දවස පුරාම විවිධ ආහාර වර්ග අපේ මුඛයට ඇතුල්වෙනවා නමුත් අපේ මුඛ සෞඛ්‍ය ගැන අපි සැලකිලිමත් වෙන්නට පටන් ගන්නේ මුඛය ආශ්‍රිත වූ යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවකදී විතරයි.ඒ නිසා එය අපේ දන්ත සෞඛ්‍ය පිරිහීමට දැඩිව බලපානවා. ඉතින් අපේ වැරදි පුරුදු සහ නොසැලකිලිමත්කම නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා ඉන්න මුඛ රෝගය තමයි දත් දිරායාම කියන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් ආරම්භක අවධියේ දී ම සැලකිලිමත් වෙලා ප්‍රතිකාර කරා යොමු වුනොත් මේ ගැටලුව ස්වභාවිකවම යථා තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දත් දිරායාම සඳහා පිළියම් වශයෙන් භාවිතා කළ හැකි උපක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔබත් එක්ක කතා කරන්නේ.
දත් දිරායාමට බලපාන හේතු

- ජානමය බලපෑම්
- අධික ලෙස පැණි රස ආහාර ගැනීම
(පැණි රස ආහාරයට ගත්විට මුඛයේ ඉතිරි වන සීනි බැක්ටීරියා සමඟ ක්‍රියා කිරීමෙන් ලැක්ටික් අම්ලය නිපදවනවා.නමුත් අපේ දත්වල එනැමලය සකස්වෙලා තියෙන්නේ කැල්සියම් සහ පොස්ෆේට් කියන ඛනිජ ලවණවලින්.ඒ නිසා බැක්ටීරියා සීනි සමඟ ක්‍රියාකාරීවීමෙන් සාදන ලැක්ටික් අම්ලය සමඟ කැල්සියම් ෆොස්ෆේට් ප්‍රතික්‍රියා කරලා එනැමලයේ ඇති කැල්සියම් ඉවත් කරනු ලබනවා. කැල්සිහරණය නමින් හඳුන්වන මේ තත්ත්වය දත් දිරායාම කෙරෙහි ඍජුව බලපෑම් කරනු ලබනවා.)
පැණි රස බීම වර්ග නිතර පානය කිරීම (බෝතල් කරන ලද සීනි සහිත බීම කාබොනයිස්ඩ් ලෙස හඳුන්වන අතර මෙහි අඩංගු කාබනික් අම්ලය නිසා ඒවා පානය කිරීමෙන් එනැමලය හිරිවැටීමට පටන් ගෙන අනතුරුව දියවීමට පටන් ගන්නවා.එය කැල්සිහරණයට හේතුවන අතර එයින් දත් දිරායාම ඇති කරනු ලබනවා.)
දවසට දෙවරක් දත් නොමැදීම (නින්දට පෙර දත් නොමැදීමෙන් බැක්ටීරියා ප්‍රමාණය වර්ධනය වී විදුරුමස් දියවීමෙන් රෝගී වන්නට පුළුවන්. එය දත් දිරායාමටත් හේතුවක්.)
- සෑම ආහාරවේලකින් පසුව ආහාර අනුභව කළ සැණින් දත් මැදීම (ආහාරවල යම් අම්ල වර්ග තිබුණොත් දත් මැදීමේදී ආම්ලිකභාවයට එනැමලයේ කැල්සියම් කොටස් සීරී යන්නට ඇති ඉඩකඩ වැඩියි)
- ෆ්ලෝරයිඩ් අඩංගු නොවන දන්තාලේපවලින් දත් මැදීම
- මුඛ කුහරයේ ආම්ලික PH අගයක් ඇතිවීම
- දැනටමත් ඇති වී ඇති දත් කුහර
- මුඛය වියළීම
- දත් මිටි කෑම
- වයස්ගත වීම
- දන්ත කොපු , බොරු දත් , පිරවුම් හෝ දත් කුට්ටම් ආදී දන්ත ප්‍රතිකාර උපකරණ නිසි පරිදි නිතිපතා පිරිසිදු නොකර භාවිතා කිරීම
දත් දිරායාමක් සහ දත් කුහර ඇතිවීමක් හඳුනා ගන්නා ආකාරය
- මුල් අවධියේදී දත්වල සුදු හෝ දුඹුරු තිත් ඇතිවීම
- හකු ප්‍රදේශයේ ඇති දත් අතර කුඩා සිදුරක් දකින්නට ලැබීම
- දත් අතර කෑම සිරවීම
- දත් දුර්වර්ණ වීම
- පැණි රස හෝ සීතල වතුර පානයේදී දත් හිරි වැටීම
- සීතලට හා උණුසුමට ලක්වීමේදී වේදනාවක් ඇතිවීම
- සපන විට වේදනාවක් ඇතිවීම
- ඉදිමුම් සහ සැරව පිටවීම
දත් දිරායාම වළක්වන පිළියම්
ලුණු වතුර ලුණු වතුරවල පැසවීම වලක්වන සහ බැක්ටීරියා නාශක ගුණ අඩංගු වෙනවා. මෙයින් ප්‍රදාහය සහ වේදනාවන් ද අඩුකරනවා. විශේෂයෙන්ම මුඛ රෝග ඇති කරන බැක්ටීරියා විනාශ කරන්නට ආසාදන අවම කරන්නට ලුණු වතුර වලට විශේෂ හැකියාවක් තියෙනවා.
ලුණු තේ හැඳි භාගයක් අබ තෙල් හෝ ලෙමන් යුෂ ස්වල්පයක් සමග හොඳින් මිශ්‍ර කර පේස්ට් එකක් විදිහට සකසාගෙන විදුරුමසේ ගල්වා සියුම්ව සම්භාහනය කර ලුණු වතුරෙන් කට සෝදා හරින්න. දිනකට දෙවරක් මෙය සිදුකරන්න පුළුවන්.
ඒ වගේම උණුසුම් වතුර වීදුරුවකට ලුණු තේ හැඳි එකක් පමණ දියකර මිනිත්තුවක් පමණ කට කලත්තවා සෝදා හරින්න.
සුදු ලූණු ක්ෂුද්‍ර ජීවී නාශක ගුණ ඇති මැලියම් සහ දත් කුහර ඇති කරන බැක්ටීරියා විනාශ කරන සුවිශේෂී කුළුබඩුවක් තමයි සුදු ලූණු . සුදු ළූණු බික් තුනක් ලුණු කැට ස්වල්පයක් සමග හොඳින් තළා පේස්ට් එකක් වන සේ සකසා ගන්න. ඉන්පසු ආසාදිත දතේ මේ ආලේපන ගල්වා විනාඩි 10ක පමණ කාලයක් තියෙන්නට හරින්න. ඉන්පසුව මුව සේදුම් දියරයකින් කට සෝදා හරින්න. මේ කුහර අඩුවෙන්නට දිනකට දෙවරක් සති දෙකක පමණ කාලයක් මෙය සිදු කිරීම වැදගත්.

වැල්මී කුඩු දත්වල සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තියාගන්නට උදව් වෙන ඖෂධයක් විදියට වැල්මී ප්‍රසිද්ධයි. වියළි වැල්මී මුල්වල බැක්ටීරියා නාශක සංඝටක වන ලිකොරිසයිඩීන් සහ ලිකොරිසොෆ්ලැවින් A අඩංගු වෙනවා. වියළි වැල්මී කුඩු ස්වල්පයකින් දත් මැදීම සහ මෘදු වැල්මී කෝටු කැබැල්ලකින් දත් පිරිසුදු කර ගැනීමත් දත් දිරායාම සහ කුහර ඇතිවීම වළක්වා ගන්නට උදව් වෙනවා
නෙල්ලි -දත් කුහර ඇතිවීම වළක්වා දත්වල සෞඛ්‍ය සම්පන්න බව වර්ධනය කරන්නට නෙල්ලි දිනපතා අනුභව කිරීම වඩාත් වැදගත්. ඒ හැරුනහම දිනපතාම වියළි නෙල්ලි කුඩු තේ හැඳි භාගයක් වතුර වීදුරු භාගයක දියකර පානයට ගැනීමත් මුඛ සෞඛ්‍ය සඳහා විශේෂයෙන්ම වැදගත්.
පොල්තෙල්වලින් දත් මැදීම පොල් තෙල් සතුව දත්වල ඇති බැක්ටීරියා පිටතට තල්ලු කිරීමේ හැකියාව ඇති නිසා එය දත් දිරායාමෙන් වැළකීමට උපකාරී වෙනවා.පොල්තෙල් හැන්දක් විනාඩි 20 ක් විතර කට තුළ තියාගෙන විසි කරන්න. එය ඉතා හොඳ ප්‍රතිකර්මයක්. මේ සඳහා සූරියකාන්ත තෙල් හෝ තල තෙල් භාවිතා කරන්නත් පුළුවන් .
ඒ වගේම වැඩිපුර කැල්සියම් අඩංගු ආහාර ගැනීම, සෑම දිනකම චීස්, කිරි, යෝගට් වැනි ආහාර ලබාගැනීම, පැණි බීම වෙනුවට පලතුරු බීම සහ රස වෙනස් නොකළ තේ පානය, විටමින් B හා යකඩ අඩංගු ආහාර ලබා ගැනීමත් වැඩිපුර ජලය පානය කිරීමත් දන්ත සෞඛ්‍ය රැක ගැනීම සඳහා ඉතා වැදගත්. එසේම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මැදීමත් වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයා හමුවී දත් පිරිසිදු කරගැනීමත් මේ ගැටළුවෙන් මිදෙන්නට ඔබට උදව් වේවි .