දත් හිරිවැටීම සුවකර හැකි ස්වභාවික ප්‍රතිකාර ක්‍රම 5 ක්

health tips

දන්ත සෞඛ්‍ය අයහපත් වුණාම එයින් ඇතිවන නොයෙකුත් රෝග කෙතරම් පීඩාකරී වේදනාකාරී දෙයක් ද යන්න ඔබත් අත්විදලා ඇති. මුඛය ආශ්‍රිතව ඇතිවන කරදකාරී රෝගයන් රාශියක්ම පවතිනවා. ඒ අතුරින් දත් හිරිවැටීම කියන්නේ තරුණ මහලු බොහෝදෙනෙක් අත්විදින තවත් වේදනාකාරීම තත්ත්වයක්. ආයුර්වේදයේ දන්ත හර්ශ ලෙස හඳුන්වන මේ තත්වය ඇතිවීමට බලපාන හේතු සහ එය සුවපත්කර ගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳවයි අද අපි කතා කරන්නේ.

බොහෝදෙනෙක් දත්හිරිවැටීමට එකම පිළියම ලෙස සලකන්නේ දන්තාලේපය මාරුකිරීම. ඒ වගේම සෑම දත්හිරිවැටීමකදීම නොවරදින විසඳුම වන්නෙත්මේ දන්තාලේපයම බවයි ඇතැමුන්ගේ අදහස වෙන්නේ.නමුත් එය නිරවද්‍ය මතකයක් නොවන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

සාමාන්‍යයෙන් දතක එනැමලය, දන්තනිය හා කල්ක කුහරය යන කොටස් තුනක් හඳුනාගන්නට පුළුවන්. දතක හිරිවැටීමක් සිදු වෙන්නේ දතේ දන්තනිය නම් කොටස් දක්වා හානි වීමක් සිදුවූ විටෙක. මේ දන්තනිය කියන කොටසේ හා සම්බන්ධ ස්නායු අන්ත උද්දීපනයවීමෙන් අතිශය උණුසුම් , සීතල හෝ ඇඹුල් රසැති දෙයක් ආහාරයට ගැනීමේදී දත් හිරිවැටීමකට ලක් වෙනවා. දත් හිරිවැටීම සමඟ ඇතැම්විට වේදනාවක් ඇති වන්නේ නම් එය දතේ කල්ක කුහරය දක්වාම හානිය පැතිර ගිය විට.

දත් හිරිවැටීමට බලපාන හේතු 

  • දත් දිරායාම 
  • දත් බුරුසුවේ ගොරෝසු බව 

ගොරෝසු දත් බුරුසුවකින් දත්මැදීමෙන් දතේ ඇති එනැමලය ගෙවී යාමෙන් දන්තනිය නිරාවරණය වන නිසා එවිට දත්වල හිරිවැටීමක් ඇති වන්නට පුළුවන්.මෙය බොහෝවිට විදුරුමස් ආශ්‍රිතව ඇතිවන අතර එයට හේතුවන්නේ එනැමලයේ ඝනකම විදුරුමස් ආශ්‍රිතව අඩුවීම හේතුවෙන්.

  • ආක්‍රමණශීලී ලෙස දත් මැදීම හේතුවෙන් දන්ත එනැමලය සිරීයාම 
  • රාත්‍රී  කාලයේ දී දත්මිටි කෑම 
  • මේ හේතුවෙන් පවා දත්  එකිනෙකට ගැටීමෙන් දත් මතුපිට ඇති එනැමලය ගෙවී යාම සිදු වෙනවා.
  • දතේ එනැමලය දියවීම 

මේ තත්ත්වය සඳහා හේතු වෙන්නේ අප පානය කරනු ලබන පැණි බීම, අන්නාසි, දෙහි දොඩම්  ආදී අධික ආම්ලික ආහාර . ඒවායේ ඇති අම්ල ගතිය දතේ එනැමලය දිය කරන්නට සමත් වෙනවා.

  • ඇතැම් දන්ත ප්‍රතිකාර 
  • දත් හෑරීම 
  • තද දේවල් සැපීම 
  • දත්වලින් තද දේවල් විවෘත කිරීමට උත්සාහ කිරීම 
  • වැරදි ආහාර පුරුදු 

මේ සඳහා සිදුකළ හැකි ප්‍රතිකාර

  • මෙවැනි අවස්ථාවකදී ප්‍රතිකාර කිරීමට පෙර එය ඇතිවෙන්නට බලපාන ලද හේතුව සොයා බැලීම වැදගත්. ඒ හේතුවට අනුව ප්‍රතිකාර නියම කරනු ලබන අතර මෙය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවෙයි. 
  • දත කුහරයක් හෝ විශාල ගෙවීයාමක් ඇත්නම් දත පිරවීම් තුළින් දන්ත සංවේදීතාවය මර්දනය කරගත හැකියි.
  • සූළු ගෙවීයාමක් ඇත්නම් දන්ත සංවේදීතාවය සඳහා වූ දන්තාලේපයක් භාවිතා කළ හැකියි.

දත්හිරිවැටීම වළකා ගතහැකි ස්වාභාවික සත්කාර 

  • ලුණු දත් හෝ මුඛය ආශ්‍රිත බොහෝ රෝග තත්වයන් වළක්වා ගන්නට සුවපත් කරගන්නට වඩා සුදුසුඅම දෙයක් තමයි ලුණු කියන්නේ. මුඛය තුළ Ph අගය සමතුලිතව පවත්වා ගන්නට, හානිදායක බැක්ටීරියා විනාශ කරන්නට අපූරු හැකියාවක් ලුණු සතු වෙනවා.දත් හිරිවැටී ඇති විටෙක උණුසුම් ජලය කෝප්පයකට ලුණු තේ හැඳි දෙකක් මිශ්‍රකර දිනකට දෙවරක් මුඛය සෝදන්න. එය දත් හිරිවැටීම සහ වේදනාව අඩු කරන්නට උපකාරී වෙනවා.
  • පේර කොළ සෞඛ්‍යමය වාසි රාශියක් ඇති පේර කොළවල දත් සංවේදීතාවය සහ දත් කැක්කුම් ඉවත් කරන්නට උපකාරී වෙන ප්‍රදාහයන්ට එරෙහිව ක්‍රියාකරන ගුණ ඇති ක්වෙර්සෙටින්, ෆ්ලෙවනොයිඩ්, ආදිය අඩංගු වෙනවා. ඒ නිසා දත් හිරිවැටීමකදී පේර කොළ කිහිපයක් මුඛයට දමා මිනිත්තු 2-3ක් සපා පසුව ඒවා ඉවත් කර මුඛය සෝදා දමන්න. පේර කොළ කිහිපයක් ගෙන තම්බා එයට ලුණු ස්වල්පයක් ද එකතු කර මුඛය සෝදන්න. මෙය දත්හිරිවැටීම සමනය කරගන්නට උපකාරී වෙනවා.
  • ළූණු ළූණු කැබැල්ලක් කපාගෙන එය දත් හිරිවැටීම සහ වේදනාව ඇති ප්‍රදේශයේ විනාඩි 5 ක් පමණ තබා ඉවත් කරන්න. පසුව සෝදා දමන්න.
  • තල් තෙල් තල තෙල් රත්කර විදුරුමස්වල ආලේප කර විනාඩි 20 ට පසු සෝදා ඉවත් කරන්න 
  • කරාබු නැටි තෙල් ප්‍රබල විෂබීජ නාශක ගුණයෙන් සමන්විත කරාබු නැටි දත් සහ විදුරුමස් රෝග බොහොමයකටම ඉතා සුදුසුයි.කරාබු නැටි තෙල් බින්දුවක් පොල්තෙල් හෝ ආමන්ඩ් තෙල් සමඟ මිශ්‍ර  කර හිරිවැටීමට ලක්වූ  දත මත ආලේප කර මද වේලාවකින් තරමක් උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  • ගොරකා පෙරදා රාත්‍රියේ වියළි ගොරකා බලි 3  ක් ගෙන්සිහින්ව ලියා කෝප්පයකට දමා ගන්න. එයට උණුසුම් ජලය දමා පීරිසියකින් වසා තබා තබා පසුදා උදෑසන, දහවල් සහ රාත්‍රී  කාලයේ දි මුඛය සේදීමට භාවිතා කරන්න.ඒ හැරුණාම ප්‍රමිතිගත දත් බුරුසුවක් භාවිතයත් නිවැරදි ලෙස දත් මැදීමත්, ඉතා වැදගත්. ඒ හැරුණාම දත් හිරිවැටීම ඇති  අය ආම්ලික ආහාර ගැනීමෙන් පසුව මුඛය සෝදා දැමිය යුතු වෙනවා.ඇතැම්විට දත් කුහර හෝ නරක් වූ දත් ඇත්නම් ඒවා ක්‍රමවත් පිරවීමක් හෝ ගලවා ඉවත් කිරීමක් දත් හිරිවැටීම් ඇතිවීම වළක්වා ගන්නට උපකාරී වෙනවා. 

මේ සත්කාර ඔබට සහනයක් සලසා ගන්නට උපකාරි වුණත් අධික ලෙස මේ තත්ත්වයෙන් ඔබ පීඩා විදින්නේ  ඒ සඳහා  වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.