බාල මහලු හැමෝමටම නිතර උගුර ආශ්‍රිතව යම් යම් රෝගයන් හට ගන්නවා. ඒ අතරින් සෙම් ගෙඩි කියන්නේ කුඩා දරුවන්ට බහුලවම වැළදෙන වැඩිහිටියන්ටත් ඇතිවිය හැකි බොහෝ අපහසුතා ගෙනදෙන රෝගයක්. සෙම් ගෙඩි ඉදිමීමේ තත්ත්වය විවිධ හේතු මත ඇතිවෙන සමාජයේ බොහෝදෙනා අතර දකින්නට ලැබෙන සුලබ තත්ත්වයක්. ඒ නිසාම බොහෝදෙනා එය සරල දෙයක් ලෙස සිතන බවක් දකින්නට පුළුවන්. නමුත් මේ සෙම්ගෙඩි ඉදිමීමට හේතුවන බැක්ටීරියාව වකුගඩු ඉදිමීමට රූමැටික් උණ ආදී බරපතල තත්ත්වයන් පවා ඇති කරන්නට හේතුවිය හැකි නිසා සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ නිසා සෙම්ගෙඩි පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම අතිශයින්ම වැදගත්.
මිනිස් ශරීරයේ පවතින වසා ගැටිති 250 ට අධික ප්‍රමාණයෙන් වසා ගැටිති දෙකක් මුඛ කුහරයේ පිටුපස වන්නට උගුරේ පිහිටා තියෙනවා. මෙය ග්‍රන්ථියක් ලෙස හඳුන්වන අතර එය විද්‍යාත්මකව tonsils යන නමින් හඳුන්වනවා. උගුරේ පිහිටා තියෙන වසා ගැටිති උගුර හරහා ශරීරයට ඇතුළු වන විෂබීජ පෙරණයක් විදියටයි ක්‍රියාත්මක වෙන්නේ.කුඩා දරුවන්ගේ විශාලව පිහිටන සෙම්ගෙඩි වියපත්වීමත් සමඟ ක්‍රමයෙන් කුඩාවීමකට ලක්වෙනවා. අද අපි කතා කරන සෙම්ගෙඩි ඉදිමීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ස්ට්‍රෙප්ටොකොකස් නම් බැක්ටීරියාව. මේ බැක්ටීරියාව රූමැටික් උණ හෝ වකුගඩු ආසාදනය කිරීමට පවා හේතු වෙනවා .ඒ නිසා සෙම්ගෙඩි අපේ ශරීරයේ ප්‍රතිදේහ පද්ධතියට විශාල මෙහෙවරක් කරනු ලබනවා. මේ අපි සෙම් ගෙඩි හැදිලා කියන තත්ත්වයේදී සැබැවින්ම සිදු වන්නේ මේ ග්‍රන්ථි දෙක විෂබීජ ඇතුල්වීම නිසා ආසාදනයට ලක්වීමයි. එහිදී මේ ග්‍රන්ථි විශාලවීමකට ලක්වෙනවා.
මේ සෙම්ගෙඩි ඉදිමීම කුඩා දරුවන් අතර බහුලවම දකින්නට ලැබෙනවා. එයට ප්‍රධාන හේතුව වෙන්නේ ප්‍රතිශක්තිකරණය හීන වීම නිසා නිතර බැක්ටීරීයා ආසාදන ඇතිවීම. Tonsillitis නිතර ඇතිවීම වළක්වා ගන්නට අපහසුයි. ඒ තත්ත්වය නිතර ඇති වෙන්නේ උගුරේ වසාගැටිතිවල ඔරොත්තුදීමේ ශක්තිය හීනවීම නිසා. නිතර සෙම්ගෙඩි ප්‍රදාහයට පත්වෙන කෙනෙකු නම් එයින් මිදෙන්නට කළ හැකි හොඳම දේ වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමයි.
නමුත් මේ සෙම්ගෙඩි ඉදිමීමේ තත්ත්වය වසරකට 5-6 වතාවකට වඩා ඇතිවීම වඩාත් සැලකිලිමත්වීමට හේතුවක්. එවැනි අවස්ථාවක එය සෙම්ගෙඩි ආසාදනයක් ද යන්න වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවා ගත යුතු වෙනවා.ඒ වගේම නිතර නිතර මේ තත්ත්වය ඇති වන්නේ නම් උගුර කන නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.
සෙම්ගෙඩි ඉදිමීම හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ

- ගිලීමේ අපහසුතාවය
- උගුරේ හා කනේ වේදනාව
- උගුරේ තුවාල
- ඇඟපත වේදනාව
- කටහඩ වෙනස්වීම
- උණ
- බෙල්ල දෙපස කුද්දැටි මතුවීම
සෙම්ගෙඩි පැසවීම සෙම්ගෙඩි ප්‍රදාහ තත්ත්වයකදී ඇතැම්විට ඒ සෙම්ගෙඩි මත කහ පාට කුඩා බිබිලි දැක ගැනීමේ හැකියාවක් පවතිනවා. එය සෙම්ගෙඩි පැසවීම විදියටයි හඳුන්වනු ලබන්නේ. මෙහිදී සිදු වෙන්නේ ආහාරවල හෝ ඛේටයේ ඇති ද්‍රව්‍ය සෙම්ගෙඩි මත තැන්පත්ව ආසාත්මික තත්ත්වයට පත්වීමයි. මේ තත්ත්වයේදී වේදනාවක් ගිලීමේ අපහසුතාවයක් ඇතිවන්නේ නැහැ. නමුත් මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුතු වෙනවා.ඒ හැරුණාම උණු වතුරට ලුණු ස්වල්පයක් දමා උගුර සේදීමත් සුදුසුයි.
ශල්‍ය කර්මයකින් සෙම්ගෙඩි ඉවත් කළ යුතු අවස්ථා
- වසරකට 7 වරකට වඩා සෙම්ගෙඩි ආසාදනයන් ඇතිව ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රතිකාර කිරීමට සිදුවූ අවස්ථාවක
- එක් පැත්තක් සෙම්ගෙඩිය අනෙක් පැත්තේ සෙම් ගෙඩියට වඩා විශාල වූ විට
උගුරේ වේදනාවක් නොමැතිව සෙම් ගෙඩියක් පමණක් විශාල වීම අවදානම් තත්ත්වයක් වන්නේ එය සෙම්ගෙඩියක වර්ධනය වන පිළිකාවක් විය හැකි නිසා. එබැවින් සැත්කමක් මගින් එය ඉවත් කරනු ලබනවා.
- සෙම්ගෙඩි තුළ ගල් ඇති අවස්ථාවක
- මුඛයෙන් අධික දුගඳක් හමන අවස්ථාවක
- නින්දේදී හුස්ම හිරවීමට ඉඩ ඇතිවිට
- වෙනත් ශල්‍ය කර්මයකට ඉඩකඩ සලසා ගන්නට අවශ්‍ය වූ විට
නිතර සෙම්ගෙඩි සැදීමෙන් ඇතිවිය හැකි බරපතල තත්ත්වයන්

වසරකට 6 වතාවක් හෝ ඊට වඩා අඩුවෙන් සෙම්ගෙඩි ප්‍රදාහ තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වුණත් ඉහත සඳහන් කළ ආකාරයේ වසරකට වාර 7 ඉක්මවා සෙම්ගෙඩි ප්‍රදාහ තත්ත්වයන් සිදුවුණොත් දිගින් දිගටම ප්‍රතිජීවක ඖෂධ පමණක් ලබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙකුගේ සෙම්ගෙඩි ශල්‍ය කර්මයක් මගින් ඉවත් නොකිරීම නිසා බරපතල තත්ත්වයන් බොහොමයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා.
- කනේ ආසාදන
- රූමැටික් උණ
මෙහිදී සන්ධි ඉදිමීමකට ලක්විය හැකියි.ඒ වගේම හදවතේ කපාට රෝගීවීමෙන් හෘදය ආශ්‍රිත ආබාධ ඇති කරනු ලබනවා.
සැරව ගෙඩි ඇතිවීම යම්විටෙක සෙම්ගෙඩි ආසාදනය උගුරේ සහ ඒ අවට ඇති පටකවලට පැතිරයාමෙන් සැරව ගෙඩි ඇතිවෙන්නට හැකියි.සෙම්ගෙඩි ආසාදනය අපේ ශරීරයට මහත් අපහසුවක් ගෙන දෙනු ලබනවා. එය නිතර නිතර ඇතිවීම නිසා ඇතිවන පීඩනයෙන් මිදෙන්නට වගේම එයින් ඇතිවිය හැකි බරපතල තත්ත්වයෙන් මිදෙන්නට ඇතැම්විට සැත්කමක් මගින් ඒ ග්‍රන්ථිය ඉවත් කරන්නට සිදු වෙනවා. නමුත් අපේ ශරීරයේ මුඛය දෙපස ඇති මේ වසා ගැටිති කියන ආරක්ෂකයන් දෙදෙනා ඉවත් කිරීම අපේ ශරීරයට විශාල පාඩුවක්. ඒ නිසා වඩාත් උනන්දුවිය යුත්තේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමයි. ඒ වගේම සෙම්ගෙඩි ප්‍රදාහයට හේතුවෙන රාත්‍රී කාලයේදී ස්නානය අධික සීතල ආහාර නිතර පරිභෝජන ආදියෙන් ද වැළකීමත් ඉතා වැදගත්.