩුකර ගත් කරුංකා
- අරළු
- මූණමල් පොතු
- කතුරු පිල මුල්
- කරාබු නැටි
- සාදික්කා
- වැට එරඬු මුල්
මේ සියල්ල එක පමණ ගෙන වියළා කුඩු කොට තබාගෙන දත් මැදීමට භාවිතා කරන්න.
( පාරම්පරික අත් බෙහෙත් ඇතුළත් වෛද්‍ය ග්‍රන්ථයක් ඇසුරෙනි.)